අනුරාධපුරය, මැදවච්චිය ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා වාහනයක් ධාවනය කළ බව කියන සිදුවීමකට පොලිසිය විසින් සිදුකළ බව කියන පහර

දීමකින් තුවාල ලැබූ තරුණයෙකු මේ වන විට රෝහල් ගත කර සිටියි.

ඉකුත් අප්‍රේල් මස 07 වෙනිදා රාත්‍රියේදී සිදු වූ බව කියන එම සිදුවීමට මුහුණ පා ඇත්තේ මැදවච්චිය, තුලාවේලිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි තරුණයෙකු යි.

දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.



පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට


මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



රෝහල් ගත කළ තරුණයා විසින් රෝහල් පොලිසියට ලබා දුන් ප්‍රකාශයක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් මෙම පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ එම පොලිස් නිලධාරින් දෙදෙනා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.


'අපිට ගහන්න හේතුවක් කිව්වේ නැහැ'


පොලිසියේ පහර කෑමට ලක්ව දැනට අනුරාධපුරය රෝහලේ ප්‍රතිකාර ලබන 23 හැවිරිදි තරුණයා පැවසුවේ එලෙස තමන්ට සහ තම මිතුරාට පහර දීමට හේතුව කුමක්ද යන්න පොලිසිය නොපැවසූ බවයි.



"අප්‍රේල් 07 වෙනිදා මමයි යාළුවයි දෙන්නා ටවුන් එකට ගිහිල්ලා එද්දී මග හරියේ අපි දැක්කා පොලිසියේ ට්‍රැෆික් එකෙන් ඉන්නවා."

"වාහන ගොඩක් නතර කරලා තිබ්බා. අපි ඒ වාහන ඔක්කොම ඉස්සර කරන් ඉදිරියට ආවා."

"එහෙම කිලෝමීටරයක් වගේ එද්දී අපිව ඉස්සර කරලා ට්‍රැෆික් බයික් එකක් ඇවිල්ලා නතර කළා."

"එහෙම නතර කරලා ඒ ආපු දෙන්නා මාවයි යාළුවාවයි වාහනෙන් ඇදලා ගත්තා එළියට. එහෙම ඇදලා අරන් අපි දෙන්නට ගහගෙන ගහගෙන ගියා."

"පස්සේ මගේ අත් දෙක පස්සට කරලා බැඳලා වාහනේට දාලා ආපහු ගැහුවා. ගහලා වාහනේට දාලා දොර වැහුවා."

"ඊට පස්සේ දෙන්නවම අරන් ගියා. අරන් ගිහිල්ලා දෙන්නවම ඇරස්ට් කළා."

"පිටි පස්සෙන් ත්‍රීවිල් එකක ආවා කට්ටියක්. ඒ අය ඇවිල්ලා මගේ යාලුවට පොලු වලින් ගැහුවා."

"එහෙම ඇරස්ට් කරලා ඉද්දි මට අසනීප වුණා. පස්සේ මම රෑ කිව්වා මට අසනීපයි කියලා."

"පස්සේ මාව ඩොක්ටර් ළ ඟට දැම්මා. ඩොක්ටර් කිව්වා මට ගොඩක් අමාරුයි ඒ නිසා අනුරාධපුරය ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා එහෙන් මාව මෙහෙට එව්වා."

"අනුරාධපුරයට ගෙනාවට පස්සේ ස්කෑන් එකක් කළා. ඊට පස්සේ කිව්වා මේ යට හරිය තැලිලා ලේ බැහැලා කියලා. ඊට පස්සේ ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා කිව්වා. දැන් ඔපරේෂන් එක කරලා ඉන්නේ."

"බයික් එකේ දෙන්නෙක් වගේම ත්‍රිවිල් එකේ ආපු හතර දෙනෙක් තමයි අපිට පහර දුන්නේ. හේතුවක් අපිට කිව්වේ නැහැ. සමහර විට අපි වාහන ඉස්සර කරන් ආපු නිසා වෙන්න ඇති කියලා හිතනවා."

"මගේ බෙල්ලට, ඒ වගේම කොන්දට ගොඩක් අමාරුයි. ඊට අමතරව ඔපරේෂන් එකක් කරලා තියෙනවා." තුවාල ලැබූ තරුණයා පැවසීය.



police1තරුණයාගේ මව වන කේ.බී. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී තම පුත්‍රයාට අත් වූ ඉරණම පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ඔහුට සිදුකළ ශල්‍යකර්මයෙන් වෘෂණ කෝෂයක් ඉවත කර ඇති බවයි.



'පුතා කොරියාවේ යන්න පාස්පෝර්ට් පවා හදලා හිටියේ : දැන් එයාගේ අනාගතයම ඉවරයි'


මේ අතර තරුණයාගේ මව වන කේ.බී. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී තම පුත්‍රයාට අත් වූ ඉරණම පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ඔහුට සිදුකළ ශල්‍යකර්මයෙන් වෘෂණ කෝෂයක් ඉවත කර ඇති බවයි.



