ඉහළින් ඇති ඡායාරූපය දෙස බලන්න. මේ එවකට 'ද ෆේස්බුක්' ලෙස හැඳින්වූ

'ෆේස්බුක්' මාර්ක් සකර්බර්ග් සහ සිය අතළොස්සක් පමණ වූ මිතුරන් සමග මීට 20 වසරකට පෙර ඔවුන් දිවි ගෙවූ කාමරයේ සිට දියත් කළ අවස්ථාවේ පැවති ආකාරය යි.

එතැන් සිට, ලෝකයේ වඩාත් ම ජනප්‍රිය මෙම සමාජ ජාලය අවස්ථා ගණනාවකදී වෙනස්වීම්වලට භාජනය විය.

එසේ වුව ද ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් එකිනෙකා හා සම්බන්ධ කිරීම සහ ප්‍රචාරණ කටයුතු හරහා විශාල ප්‍රමාණවලින් මුදල් ඉපැයීම යන ඔවුන්ගේ අරමුණ නොවෙනස්ව පැවතිණි.

සිය 20 වන වියට පා තබන අවස්ථාවේ, ෆේස්බුක් ලෝකය වෙනස් කළ ආකාර හතරක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. 

 Facebook ආරම්භ කර වසර 20ක්. අපේ ලෝකය වෙනස් කළ ආකාර හතරක්.

1. සමාජ මාධ්‍ය කණපිට පෙරළූ ෆේස්බුක්

ෆේස්බුක් පැමිණීමට පෙර MySpace වැනි අනෙකුත් සමාජ ජාල පැවති නමුත් මාර්ක් සකර්බර්ග්ගේ මෙම වෙබ් අඩවිය 2004 වසරේදී දියත් කළ අවස්ථාවේ ම පරිශීලකයින් අතර ජනප්‍රිය වූයේ, මේ ආකාරයේ වෙබ් අඩවියක් කෙතරම් වේගයෙන් බලපෑමක් ඇති කළ හැකි ද යන්න සනාථ කරමිනි.

වසරකට අඩු කාලයකදී එය සමග මිලියනයක් පමණක් පරිශීලකයින් ගණනක් සම්බන්ධ වූ අතර වසර හතරක් ඇතුළත එය MySpace අභිබවා ගියේ ය.

ඡායාරූපවලට පුද්ගලයින් 'ටැග්' කිරීමේ හැකියාව වැනි නවෝත්පාදනයන් මගින් ද එය පෝෂණය විය.

MYSPACEFacebook ආරම්භ කිරීමට වසරකට පෙර MySpace ටොම් ඇන්ඩර්සන් විසින් දියත් කළේය.


රාත්‍රියක ඩිජිටල් කැමරාවක් රැගෙන ගොස්, ඉන් ලබා ගත් දුසිම් ගණන් ඡායාරූපවලට මිතුරන් 'ටැග්' කිරීම එවකට නව යොවුන් වියේ පසුවූවන්ගේ ජීවිතවල ප්‍රධාන අංගයක් විය. නිරන්තරයෙන් වෙනස් වුණු පරිශීලකයින්ගේ ක්‍රියාකාරකම් දිස් වූ 'activity feed', එය මුල් වරට භාවිත කළ පිරිස් ආකර්ෂණය කර ගැනීමට සමත් විය.

2012 වන විට, ෆේස්බුක් මසකට පරිශීලකයින් ගණන බිලියනයක් ඉක්මවා ගිය අතර, 2021 අවසානයේ ගමන් මගේ සිදු වූ කෙටි වෙනස් වීමක් හැරුණු විට, එනම් එහි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් ගණන පළමු වරට බිලියන 1.92 දක්වා පහත වැටුණු අවස්ථාවේ පවා, මෙම වේදිකාව අඛණ්ඩව වර්ධනය විය.

ලෝකය සමග එතරම් සම්බන්ධතා නොපවත්වන රටවල්වල ව්‍යාප්ත කිරීමෙන් සහ නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීමෙන් සමාගම ෆේස්බුක් පරිශීලකයින් සංඛ්‍යාව නොවෙනස්ව පවත්වා ගැනීමට සහ වැඩි කර ගැනීමට කටයුතු කර ඇත. 2023 අවසානයේ ෆේස්බුක් වාර්තා කළේ, තමන්ට දෛනික පරිශීලකයින් බිලියන දෙකකට වඩා ගණනක් සිටි බව ය.

ඇතමෙකු ෆේස්බුක් සහ එහි ප්‍රතිවාදීන්, සම්බන්ධතා සවිබල ගැන්වීමේ මෙවලම් ලෙස දකින අතර තවත් පිරිසක් ඒවා විනාශය සඳහා මග කියන ඇබ්බැහිකාරකයන් ලෙස දකිති.


