මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැඟිය හැක්කේ කෙසේද කියා සැලැස්මක් සියලු දේශපාලන පක්ෂවලට තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියි.
ජනාධිපතිවරයා එබව කියා සිටියේ, කොළඹ රේගු මූලස්ථානයේ දී අද (26) පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.
පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ද ඔහු එහිදී අවධාරණය කළේය.
පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්, මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.
විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට තමා සුදානම් බව පැවසිය.
රේගුව ඇතුළු රාජ්‍ය ආදායම් උපයා දෙන දෙපාර්තමේන්තු ඉදිරියේ දී නවීකරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනා කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද කියා සිටියේය.
ජනපතිගෙන් රේගු දෙපාර්තමේන්තුවට ප්‍රණාමය
2023 වසරේ ලද තීරු බදු ආදායම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයන්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රේගු සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.
ඉදිරියේ දී රජය හඳුන්වා දෙන නව නීති මෙන්ම නවීකරණ වැඩසටහන හරහා රාජ්‍ය ආදායම් උපයා දෙන සියලු දෙපාර්තමේන්තු පරිවර්තනයකට ලක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
විශිෂ්ට සේවාවක් ඉටු කළ රේගු නිලධාරීන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීම සහ මෙරට රාජ්‍ය ආදායමට සුවිශේෂි අපනයන දායකත්වයක් ලබා දුන් සමාගම් ඇගයීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
''රජයේ අපේක්ෂිත ආදායම් ඉහළ නංවා ගැනීමට රේගු සේවාව වඩාත් කාර්යක්ෂම විය යුතුයි''
''රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය සතු පැරණිතම දෙපාර්තමේන්තුවක් ලෙස සැලකෙනවා. මීට වසර 2000කට පමණ පෙර, පැරණි මාන්තෙයි වරායේ රේගු බදු එකතු කළ බවට වාර්තා සහ සාක්ෂි තිබෙනවා.ඉතින් එදා සිට අනුරාධපුර යුගයේදී, කෝට්ටේ යුගයේදී මෙන්ම මහනුවර යුගයේ සිට අද දක්වාම මේ රටේ පැවැත්මට රේගු ආදායම විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.
2022 වසරේ දී අප මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවට මම පළමුව ස්තූතිවන්ත විය යුතුයි.
රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන වෙනවා. අද ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්, කලාපීය වෙළෙඳ ගිවිසුම්, නිදහස් වෙළෙඳ ගිවිසුම් කියන මේ සියල්ල සමඟ රජයේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේද කියා අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා වර්තමාන රේගු සේවාව වඩාත් කාර්යක්ෂම විය යුතුයි.
අපට ඔබගේ දෙපාර්තමේන්තුවට අමතර කාර්ය මණ්ඩලයක් ලබා දීමට නොහැකි වුවත්, ආදායම කොපමණ වැඩි දියුණු කරගත හැකිද කියා ඔබගේ කාර්ය සාධනයෙන් පෙන්නුම් කර තිබෙනවා. මෙහිදී අප තව බොහෝ දුර යා යුතු අතර ළඟදීම ගෙන ඒමට නියමිත නව නීති ද ඇතුළුව රේගු සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තු සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට රජය කැපවී සිටිනවා. මෙය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ගන්නා ක්‍රියාමාර්ගවල කොටසක් බව කිව යුතුයි.
අප තවම සිටින්නේ අසීරු කාලයක. 2021 වසරේදී අපට අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. අපට බෙහෙත්, පොහොර, ඉන්ධන තිබුණේ නැහැ. නමුත් අද ඒවා තිබෙනවා. ඒවාට යම් කිසි මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. තවම සියලු දෙනාට ජීවන බර දැනෙනවා. ආර්ථිකය දියුණුවීමත් සමඟ තමයි මේ ප්‍රශ්න අඩු වෙන්නේ.
2022 වූ ආර්ථික හානිය එක පෑන් ඉරකින් ඉවත් කර දමන්න පුළුවන් නම් මම කැමතියි. නමුත් එය සිදු කළ නොහැකියි. එසේ නම් අප අලුත් ආර්ථිකයකට යා යුතුයි. එහිදී තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළයුතුයි. පෙබරවාරි 03 වනදා අප තායිලන්තය සමඟ ගිවිසුමක් අත්සන් තබනවා. තායිලන්තය අපේ රට වගේම ථේරවාදී බෞද්ධ රටක්. නමුත් ඔවුන් ගියේ එක මාර්ගයක. අප ගියේ තවත් මාර්ගයක. එහි වෙනස තමයි අද දක්නට ලැබෙනවා.
අප ගනු ලබන පියවර සමඟ අනාගතයේ මේ රටේ ඇතිවන ආර්ථිකය කුමක්ද යන්න සිතා බැලිය යුතුයි. ඒ පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. දේශපාලන පක්ෂ ඒ සම්බන්ධව කථා කළයුතුයි. මැතිවරණයකට යනවා නම් කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කියා ඔවුන් දැන ගත යුතුයි. හඳෙන් හාල් ගේනවා වැනි ක්‍රමයට එය සිදුකළ නොහැකියි. රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එකඟද, එය වෙනස් කරනවාද කියා සාකච්ඡා කළ යුතුයි.
මුදල්, ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්. ඩී. පෙරේරා, සහකාර රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.