සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්දේ උණුසුම කෙමෙන් මැකී යද්දී අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් උණුසුමක් මතු වෙමින් තිබේ.

ඒ, සූර්ය මංගල්‍යය වෙනුවෙන් මීට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය වූ ගීතයක් විකෘති කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.

තුන් හෙළේ හැඩ අලුත් කරන්
එන්නෙ අවුරුදු කුමරු බොලන්
සූරිය මංගල්ලේ...
සූරිය මංගල්ලේ...

යනුවෙන් එම ගීතය ආරම්භ වේ.

කෙසේ වෙතත්, මෙම ගීතයේ පද විකෘති කර, එම පද වෙනුවට අසභ්‍ය වචන පද පෙරළා එම තනුවට අනුව ම ගායනා කළ වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කර තිබිණි.

 
'මෙවැනි නොමනා දේවල් නතර කළ යුතුයි' - රෝහණ බැද්දගේ
 
මෙම ගීතය විකෘති කර ගායනා කර, සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් එම ගීතයේ මුල් ගායන ශිල්පියා වන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ කනස්සල්ලෙන් පසු වෙයි.

ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි දේ කිරීම හරහා ගායකයාට, සංගීත නිර්මාණ ශිල්පියාට සහ පද රචකයාට පමණක් නොව එම ගීත රස විඳින රසිකයින්ට ද අසාධාරණයක් සිදු වන බව ය.


"මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා‍. ඒක නිර්මාණකරුවන්ට විතරක් නෙවේ රසිකයින්ටත් කරන අසාධාරණයක්. ඒ නිසා මේ වගේ දේවල් නතර කරන්න පියවර ගත යුතුයි. මීට කලින් මගේ 'මල්සරා' ගීතය ඇතුළු ගීත දෙකක් විකෘති කරලා සංගීත සංදර්ශනවල ගායනා කරලා තිබුණා. මම ඒවාට අධිකරණයට ගිහින් වන්දි ගත්තා. මේ ගීතයටත් ඒ ව‌ගේ වන්දි ගන්න පුළුවන්. ඉදිරියේදී මේ වගේ දේවල් නොවෙන්න නිසි ක්‍රියාමාර්ග ගන්නවා නම් ගොඩක් හොඳයි," රෝහණ බැද්දගේ පැවසීය.
 
 
තනු නිර්මාණය කළ සහන් රන්වලගේ අදහස
 
sahan rමෙම ගීතයේ තනු නිර්මාණය කළ සහන් රන්වල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගීතයක පද විකෘති කිරීම ගීතයේ හිමිකරුවන්ට කරන අසාධාරණයක් වන අතර, රසිකයින් ඇතුළු සියලු දෙනාගේ හිත් රිදවීමක් ඉන් ඇති විය හැකි බව ය.

කෙසේ වෙතත්, මීට පෙර ද මෙවැනි ගීත විකෘති කිරීම් සිදුව ඇති අතර, තමන් එවැනි දේ ගැන වැඩි අවධානයක් නොදක්වන බව ද ඔහු සඳහන් කළේ ය.

"ගීතයක පද විකෘති කරන එක අනුමත කරන්න බෑ. ඒ වගේ ම ඒ වගේ දෙයක් කරලා සමාජ මාධ්‍යවල පළ කිරීමත් වැරදි වැඩක්. ඒත්, මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියෙනවා. මම නම් ඔය දේවල් වැඩිය ගණන් ගන්නෙ නෑ. මොක ද, ඒවා එනවා යනවා, මිනිස්සුන්ට ඒවා වැඩි කල් මතක හිටින්නෙ නෑ. මුල් නිර්මාණය රස විඳින කෙනා ඒක රස විඳිනවා," සහන් රන්වල පැවසීය.


මේ අතර, සෑම ජාතියක් ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සහ ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් පැල්පොළ විපස්සි ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝ නායක පැල්පොළ විපස්සි නාහිමියන් පවසා තිබිණි.

සංස්කෘතික උරුමයන් විනාශ කිරීමට ගන්නා උත්සහයන් මැඩ පැවැත්විය යුතු බව ද උන් වහන්සේ පවසති.


'නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා' - සංස්කෘතික කටයුතු ඇමති
 
Vidura vඅදාළ ගීතය විකෘති කළ සහ එය සමාජ මාධ්‍යවල පළ කර පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කිරීමට තමන් උපදෙස් දුන් බව ය.


"මේ වගේ දේවල් විනෝදයට කරලා කිහිප දෙනෙක් අහනවා වගේ නෙවෙයි, සමාජ මාධ්‍යවල පළ කරන එක. ඒකෙන් නිර්මාණකරුවන්ට වගේ ම රසිකයින්ටත් අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත, ඔන්ලයින් ආරක්ෂණ පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි ඒ ගැන ක්‍රියාත්මක වෙනවා."
 

'සිවිල් සහ අපරාධ වගකීම යටතේ පැමිණිලි කළ හැකියි' - ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය
 
Geethanjani Gunawardhanaමෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් මෙන් ම අපරාධ වගකීම යටතේ පැමිණිලි කළ හැකි බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක පැවසීය.

ඇය ප්‍රකාශ කළේ, මෙවැනි සිද්ධියකදී බුද්ධිමය දේපළ යටතේ නඩු පැවරීමකින් වරදකරු වුවහොත් දඩ මුදලක් මෙන් ම සිර දඬුවමක් ද නියම කළ හැකි බව ය.
 

"මහේස්ත්‍රාත් අධිකරණයේ බුද්ධිමය දේපළ යටතේ පැමිණිල්ලකින් වරදකරු වුණොත්, රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම දඩයක් නියම කරන්න පුළුවන්. ඒ වගේ ම, මාස 6ක සිර දඬුවමක් නියම කරන්නත් පුළුවන්. නැත්නම් ඒ දෙක ම නියම කරන්නත් පුළුවන්. ඒ වගේ ම, සිවිල් වගකීම යටතේ පැමිණිල්ලක් කළොත් අගතියට පත් පාර්ශවයට තමන්ට සිදුවුණ හානිය අනුව වන්දි මුදලක් ඉල්ලා සිටින්නත් පුළුවන්," ගීතාංජලී රණවක පැහැදිලි කළා ය.


මේ අතර, මීට පෙර වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය අළලා අසභ්‍ය වචන ඇතුළත් කැසට් පටයක් නිර්මාණය කර තිබූ අතර, ඉන්ද්‍රාණි පෙරේරාගේ ‘සුදු අසු පිට නැගලා’ වැනි ගීතවලට වෙනත් වචන යොදා ගී සකසා තිබිණි.

කෙසේ වෙතත්, ඒවා සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ නැත.

(BBC සිංහල සේවය)




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්