අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන තරගයට පිවිසීම දක්වා වූ අයිවරි කෝස්ට් කණ්ඩායමේ අනපේක්ෂිත හා ප්‍රාතිහාර්යමය ප්‍රගමනය එරට
ජනතාව තුළ අවධාරණය කර තිබෙන්නේ දෙවියන් ඔවුන්ගේ පැත්තේ සිටින බව.
සත්කාරක රට තරගාවලියෙන් ඉවතට විසිවීමේ ආසන්නය ට ම පැමිණි අවස්ථා ගණනාවකින් ම බේරී තිබෙන්නේ අනෙක් තරගවල ප්‍රතිඵලවලින් උදාවූ වාසනාව හා තරගවල පසුපසින් සිට ඇදහිය නොහැකි ලෙස යාන්තමට නැවත නැගිටීමට ස්තූතිවන්ත වන්නට.
Elephants ලෙසින් හැඳින්වෙන අයිවරි කෝස්ට් ජාතික පාපන්දු කණ්ඩායම මෙවර අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටින්නේ හොලිවුඩ් පිටපත් ලියන ආකාරයෙන්.
තරගාවලියේ මූලික වටයේ ඔවුන්ගේ අවසාන තරගයේදී Equatorial Guinea වෙතින් ලැබූ 4-0ක විස්මිත පරාජයෙන් පසුව තරගාවලියෙන් විසිවීමේ ආසන්නයට අයිවරි කෝස්ට් කණ්ඩායම පැමිණි සිටියා. ඒ පරාජය පැමිණියේ ඔවුන්ගේ පැරණි ප්‍රතිවාදීන් වන නයිජීරියාව හමුවේ ලත් 1-0ක පරාජයෙන් පසුව. මේ අනුව, අයිවරි කෝස්ට් කණ්ඩායම පිළිමළුන් පිටු දැකීමේ වටයට කෙසේ හෝ රිංගා යාමේ වරම අනෙක් තරගවල ප්‍රතිඵල මත රැඳී තිබුනා.
එය විය හැකි දෙයක් බවට බොහෝ දෙනා විශ්වාස කළේ නැහැ. කලකිරීමට පත් අයිවරි කෝස්ට් ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණය පිටතින් නවතා තිබුනු බස් රථ විනාශ කළ අතර අයිවරි කෝස්ට් පාපන්දු සම්මේලනය ‘අසාර්ථක ප්‍රතිඵල’ නිසා කණ්ඩායමේ ප්‍රංශ ජාතික පුහුණුකරු Jean-Louis Gasset තනතුරෙන් ඉවත් කළා.
Jean-Louis Gasset
වෙනත් පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයකින් පසුව, Gassetගේ සහායකයා ලෙස කටයුතු කරමින් සිටි Emerse Fae අන්තර් ප්‍රධාන පුහුණුකරු වශයෙන් සම්මේලනය විසින් උසස් කරනු ලැබුවා. Fae හිටපු අයිවරි කෝස්ට් මැදපෙල ක්‍රීඩකයෙක්.
මේ අවස්ථාවේදී, මොරොක්කෝව 1-0කින් සැම්බියාව පරාජය කළේ අයිවරි කෝස්ට් කණ්ඩායම මූලික වටයේ ඛාණ්ඩ හය අතර සිටින තෙවැනි ස්ථාන ලබා ගත් කණ්ඩායම් අතරින් සිවුවැනියට හොඳම කණ්ඩායම බවට පත් කරමින්. පිළිමළුන් පිටුදැකීමේ වටයේ අන්තිම ස්ථානය ඩැහැ ගැනීමට එය ප්‍රමාණවත් වුනා.
Emerse Fae
අයිවරි කෝස්ට් කණ්ඩායමට අවසන් 16 දෙනාගේ වටයේ පළමුව මුණගැසුනේ අප්‍රිකානු කුසලානය රැක ගනිමින් සිටින, සිය මූලික වට තරග තුන ම ජය ගත් එක ම කණ්ඩායම වන සෙනෙගාලය. අතිරේක කාලය දක්වා පැවති තරගය අවසානයේ පෙනල්ටි 5-4ක තියුණු ජයක් ලබා ගැනීමට තරම් අයිවරි කෝස්ට් වාසනාවන්ත වුනා.
