ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් 18 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ, ජාතික පොලිස් කොමිසමේ තීරණය පරිදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා නව පත්කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාස කාර්යාලය සඳහන් කළේ ය.
එම කාර්යාලය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුද හා පොලිස් අධිකාරිවරයෙකුද ස්ථාන මාරුවීම් හා උසස්වීම් ලබාදී ඇති නිලධාරීන් අතර වන බවයි.
දකුණ භාර SDIGත් මාරු කෙරේ
නව ස්ථාන මාරුවීම් අනුව, අපරාධ හා රථවාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්.සී. මැදවත්ත, පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුකර යවා තිබේ.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ.පී.එම් . ගුණරත්න බස්නාහිර පළාතටත්, ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ කටයුතු කළ එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්ත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා ඇත.
ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. පී .ඒ. කේ පියසේකර කළුතර කොට්ඨාසය වෙතත්, ගල්කිස්ස කොට්ඨාසය භාරව කටයුතු කළ ඊ. එම්. එම් .එස් දෙහිදෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.