මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සාකච්ඡා පවත්වා ඇති බවට බුද්ධි අංශ විසින් රජයට කරුණු වාර්තා කර ඇත.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ම මෙම සාකච්ඡාවට මේ සම්බන්ධ වී ඇතැයිද වාර්තා කර තිබේ.

මෙම බුද්ධි වාර්තාවලට අනුව මෙම ජාවාරම්කරුවන් විශාල මුදලක් මේ සඳහා වැය කර ඇති අතර ඔවුන් වැඩ බලන පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට මෙන් ම යුක්තිය මෙහෙයුම නතර කිරීම සඳහා බලපෑම් කළ හැකි ඇතැම් දේශපාලකයන් මෙන්ම නිලධාරීන් යොදා ගන්නා පසුබිමක් බුද්ධි අංශ විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

ජාත්‍යන්තර මත් ජාලයට සම්බන්ධව සිටින මෙම ජාවාරම්කරුවන්ට මෙම යුක්තිය මෙහෙයුම දැඩි හිසරදයක්ව පවතින අතර ඔවුන් මේ වනවිට පත්ව ඇති අසීරුතා හමුවේ සිය ජාවාරම් යළි සක්‍රිය කර ගැනීමේ අරමුණින් මේ සඳහා මුදල් වැය කරමින් අදාළ ඉලක්කගත පුද්ගලයන්ගේ සහය ලබා ගැනීමට ක්‍රියා කරන බවට තොරතුරු ලැබී ඇත.

ඉතා සූක්ෂ්ම ලෙස දේශපාලන නායකයන් සහ සමහර රාජ්‍ය නිලධාරීන්ට සමීප වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමට කටයුතු කර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් සමග ද සම්බන්ධ වීමට උත්සාහ දරා ඇති බවට එහිදී හෙළි වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මේ වනවිට මේ සම්බන්ධයෙන් රට පුරා මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන අතර ඉහත අවදානම සම්බන්ධයෙන් අවධානයට ලක් කරමින් බුද්ධි වාර්තාව මගින් කරුණු පෙන්වා දී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වන දා ආරම්භ කරන ලද යුක්තිය මත්ද්‍රව්‍ය මෙහෙයුම මාස දෙකක කාලය තුළ මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග සැකකරුවන් හැටදහසකට ආසන්න ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් දෙදහසකට අධික ගණනක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසිය මේ වනවිට කටයුතු කර ඇත.

(mawbima.lk)

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image