පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වත්මන් ජනාධිපතිවරයා දේශපාලනිකව සිය දිවි නසා නොගන්නා බව පවසන පිවිතුරු හෙළ උරුමයේ නායක
නීතිඥ උදය ගම්මන්පිල ප්‍රථමයෙන් ජනපතිවරණය පවත්වන බව ප්‍රකාශ කරයි.

ඔහු එබව කියා සිටියේ, ඊයේ (08) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දීය. 

"සමහරු මාස ගණනක සිට පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හරින බවට මත පල කළා. ජනවාරියේ මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පත්තරවල ප්‍රධාන සිරස්තල පවා අපි දැක්කා. කිසිම සැකයක් නැතිව මුලින්ම එන්නේ ජනපතිවරණය කියා අපි හිතනවා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා."

වත්මන් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට ඉතාම හිතකර බව පෙන්වා දෙන ඔහු, ඒ හරහා ජනාධිපතිවරයා තමන් කැමති අණ පනත් ගෙන එමින් ජනාධිපති ධූරයේ බලතල රිසි සේ භුක්ති විඳින්න අවස්ථාව ලැබි ඇතැයි කියා සිටියේය.
 
 
මේ මොහොතේ දී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවහොත් වත්මන් ආණ්ඩුව නියත වශයෙන්ම පරාජය වන බව පවසන උදය ගම්මන්පිල එසේ වුවහොත් ජනාධිපති ධුරය අකර්මන්‍ය වන බව පෙන්වා දුන්නේ ය.
 
"ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් ජනපතිවරණයට කලින් පැවැත්තුවොත් එදා සිට ජනාධිපති ධූරය අකර්මන්‍ය වෙනවා. අපේ ව්‍යවස්ථාව අනුව සැබෑ බලවතා ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා. බොහෝ වෙලාවට බහුතරය තිබෙන්නේත් ජනාධිපතිට නිසා හැමෝටම පේන්නේ ජනාධිපති හරිම බලවත් කියලා. නමුත් ජනාධිපති වෙනුවට වෙනත් කෙනෙකුට පාර්ලිමේන්තුවේ බලය ගියොත් ජනාධිපති අකර්මන්‍ය වෙලා පාර්ලිමේන්තු බලය තිබෙන කෙනා රට පාලනය කරන්න පටන් ගන්නවා. එහෙම අවස්ථා පහක් අපේ ඉතිහාසයේ තිබෙනවා."

රනිල් වික්‍රමසිංහ 2001 දී පාර්ලිමේන්තු බලය ලබා ගත් අවස්තාවේ ද සිදු වුයේ එවැනි දෙයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා එසේ වු ආකාරය ද පැහැදිලි කළේය.

"2001 දී පාර්ලිමේන්තුවේ බලය රනිල් මහතා අත්පත් කර ගත්තාම ජනතාවට පත් කළ ජනාධිපතිනි අකර්මන්‍ය වෙලා රටේ පාලනය රනිල් අතට ගියා. 2002 පෙබරවාරි කොටින් එක්ක සාම ගිවිසුම අත්සන් කලේ රනිල්.  2003 ජූනි මාසයේ ලෝක ආධාර සමුළුව පැවැත්වූයේ රනිල්. චන්ද්‍රිකාට තිබුණේ බලා ගෙන ඉන්න විතරයි."

එබැවින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා බලය ගිලිහි ගියහොත් තම ධූරය අකර්මන්‍ය වන බව දන්නා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණය කලින් පවත්වා දේශපාලනික සිය දිවි හානි නොකර ගනු ඇතැයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විශ්වාසය පළ කළේය.

"ජනාධිපතිවරයා හොඳින්ම දන්නවා  ඊළඟ ජනාධිපතිවරණය ආණ්ඩුව පරදිනවා. 1994 සිට ජනපති වෙන්න දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වෙලා පරාජිතව ඉන්න අතරේ නොසිතූ මොහොතක නොසිතූ විධියකට ජනපති ධූරය රනිල් මහත්තයාගේ හිස මත කඩා වැටුණා. අහම්බෙන් ලැබුණු ජනපති ධූරයේ බලය උපරිමයට භුක්ති විඳිනවා මිස ඒකේ කාලය කෙටි කර ගන්න තරම් රනිල් මහතා මෝඩ වේවි කියලා අපි නම් හිතන්නේ නෑ."
 

ජනපතිවරණය සැප්තැම්බර් 18 සහ ඔක්තෝම්බර් 18 අතර පවත්වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේය.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්