හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන “පල් මෝඩයෙක්” ලෙසින් හඳුන්වන සමගි ජන බලවේග නියෝජ්‍ය ජාතික සංවිධායක S.M.මරික්කාර්, එවැන්නකු

ජනාධිපති ධූරයට පත් කිරිමට වෙහස මහන්සි වීම පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් තමා ගැනම මෙන්ම පාක්ෂිකයන් පිළිබඳ ද දුකක් ඇති වන බව මන්ත්‍රීවරයා 25 සඳුදා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

වසර ගණනාවක් පුරා විවිධ කොමිෂන් සභාවලට සාක්ෂි දෙමින්, විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටි මෛත්‍රීපාල සිරිසේන හදිසියේ සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බව ය.

කිසිවෙකුට පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ජීවිත එක්ක සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතු බවත්, තමන් ඒ පිළිබඳව දෙයක් දන්නේ නම්, කවුරුත් ඒ ගැන විමසනතුරු නොසිට අධිකරණයට හෝ පොලිසියට දැනුම් දීමේ හැකියාව පවතින බවයි S.M.මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධව ජනාධිපති කොමිසමේ විමර්ශනයක් සහ අධිකරණයේ නඩු ගණනාවක් තිබූ බවත් ඒ කිසිවක දී කතා නොකර දැන් නින්දෙන් නැගිටුනා වගේ කතා කිරීම පිස්සුද හැටිද කියා ප්‍රහේලිකාවක් බවයි මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ.

ඡන්ද කුමන්ත්‍රණයක් ද?


හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක්ද යන්න සැක මතු වන බවද හෙතෙම සඳහන් කළේය.

"ඡන්දයක් කිට්ටුවෙද්දි මෙහෙම කියන්නේ මේක දේශපාලන කුමන්ත්‍රණයක්ද කියන සැකයකුත් තියෙනවා. වෙන මොනවා හරි නාඩගමක් විකාරයක් සෙල්ලමක් දාන්න හදනවද කියලා. මොකද එතුමගේ පක්ෂය සීසීකඩ කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඔවුන්ට තවදුරටත් පොහොට්ටුව ඇතුලේ ඉන්න බැරි කමක් ඇවිල්ලා. ජාතික ජන බලවේගයත් එක්ක ඔවුන්ට එකතුවෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ල තියෙනව. මේ විදිහට සමගි ජන බලවේගය එක්ක එකතු වෙන්නත් එයාට බැහැ. එතකොට මේක වෙන උප්පරවැට්ටියක්ද කියා සැකයක් මට තියෙනවා.”


ආප්ප කාලා ජනාධිපති අපේක්ෂකකම ගන්නවා වගේ විහිළුවක් නෙමෙයි


කවර තත්වයක් යටතේ වුවද මියි ගිය අයට මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කිරීමේ වගකීම මෙන්ම ඇත්ත තොරතුරු හෙළි කිරීමේ වගකීම ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

“මේක මේ ආප්ප කාල අනිත් පැත්තට ගිහිල්ලා ජනාධිපති අපේක්ෂකකම ගන්නවා වගේ විහිළුවක් විදිහට හිතන්න හොඳ නැහැ. මොකද කොමිෂන් සභාවලට හෝ අධිකරණයට මෙතෙක් නොකියපු පොලිසියට මෙතෙක් නොකියපු එක පාරටම නින්දෙන් ඇහැරුණා වගේ මේ කියන කතාව විහිළුවකට ගන්න බෑ කියන එක තමයි අපේ මතය.”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල විසින් පාස්කු ප්‍රහාර මාලාව සිදු කළේ කවුරුන්ද යන්න දන්නා බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධව දැඩි විමර්ශනයක් කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීම කළ යුතු යැයි S.M.මරික්කාර් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 
(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image