"පුතා ගෙදරින් ගියා ඩිමෝ බට්ටා වාහනෙන් වාහනේ පොඩි වැඩක් තියනවා හදාගෙන එන්නම් කියලා."

"යාලුවෙක් එක්ක ගිහින් තියෙන්නේ. එහෙම ගිහිල්ලා එද්දී පොලිසියෙන් වාහනේට අත දාලා තියෙනවා කියලා කියනවා, හැබැයි ඒක එයාලා දැකලා නැහැ."

"පස්සේ පුතාලා පස්සෙන් මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ අය පන්නගෙන ඇවිල්ලා වාහනේට ඉස්සරහ කරලා නතර කරන් තියෙනවා."

"පස්සේ පුතාව වාහනෙන් බස්සලා එයාගේ අත් දෙක පිටි පස්සට තියලා බැඳලා බිම දාලා යටි බඩ හරිය පාගලා, බෙල්ලෙන් එහෙම ඇදලා ගහලා තියෙනවා."

"පස්සේ පුතාට අමාරු වෙලා එතැනින් අරන් ගිහිල්ලා තියෙනවා මැදව්ච්චිය රෝහලට. එතැනින් අනුරාධපුරයට එවලා එහෙදි ශල්‍යකර්මයකට භාජනය කරලා තියෙනවා."

"දැන් එයාගේ එක වෘෂණ කෝෂයක් අයින් කරලා තියෙන්නේ. ඒ දුක මම කාටද කියන්නේ."

"පුතාට වයස අවුරුදු 23යි. එයා කොරියන් කෝස් එකක් කරනවා. හෙට එයාගේ කෝස් එකත් පටන් ගන්නවා. කොරියාවේ යන්න පාස්පෝට් එක පවා හදලා ඉන්නේ."

"දැන් එයාගේ අනාගතයට මොකද වෙන්නේ? එයාගේ අනාගතය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා."

"අපි දොස්තරටත් කතා කළා. දොස්තරත් කිව්වා එයාගේ වෘෂණ කෝෂයක් අයින් කරන්න වුණා කියලා."

"මම පුතාට ඇවිල්ලා කෑම කැව්වා. එයා කිව්වා අම්මේ මගේ බඩ යට හොඳටම රිදෙනවා, මට කන්න බැහැ කියලා. එයා වේදනාවෙන් ඉන්නේ."

"වාහනේ නතර කළේ නැහැ කියලයි මේ වගේ අපරාදයක් කරලා තියෙන්නේ මගේ පුතාට."

"මේ ගැන අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අපි පැමිණිල්ලක් ගොනු කළා. පොලිසියෙන් කියනවා සිද්ධිය ගැන විමර්ශනයක් කරනවා කියලා."

"මේ වගේ අපරාධයක් කරන්න තරම් මගේ පුතා කිසිම වරදක් කරලා නැහැ."

"පුතාට පොලිසියේ දෙන්නෙක් පහරදීලා තියෙන්නේ. එයාගේ යාලුවට ත්‍රීවිල් එකේ ආපු හතර දෙනෙක් පහර දීලා තියෙන්නේ."

"එයාගේ යාලුවා පොලිසියේ තියාගෙන ඉදලා පස්සේ ඇප දීලා යවලා තියෙනවා. එයාටත් තුවාලයි. ඒත් ඒ ළමයා රෝහල් ගතවෙන්න කැමති නැහැ." ඇය පැවසීය.


පොලිසිය කියන්නේ කුමක්ද?


මේ අතර පොලිස් නිලධාරින් විසින් පහර දීමක් සිදුකළ බව කියන මෙම සිදුවීම පිළිබඳ බීබීසී සිංහල සේවය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් විමසීමක් කර තිබිණ.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, එම තරුණයින්ට පොලිස් නිලධාරීන් විසින් පහර දීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම පොලිස් අණ නොතකා වාහනය ධාවනය කළ වාහනයේ රියැදුරු ලෙස කටයුතු එම තරුණයා ඇතුළු අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් කටයුතු කිරීමේදී විරෝධය පා ඇති බවත් එහිදී පොලිස් නිලධාරීන්ට එය මැඩ පවත්වා තරුණයින් අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.



"මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය - මන්නාරම මාර්ගයේ පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙක් රාජකාරියේ යෙදී ඉදිලා තිබුණා අප්‍රේල් 07 වෙනිදා."

"ඩිමෝ බට්ටා වර්ගයේ වාහනයක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී මේ නිලධාරින් දෙදෙනා අර වාහනේට නවත්වන්න කියලා සංඥා කරද්දී එයාලා වාහනේ නතර කරන්නේ නැතුව ගිහින් තිබුණා."

"පස්සෙ මේ නිලධාරින් දෙදෙනා යතුරුපැදියෙන් අර ඩිමෝ බට්ටා ලොරිය පස්සේ ගිහින් තියෙනවා. ඒත් නතර කරලා නැහැ."