මේ ඇදහිය නොහැකි ජයග්‍රහණයත් සමග රටේ ලොකුම නගරය වන Abidjan හි වීදි පාටි ඇරඹුනා. මැදියම් රැය පසුවී බොහෝ වේලාවක් යනතුරුත් මෝටර් රථවල නලා හඬ මැද ජනතාව වීදි දිගේ නටමින් ගයමින් විනෝද වුනා.
අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවුනේ මාලි කණ්ඩායම සමග. එහිදී, ගෝල් 2-1ක තියුණු ජයග්‍රහණයක් ලැබ අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව අයිවරි කෝස්ට් ක්‍රීඩකයන් සිටියේ තමන් ලත් ජයග්‍රහණය තමන් ට ම අදහා ගත නොහැකි අයුරින්.
Oumar Diakite
සෙනාගාලය ට එරෙහි ජයග්‍රහණය වාර්තා වුනේ තරගයේ සිවුවැනි මිනිත්තුවේදී අයිවරි කෝස්ට් පසුබැසීමකට ලක්ව සිටීමෙන් පසුව යළි නැගිටිමින්. මාලි කණ්ඩායමට එරෙහි ජයග්‍රහණය ලබා ගත්තේ දෙවැනි භාගය පුරා ම සහ අතිරේක කාලයේදීත් එක ක්‍රීඩකයෙක් අඩුවෙන් තරග කිරීමට සිදුවීම මධ්‍යයේ. අයිවරි කෝස්ට් කණ්ඩායම අවසන් පූර්ව වටයට ගියේ අතිරේක කාලයේ තීරණාත්මක ගෝලයක් ලබා ගනිමින්. ඒ ගෝලය ලබා ගත්තේ Oumar Diakite.
සෙනෙගාලය හා මාලි කණ්ඩායම් සමග තරගවල අවසන් අඩියේදී අයිවරි කෝස්ට් ජයග්‍රහණ ලැබුවේ වෙන කිසිවක් නිසා නොව දෙවියන්ගේ කැමැත්ත නිසා ම බව එරට ජනතාව විශ්වාස කරනවා. හෙට ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරගයේදී දෙවියන් විසින් අයිවරි කෝස්ට් කණ්ඩායම ඔවුන්ගේ තෙවැනි අප්‍රිකානු කුසලාන ශූරතාව කරා ගෙන යනු ඇතැයි ඔවුන්ට දැන් සහතික වී තිබෙනවා.
Sebastien Haller
අයිවරි කෝස්ට් කණ්ඩායම අවසාන තරගය කරා ගෙන ගියේ වළලුකර ආබාධයකින් සුවය ලබා පැමිණි Sebastien Haller. අවසන් පූර්ව තරගයේදී කොන්ගෝ පිල 1-0කින් පැරදවූ ඒ තීරණාත්මක ගෝලය ලබා ගත්තේ ඔහු.
බදාදා පැවති ඒ තරගයට පැය ගණනාවකට පෙර Abidjan නගරයේ Chapelle de l’externat Saint Paul දේවස්ථානයේ දේව මෙහෙයට බොහෝ දෙනෙක් සහභාගි වුනේ ජාතික පාපන්දු කණ්ඩායමට ආවේණික වූ තැඹිලි පාට ජර්සි පැළඳ. Elephants කණ්ඩායමේ එදින සන්ධ්‍යාවේ තරගය ගැන සඳහනක් නොකර ඒ දේව මෙහෙය අවසන් වුනේ නැහැ.
“ජාතික කණ්ඩායම Elephants මේ තරගාවලියේ ඉදිරියට යන අකාරය දෙස බැලුවම එය ප්‍රාතිහාර්යයක් විතරමයි. එය සිදුකළ හැක්කේ දෙවියන්ට පමණයි” ආගමික සභාවේ කෙනෙකු වන Ange Assamoi දේව මෙහෙයට පසුව කියා සිටියා.