2. ෆේස්බුක් හරහා අපගේ පෞද්ගලික දත්තවලට වටිනාකමක්... සහ අඩු පෞද්ගලිකත්වයක්

XCFGDFTG
අප කැමති සහ අකමැති දෑ පිළිබඳව දැන ගැනීම ලාභ ලැබීමේ කදිම මාර්ගයක් බව ෆේස්බුක් සනාථ කළේය.

මේ දිනවල, ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා, ගූගල් වැනි සමාගම් සමග එක්ව, ගෝලීය වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවලින් ලැබෙන මුදලින් ඉහළ කොටසක් ලබා ගන්නා වෙළෙඳ ප්‍රචාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් බවට පත්ව ඇත.

මෙටා සමාගම 2023 වසරේ තුන්වන කාර්තුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 34කට (පවුම් බිලියන 26.7) ආසන්න ආදායමක් වාර්තා කළ අතර ඉන් වැඩි කොටසක් ඉතා සාර්ථක ලෙස ඉලක්කගත දැන්වීම් සේවා සැපයීමෙන් ඉපැයීය. එම ආදායමෙන් ඩොලර් බිලියන 11.5ක් ලාභය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

නමුත් දත්ත රැස් කිරීම අවුල්සහගත විය හැකි තැන් ද ෆේස්බුක් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

පෞද්ගලික දත්ත වැරදි ලෙස පරිහරණය කිරීම සඳහා මෙටා සමාගමට කිහිප වතාවක් දඩ ගෙවීමට සිදු විය.

ඒ අතරින් වඩාත් ම ප්‍රසිද්ධියට පත් වූ සිද්ධිය වූයේ, 2014 වසරේදී කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) සිද්ධිය වන අතර එහිදී සැලකිය යුතු දත්ත ගණනක් වැරදි ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ෆේස්බුක් සමාගමට එරෙහිව ක්‍රියාත්මක වූ නීති ක්‍රියාමාර්ග සමථයකට පත් කර ගැනීමට ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 725ක් (පවුම් මිලියන 600) ගෙවීමට සිදු විය.

2022 වසරේදී, සිය වෙබ් අඩවියෙන් පෞද්ගලික දත්ත ලබා ගැනීමට ඉඩ දීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය නියම කරන ලද යුරෝ මිලියන 265ක දඩයක් ගෙවීමට ද ෆේස්බුක් සමාගමට සිදු විය.

තව ද පසුගිය වසරේ, යුරෝපීය පරිශීලකයින්ගේ දත්ත අධිකරණ බල සීමාවෙන් පිටත මාරු කිරීම සම්බන්ධයෙන් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම විසින් ෆේස්බුක් සමාගමට වාර්තාගත යුරෝ බිලියන 1.2ක දඩයක් නියම කරන ලදී. ෆේස්බුක් සමාගම මේ වන විට එම දඩයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

3. ෆේස්බුක් විසින් ඉන්ටර්නෙට් දේශපාලනිකරණය කිරීම

REUTERS
ඉලක්කගත පරිශීලකයින් කොටසකට වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන ෆේස්බුක් ලොව පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රධාන වේදිකාවක් බවට පත්ව ඇත.

නිදසුනක් වශයෙන්, 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයට මාස පහක් තිබියදී එවකට ජනාධිපති ධූරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම ෆේස්බුක් දැන්වීම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 40කට වඩා වැඩි මුදලක් වැය කර ඇතැයි 'Statista' පර්යේෂණය පෙන්වා දෙයි.

ගෝලීය පරිමාණයෙන් විවිධ පරිශීලක කණ්ඩායම්වලට එකතු වීමට, ප්‍රචාරණ කටයුතු කිරීමට සහ සැලසුම් කිරීමට හැකියාව ලබා දීමෙන් ෆේස්බුක් බිම් මට්ටමේ දේශපාලනය වෙනස් කිරීමට ද අත තබා තිබිණි.

'අරාබි වසන්තයේදී' විරෝධතා සම්බන්ධීකරණය කිරීමට සහ භූමියේ සිදුවන දේ පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට ෆේස්බුක් සහ ට්විටර් තීරණාත්මක වූ බව කියනු ලැබේ.

එහෙත් දේශපාලන අරමුණු සඳහා ෆේස්බුක් යොදා ගැනීම, මානව හිමිකම් කෙරෙහි සිදුවන බලපෑම් ඇතුළුව ඉන් ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත. 2018 වසරේදී, මියන්මාරයේ රොහින්ග්‍යා ජනතාවට එරෙහිව " බිම් මට්ටමේ ප්‍රචණ්ඩත්වය අවුළුවාලීමට" මිනිසුන් වේදිකාව භාවිත කිරීම වැළැක්වීමට තමන් අපොහොසත් වූ බව පැවසූ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට ෆේස්බුක් සමාගම එකඟ විය.