"ඔය වෙලාවේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා එළි යට ඇවිල්ලා හිටිය පොලිස් නිලධාරින් කණ්ඩායමකටත් මේ සිදුවීම ගැන දැනුම් දීලා තියෙනවා."

"ඒ දෙගොල්ලන්ම මේ වාහනේ ෆලෝ කරලා තියෙනවා."

"කොහොම හරි වාහනේ ස්ලෝ වුණ වෙලාවක එක් නිලධාරියෙක් ඩිමෝ බට්ටා ලොරියේ වාහනේ දොරේ එල්ලිලා නතර කරගන්න උත්සාහ කරලා තියෙනවා. එයාවත් තල්ලු කරලා වාහනේ නැවත ඇදලා ගිහිල්ලා තියෙනවා."

"කිලෝමීටර් 09ක් වගේ දුරක් ගිහිල්ලා අන්තිමේදී කැළෑබද ප්‍රදේශයක දී වාහනේ නතර කරගන්න පොලිස් නිලධාරින් සමත් වෙලා තියෙනවා."

"ඊට පස්සේ මේ අය පැනලා යන්න හදලා තියෙනවා. කොහොම හරි පොලිස් නිලධාරින් ඒ අයව අල්ලා ගෙන තියෙනාවා."

"මේ අයව ලුහුබැඳගෙන යද්දී ලොරියේ ඉදලා ගැලුමක් වීසි කරලා තියෙනවා. ඒක පිටිපස්සෙන් ආපූ පොලිස් නිලධාරින් දැකලා ඒ අයගේ භාරයට අරන් තියෙනවා. ඒකෙ තිබිලා තියෙන්නේ කසිප්පු."

"ලොරියේ රියැදුරු ලෙස කටයුතු කරපු කෙනා බීමත්ව ඉදලා තියෙන්නේ. ඒ ගැන සිදු කරපු ශ්වසන පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඊට අමතරව එයාලා නීති විරෝධී මත්පැන් ළඟ තබාගෙන ඉදලා තියෙනවා."

"නොනවත්වා වාහනය ධාවනය කිරීම, බිමත්ව රිය පැදවීම සහ නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම කියන චෝදනා යටතේ එයාලව අත්අඩංගුවට අරන් පොලිසියේ භාරයේ හිටියා."

"රෑ 11.00 ට විතර වෘෂණ කෝෂ රිදෙනවා කියලා මේ පුද්ගලයා කිව්වම පොලිසියෙන් එයාව රෝහලට අරං ගිහින් තියෙනවා."

"ඊට පස්සේ එයාව අනුරාධපුරය රෝහලට මාරු කරලා යවලා තියෙනවා එහිදි එයාගේ වෘෂණ කෝෂයක් අයින් කරන්න වුණා කියලා මාධ්‍ය වලින් වාර්තා කරලා තියෙනවා. නමුත් නිල වශයෙන් රෝහලෙන් පොලිසියට තවම දැනුවත් කිරීමක් ලැබිලා නැහැ මේ වෙනකම්."

"තමන්ට පහරදීමක් සිදුකළා කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන නිසා ඒ ගැන පොලිසිය විමර්ශනයක් කරන්න කටයුතු යොදලා තියෙනවා."

"මේ තරුණයා ඇතුළු පිරිසක් සාදයක් පවත්වලා තියෙනවා. එතැනදී මත්පැන් මදිවෙලා කසිප්පු අරන් එන්න එද්දී තමයි පොලිසියට අහුවෙලා තියෙන්නේ."

"මේ තරුණයාගේ පියා මැදවච්චිය පොලිසියේ සාජන්වරයෙක් ලෙස සේවය කරනවා."

"අත්අඩංගුවට ගන්න කටයුතු කරපු නිලධාරින් කියන්නේ කිසිම පහරදීමක් කළේ නැහැ කියලයි. අත්අඩංගුවට ගන්න හදන කොට එයාලා ප්‍රතිවිරෝධය පාලා තියෙනවා, ඒ වෙලාවේදී වාහනේ ඇතුලේ එහාට මෙහාට මේ අය පැනලා තියෙනවා කියලා. එතැනදී මොනවා හරි වුණාද කියලා දන්නේ නැහැ කියලයි ඒ නිලධාරීන් කියන්නේ." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිසිය විසින් බලය අයුතු ලෙස භාවිත කිරීමේ සිදුවීම් රාශියක් පසුගිය කාල සීමාව පුරාවට වාර්තා විය.

ඒ අතරින් ඉකුත් ජනවාරි මස 18 වෙනිදා නාරම්මල ප්‍රදේශයේ දී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් වාහනයක් නතර කිරීමට සංඥා කිරීමෙන් පසු එම වාහනය නොනවත්වා ධාවනය කළ බව පවසා සිදුකළ වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි තිදරු පියෙකු ජිවිතක්ෂයට පත්විය.

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්