කතානායකවරයා දෙවතාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර මෙරට නීතිය අවනීතිය බවට

පත්කර ඇති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


අද වන විට රටේ පවතින්නේ කැළෑ නීතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙබරවාරි 27 වැනිදා මාතලේ රත්තොට කයිකාවල මහා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 81 වැනි අදියරයට එක්වෙමින් කියා සිටියේය.

මාර්ගගත සුරක්ෂා කිරීමේ පනතට පවා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝධන කිසිවක් නොතකමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කර ඇති බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

 

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරිමේදී ද කතානායකවරයා ව්‍යවස්ථාව නොතකා කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස කියා සිටියේය.


කතානායකවරයාට ද ඡන්දයක් ඇති අතර එය තීරක ඡන්දයක් පමණක් බවත් ඡන්ද 5ක් තිබුණොත් පමණක් ස්ථිර හෝ ප්‍රතික්ෂේප වීම සිදුවන අතර කතානායකවරයා ඡන්දය දිය හැක්කේ සම වුවහොත් පමණක් වුවත් ඊයේ එවැනි සම වීමක් සිදු නොවුවත් කතානායකවරයා තීරක ඡන්දයක් ලබා දී වත්මන් පොලිස්පතිගේ නම අනීතික ලෙස ස්ථීර කර ඇති බවයි ඔහු පවසන්නේ.

රැස්වීම අවසන් වී සාමාජිකයන් යන විට පවා පොලිස්පති ධූරයට නමක් ස්ථිර වී නොතිබු බව කී විපක්ෂ නායකවරයා, ව්‍යවස්ථා විරෝධි ලෙස සාමාජිකයන් ගිය පසු කතානායකවරයා නම ස්ථිර කර යවා ඇති බවට චෝදනා කළේය.

ව්‍යවස්ථා සභාව රැස්වු අවස්ථාවේ දී පොලිස්පති පත් කිරීමට නමක් ජනාධිපතිවරයා යෝජනා කර තිබූ බවත් එම යෝජනාවට පක්ෂව ඡන්ද 4ක් විරුද්ධව 2ක් සහ මත පළ කිරීමෙන් දෙදෙනකු වැළකී සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හෝ අඩු කරන්න නොයෙකුත් ප්‍රතිපාදන තිබෙන බවත් නව ව්‍යවස්ථා සංශෝධනයත් සමග ජනාධිපතිට යම් යම් තනතුර සදහා පත් කිරීමේ තිබූ තනි බලය සීමා කර සංවරණ හා තුලන හරහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නිර්මාණය කළ බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

 මේ අතර අද (27) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්ය ජී.එල්. පිරිස් පැවසුයේ,"පොලිස්පතිවරයා තේරීමේ  ඡන්ද විමසීමේදී කථානායකවරයා ඡන්දය ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්" බවයි.

 එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද එක්ව සිටියේය.

 කතානායකවරයාට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ සම ඡන්ද ප්‍රමාණයක් පක්ෂව සහ විපක්ෂව ලැබු අවස්ථාවක දී බවත්  දේශබන්දු පොලිස්පති කිරීමට අවම ඡන්ද 5ක් අවශ්‍යවන බැවින් ව්‍යාවස්ථා විරෝධී ලෙස කතානායක සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් මෙහිදී ප්‍රකාශවිය.

ව්‍යවස්ථා සභාව තීරණ ගත යුතු අන්දම පිළිබඳ අදාළ ව්‍යවස්ථා පරිච්ඡේදය සඳහන් ලියවිල්ලක් ද මාධ්‍යවේදීන් වෙත බෙදාදෙනු ලැබිය.

221045

 

(චතුරංග මේදිස්)
  

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image