ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාබ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පලිගැනීමක් ලෙස

අරක්කු මුදලාලිලා හා සීනි හොරුන් දේශපාලඥයන් අතකොලු කරගෙන තමන්ව ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරනු ලැබූ රාජාසන කතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ මන්ත්‍රීන් හා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වර්ජනය කරන අවස්ථාවේදී තමන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් සභා ගැබේ රැදී සිටීම ඊට හේතුව බවයි මන්ත්‍රීවරයා හෙළි කරන්නේ.

"පසුගියදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා රාජාසන කතාව කරන්න. කතාව ආරම්භ කරන කොටම වගේ, විපක්ෂ නායකතුමයි, විපක්ෂයේ සංවිධායක කිරිඇල්ල මහත්තයයි, නැගිටලා ගියා. ඊට පහුවෙනිදා, මේ රාජාසන කතාවට විවාද තිබුණා. විවාදයට මමත් වෙලාවක් ඉල්ලලා තිබුණා. මට වෙලාවක් තිබෙන බව ඊට කලින් දවසේ මට දැනුම් දුන්නා. නමුත් මට එදා දැනුම් දුන්නා මගේ කතාව කපලා කියලා. මම කිරිඇල්ල මහත්තයාට කතා කරලා ඇහුවා, ඇයි කතාව කැපුවේ කියලා. කිරිඇල්ල මහත්මයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහට විරෝධය පාලා නැගිටලා ගියේ නැති අයට වාඩිවෙලා හිටපු අයට කතා දෙන්න එපා කියලා නායකතුමා කිව්වායි කියලා. නායකතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මං කිව්වා ඔබතුමා කොහොමද අපි ගැන තීරණය කරන්නේ? අපි වෙන පක්ෂයක්. මම ස්වාධීන මන්ත්‍රී කෙනෙක්. එහෙම කරන්න බෑ කියලා. මං කිව්වා අඩු තරමින් ඇයි අපිට පණිවිඩයක්වත්, දුරකතනෙන්වත් දැනුම් දුන්නේ නැත්තේ අපි මේක වර්ජනය කරනවා කියලා. එතුමා කිවා ඉතින් නායකයා නැගිටලා යන කොට දැනගන්න ඕනේ පස්සෙන් එන්න කියලා. ඉතින් මම කියන්න ඕනේ කාගෙවත් එහෙයියෝ වෙන්න අපි සූදානම් නැහැ."

මෙය පාදක කර ගනිමින් තමන්ව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් හා රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉවත් කළ බව පවසන මන්ත්‍රීවරයා එම ක්‍රියාවන් සිදුකරනු ලබන්නේ තමන් විසින් කාරක සභා සභාපතිවරයා ලෙස හොර අරක්කු මුදලාලිගේ ජාවාරමත්, සීනි බදු හොරුන් හා බදු නොගෙවූ පිරිස් හෙළිදරව් කිරීමේ සිදුවීම් වලින් පලිගැනීමට බව සඳහන් කළේය.


මෙම පළිගැනීමට සම්බන්ධ විපක්ෂ මන්ත්‍රීන් සීනි බදු වංචාකරුවන්ගේ ගොඩනැගිලි වල පදිංචි වී සිටින පිරිස් බවත් රන්ජන් රාමනායක පවසන පරිදි ඔවුන් සියලු දෙනා යහලුවන් බව චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.


“මට නම් මේ නම කැපිල්ල පේන්නේ දෙතුන් පැත්තකම වුවමනාවට වෙච්ච දෙයක් හැටියට. ඇයි? පසුගිය නොවැම්බර් මාසේ ඊටත් පෙර පසුගිය අගෝස්තු මාසෙදි මේ රටේ මත්පැන් බෝතල් වල තියෙන ව්‍යාජ ස්ටිකර පරිහරණය කරන ක්‍රමවේදය අපි හෙළි කරලා දුන්නා. බිලියන ගාණකින් රටේ ආදායම වැඩි වුණා. අවසානයේ මොකද වුණේ? ඒ සුරාබදු කොමසාරිස්ටත් ගෙදර යන්න වුණා. ඒ බලපත් නවත්තලා රටට බිලියන ගානක් බදු හොයලා දීපු මටත් කාරක සභාවේ සභාපතිකම නැතුව ගියා. ඉතින් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා හිතාගන්නකෝ.”

රුපියල් කෝටියට වඩා වැඩියෙන් බදු නොගෙවපු 1272 දෙදෙනෙකු ඉන්නා බවත් එම ලැයිස්තුවේ හෙළි කිරිමෙන් එහි නම සඳහන් හිටපු ප්‍රබල ඇමැතිවරයකු ප්‍රකෝපයට පත් වු බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉන් තමන්ට තනතුරු අහිමි වී ගිය බව වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්) 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්