උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්

 

ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය. 

අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව ද ඔහු පැවසුයේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. 

පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියාමනය කළ යුතු බව පෙන්වා රාජ්‍ය අමාත්‍යවරයා, එහෙත් අධ්‍යාපනය විකිණීමේ කිසිදු සූදානමක් නැති බව අවධාරණය කර සිටියේය. 

මෙම ප්‍රවෘත්ති සාකච්ජාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මෙසේ ද පැවසීය.

''විදෙස් විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අප මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඉන් විශ්වවිද්‍යාල දෙකක්ම ස්ථාපිත වෙමින් පවතිනවා. මෙම වසරේ මැයි මාසය වන විට තුන්වන විශ්වවිද්‍යාලය ද ලංකාවේ ස්ථාපිත කෙරෙනවා. 

ඉන්දියානු තාක්ෂණ ආයතනය (indian institutes of technology) මහනුවර දී විවෘත කිරීමට නියමිතයි. අනෙක් විශ්වවිද්‍යාල දෙක එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එහි ශාඛා දෙකක් ලෙස විවෘත කිරීමට නියමිත අතර එහි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට ද අප සූදානමින් සිටිනවා. 

 

විජේදාස රාජපක්ෂ කමිටු වාර්තාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු වාර්තාව එක් කර නව උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ඇරඹීමේ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා. එම කමිටුවේ සභාපතිත්වය සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා පත් කරගැනීමට අප කටයුතු කළා. එහිදී ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන් සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. 

 

ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා ඕස්ට්‍රේලියානු උසස්  අධ්‍යාපන අමාත්‍යවරයාට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. ඔහු සමඟ මෙල්බන්, සිඩ්නි යන විශ්වවිද්‍යාල ඇතුළු තවත් විශ්වවිද්‍යාල 10ක අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමැති කුලපතිවරුන් මෙරටට පැමිණීමට නියමිතයි. එහිදී ඔවුන් විසින් අපගේ අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයෙන් පසු ගතයුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.''

සබැඳි පුවත් :
ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි - ජනාධිපති


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්