මෙටා ආධිපත්‍යය ආරම්භ කළ ෆේස්බුක්

META
ෆේස්බුක්හි අතිවිශාල සාර්ථකත්වයත් සමග මාර්ක් සකර්බර්ග් පරිශීලකයින් අතින් මෙන් ම බලය අතින් ද පෙර නොවූ විරූ ලෙස පවතින සමාජ ජාල සහ තාක්‍ෂණ අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තේ ය.

වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ඔකියුලස් ඇතුළු නැගී එන සමාගම් සියල්ල ම ෆේස්බුක් යටතට ගෙන, ඒවායේ වර්ධනයට උර දුන්නේ ය. 2022 වසරේදී ෆේස්බුක් මව් සමාගමේ නම, මෙටා ලෙස වෙනස් කෙරිණි.

මෙටා සමාගම පවසන්නේ, බිලියන තුනකට වඩා වැඩි පිරිසක් දිනකට අවම වශයෙන් තම නිෂ්පාදනයක් භාවිත කරන බව ය.

තව ද එහි ප්‍රතිවාදීන් මිල දී ගැනීමට නොහැකි වූ විට, තම අධිපත්‍යය පවත්වා ගෙන යාමට මෙටා සමාගම විසින් බොහෝ විට ඒවා අනුකරණය කරනු ලබන බවට නිරතරයෙන් චෝදනා එල්ල වී ඇත.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්හි 'අතුරුදන්වන (disappearing)' 'ස්ටෝරීස්' විශේෂාංගය ස්නැප්චැට්හි ඇති ප්‍රධාන අංගයකට සමාන වේ; ඉන්ස්ටග්‍රෑම් රීල්ස් යනු, වීඩියෝ බෙදාගැනීමේ යෙදුමක් වන ටික්ටොක් විසින් එල්ල කරන ලද අභියෝගයට සමාගමේ [මෙටා] පිළිතුරයි; තව ද ත්‍රෙඩ්ස් යනු,මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ X අනුකරණය කිරීමට මෙටා දරන උත්සහය යි.

උපක්‍රමශීලීව කටයුතු කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වී ඇත්තේ, ඉහළ යන තරගකාරිත්වයට සහ දැඩි නියාමන පරිසරයකට ස්තූතිවන්ත වන්නට ය.

2022 වසරේදී මෙටා සමාගමට GIF නිර්මාණය කරන ගිෆී (Gify) සේවාව පාඩු පිට විකිණීමට සිදු වූයේ එක්සත් රාජධානියේ නියාමකයින් මෙටා සමාගම සතු අසීමිත වෙළෙඳපොළ අධිපත්‍යය පිළිබඳව ඇති වූ බිය නිසා එම සේවාව ඔවුන් සතු වීම අවහිර කිරීම හේතුවෙනි.


ඉදිරි වසර 20 ?

ෆේස්බුක්හි නැගීම සහ අඛණ්ඩ ආධිපත්‍යය, එය කාලෝචිතව පවත්වා ගැනීමට මාර්ක් සකර්බර්ග්ට ඇති හැකියාව සාක්ෂි දරයි.

එහෙත් වඩා ත් ජනප්‍රිය සමාජ ජාලය ලෙස එහි කිරුළ පවත්වා ගැනීම ඉදිරි වසර 20 තුළ දැවැන්ත අභියෝගයක් වනු ඇත.

මෙටා දැන් ඇපල් වැනි ප්‍රතිවාදී තාක්ෂණික දැවැන්තයින් අභිබවා ඉදිරියෙන් සිටින බව කියන 'Metaverse' සංකල්පය වටා තම ව්‍යාපාරය ගොඩනැගීමට දැඩි ලෙස තල්ලු වෙමින් සිටී.

කෘත්‍රිම බුද්ධිය ද ඉහළ ප්‍රමුඛතාවක් ලෙස මෙටා සලකයි.

එබැවින්, මෙටා සමාගම එහි ෆේස්බුක් මූලයන්ගෙන් තවත් ඈත්වද්දී, සෑම තැනක ම පාහේ හමුවන 'කුඩා නිල් යෙදුමේ' අනාගතය කුමක් වේ දැයි සොයා බැලීම සිත්ගන්නාසුලු වනු ඇත.

අතිරේක වාර්තාකරණය ඉමාන් මොහොමඩ් විසිනි

ප්‍රධාන ඡායාරූපය නයල් කෙනඩි විසිනි

(BBC සිංහල සේවය) 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්