ආගම අදහන්නන් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රාර්ථනාවන් පල්ලියට ගෙන යන බව Assamoi පැවසුවා. “නමුත් අද, අපේ තරගයත් අපේ යාච්ඤාවල තිබෙනවා. ඒ, දෙවියන් අද හැන්දෑවේ අපිට ජයග්‍රහණය ලබා දේවි කියලා.”
විවිධ ආගම් අදහන අයිවරි කෝස්ට් ජාතිකයන් Assamoiගේ විශ්වාසය බෙදා ගෙන සිටිනවා. මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම් දෙකේ ම භක්තිකයන් ප්‍රාර්ථනා කරන්නේ එක ම දේ වෙනුවෙන්.
“තරගය දිනලා, කප් එක උස්සන්න ලැබේවි කියලා සියළු දෙනාම දෙවියන්ගෙන් ඉල්ලනවා” යැයි Abidjan නගරයේ ආරක්ෂක නිලධාරියෙක් සඳහන් කරනවා. “අපි අයිවරි කෝස්ට්වල ජීවත් වෙන්නේ දේව ප්‍රසාදය ලැබීමෙන්. දෙවියන් අපට සහයෝගය දෙනවා.”
මුස්ලිම් පල්ලි සහ කිතුනු දේවස්ථාන අයිවරි කෝස්ට් හි දක්නට ලැබෙන්නේ එකිනෙකට වැඩි ඈතකින් නෙවෙයි. ජනගහණයෙන් සියයට 80කට වැඩි පිරිසක් ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අදහනවා.
තරගාවලියේ තරග අතරතුර බොහෝ ක්‍රීඩා ලෝලීන් තරගයේ පළමු භාගය අවසානයේ ලැබෙන කෙටි විරාමයේ ක්‍රීඩා මණ්ඩපයේ පිටුපස නිශ්ෂබ්ද කොණක් හෝ අවකාශයක් සොයා ගෙන එහි ඔවුන්ගේ යච්ඤා පැදුරු එලාගෙන දෙවියන් යදිනවා.
නමුත් අයිවරි කෝස්ට් පාපන්දු අන්තර් පුහුණුකරු Emerse Fae ඔහුගේ විශ්වාස ප්‍රාතිහාර්යයන් මත තබන්නේ නැහැ.
“ඊට වඩා වැඩි විශ්වාසයක් අපේ මානසික ශක්තිය කෙරෙහි තබන්නත් අපි ඉන්නේ නියමාකාර ධෛර්යයෙන් යුතුව කියලා අපි ට ම කියා ගන්නත් අපි කැමතියි.
මොකද, අර වගේ ප්‍රාතිහාර්යයන් කරන්න අපට ඉඩ දුන්නේ අපේ ධෛර්යය යි. නමුත් අපි සාර්ථකව ඉදිරියට ආවේ ප්‍රාතිහාර්යයකට ස්තූතිවන්ත වන්නටයි කියා හෝ එය දෛවයේ සංඥාවක් යනුවෙන් හිතාගෙන හෝ ඊට මුවා වී විවේක ගෙන ඒ පිටුපස සැඟවෙන්න අපට බැහැ” යනුවෙන් Fae අවසන් පූර්ව තරගයට පෙර ප්‍රකාශ කළා.
“කුසලානය දිනා ගන්න අපට ඔ්න නම්, ඒ වෙනුවෙන් අපි අපි ම වෙහෙස විය යුතුයි. මාලි කණ්ඩායමට එරෙහි ප්‍රාතිහාර්යය නිකම් ම අහසින් වැටුනේ නැහැ. ඒ ප්‍රාතිහාර්යය ආවේ ක්‍රීඩකයන් අවසානය දක්වා ම ඒ ගැන විශ්වාස කළ නිසා!”
අයිවරි කෝස්ට් කණ්ඩායම ඉරිදා අවසාන මහා තරගයට මුහුණ දෙන්නේ තෙවතාවක් අප්‍රිකානු ශූරයින් වූ නයිජීරීයාව ට.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී