ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පැසසුමට ලක්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පෙරේදා (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කල නිවේදනයක සඳහන් වේ.

එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කර තිබේ.

 ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රසාදය

විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්  (Peter Breuer) සඳහන් බව එම නිවේදනයේ සඳහන් වේ.

2022 දෙවන භාගයේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූ බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දී ඇත.

 
ශ්‍රී ලංකාවේ විස්මිත ධනාත්මක වර්ධනයන් ජාත්‍යන්තර, නිල සහ පෞද්ගලික ණය හිමියන් අතර ගෝලීය විශ්වාසය වැඩි කරයි

 
උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී  අවධානය යොමු වූ බවත්,  මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සඳහන් කර තිබේ. මෙරට විදේශ සංචිතවල ඉහළ යාම වැනි ධනාත්මක ප්‍රතිඵල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇත.  

විශේෂයෙන්ම ප්‍රාග්ධනය සහ යාන්ත්‍රණ ගොඩනැඟීම තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනයට දායක වී ඇති බවත් එය දැනට පවතින පාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ තුළ ධනාත්මක දර්ශකයන් ලෙස සටහන් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ඉදිරි විධිමත් සමාලෝචනය සහ 4 වැනි වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සිදු කිරීමට සැලසුම් කරන බැවින්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නීතිය සමඟ ඇති විය හැකි ගැටුම්, විදුලි ගාස්තු සහ දේපල බදු අය කිරීම යනාදිය ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ඇතුළත් වේ.

පවතින ප්‍රතිසංස්කරණ, මූල්‍ය ගැටලු විසදා ගැනීම සහ පාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම පිළිබඳ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙහිදී අවධාරණය කර තිබේ.

බැංකු පනත සඳහා සංශෝධන සිදු කිරීම සහ බැංකු ක්ෂේත්‍රය ප්‍රතිප්‍රාග්ධනය කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කර ඇත.

පාලන යාන්ත්‍රණය පිළිබඳව ද අවධානය යොමු කරමින්, දූෂණ විරෝධී කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීම සහ  ඊට අදාළ  ක්‍රියාකාරී සැලසුම් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම එහි කොමසාරිස්වරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

 සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් සතු නිපුණතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව ඇත.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක වන රාජ්‍ය සේවයේ ධාරිතාව ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළ කර ඇති අතර ඊට අදාළ සාකච්ඡා ඉදිරි සතිවලදී සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට රැඳී සිටින කාලය තුළ, මෙම ප්‍රධාන ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා සිදු කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ අභියෝග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීමට ද අපේක්ෂා කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Imaf2 2023.01.13

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්