මෙරට අවශ්‍ය බරපතල අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි අත්අඩංගුවේ පසුවන බවත්
ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද සූදානම් කර ඇතැයි ඔහු කීය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බව ද පොලිස්පතිවරයා පැවසීය.
අපරාධකරුවන් ලැයිස්තුවක් ඩුබායි පොලිසියට
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට පාතාලය මෙහෙයවන පුද්ගලයන් සැඟව සිටින ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන, එරට පොලිසියට ලබා දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කර ගැනීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
මෙරටට අවශ්‍ය කරන අපරාධකරුවන් ලැයිස්තුවක් එරට පොලිසියට ලබා දී ඇති අතර එහෙත් ඔවුන් ඉන්නා තැන් නොදන්නා නිසා ඔත්තුකරුවන් හරහා විස්තර ලබාගෙන එම ස්ථාන වෙත එරට පොලිසිය යොමුකර පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද සඳහන් වේ.
පසුගියදා පාතාලය විසින් ලබාදුන් ඔත්තුවක් මත මන්නා රමේෂ් ඩුබායිහි පොලිසියට කොටුවිය.