පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4

වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට නියෝග කර තිබේ.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මෙතෙක් මොකද වුනේ ?

පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ.

ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි.

වසර ගණනාවක් පුරා විවිධ කොමිෂන් සභාවලට සාක්ෂි දෙමින්, විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටි මෛත්‍රීපාල සිරිසේන හදිසියේ සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බව ය.


"පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන් ද සිද්ධ වුණේ කියලා. ඔය නඩු අහන ඒවෑ ඒ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි. ඒ මම අල්ලපු අය තමයි දැන් ඔය නඩු අහන්නෙ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින්. අනිත් පැත්තෙන් ගත්තා ම ප්‍රධාන වශයෙන් ම පාස්කු ප්‍රහාරය සැබෑ ලෙස ම කළේ කවුද කියලා තව ම කිසි කෙනෙක් කියල නෑ. හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියලා. මට අධිකරණයෙන් යම්කිසි ඉල්ලීමක් කළොත්, නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මට මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා, මම ලෑස්තියි කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන එක. අනික් කාරණය තමයි, ප්‍රධාන වශයෙන් ම එය ඉතාමත් රහසිගතව තබා ගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගෙත් වගකීමක් වෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.


මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහා ම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පසුදාම (මාර්තු 23) පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

ඒ අනුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව වහා ම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝග කර තිබිණ.

ඒ අනුව මාර්තු 25 වැනිදා පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ ලබාදීමෙන් පසු පස්වරු 3.50ට පමණ ඉන් පිටව ගියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (27) ප්‍රකාශකර තිබිණ. 


නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහිදී මෛත්‍රීපාල සිරිසේන  අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නා ලෙසද ඉල්ලීමක් කිරීමට නියමිත බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු දුන් ප්‍රකාශය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image