මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යාමත් සමග

සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ. ඒ කොරෝනා පැතිරයාම යාම නොසලකා ආණ්ඩුව මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ මාර්තු 19 වැනි දා  තෙක් කල් මරමින් සිටි බවට චෝදනා කරමිනි.

''ඡන්දේට දින ගැන ගැන නොහිටියා නම්, කොරෝනා නිසා ජනතාවට දැනෙන පීඩාව අඩු කර ගන්න තිබ්බා.'' එවැනි සමාජ මාධ්‍ය පොස්ටුවල සඳහන් වේ.

කොරෝනා පැතිරීම පාලනය කිරීමට හිටි අඩියේ දීර්ඝ කාලයක් ඇදිරි නීතිය පැනවීම නිසා කෑම-බීම, බෙහෙත්-හේත්, මිල-මුදල් ඇතුළු ප්‍රශ්න ගණනාවකට ජනතාව මුහුණ දී සිටිති.

ආණ්ඩුව ඡන්දය ගැන කල්පනා කළා මිස, කල් තියා කොරෝනා වෛරසයට මුහුණ දීමට සිදුවන්නේ කෙසේදැයි නිශ්චිත උපායමාර්ගික සැලැස්මක් නොතිබූ නිසා බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කරති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ විසින් සිය FB පිටුවේ පලකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ. 

කොරෝනාවෛරසය (Covid 19) පසුගිය වසර අවසානයෙහි මුලින් ම හඳුනා ගන්නා ලද්දේ චීනයෙනි. ඒ සමග එය පැතිරයාම පාලනය කර ගැනීම සඳහා චීන ආණ්ඩුව නගර අතර සංචාරය හෝ වීදි බැසීම තහනම් කරමින් ජනතාව නිවෙස් තුළ ම රඳවා තැබෙන විධිවිධාන ක්‍රියාවට නංවනු ලැබීය.

කොරෝනා වෛරසය පිළිබදව චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කරන්නේ පසුගිය දෙසැම්බර් 31 වන දිනය. ජනවාරි 7 වන දින චීනය විසින් කොරෝනා නව වෛරසයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කරන ලද අතර, ජනවාරි 12 දින චීනය විසින් අවශ්‍ය රෝග නීර්ණ කට්ටල සපයා ගැනීම සදහා එම වෛරසයේ ජාන ව්‍යුහය ලෝකයේ සෙසු රටවල් සමග බෙදා ගන්නා ලදී.

කෙසේවුවද එවැනි අනතුරක් කිසිඳු ලෙසකින් මායිම් නොකරමින් පාර්ලිමේන්තුව ලබන අගොස්තුව දක්වා පවත්වාගෙන යාමේ ව්‍යවස්ථාමය බලයක් ජනාධිපතිවරයා සතුව තිබිය දී ඔහු විසින් පාලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ තමාට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය යයි කියමිනි.

 

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවුයේ මාර්තු 10 දා

Anil Jasinghe 3 11

කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවුයේ මාර්තු 10 වෙනිදාය.  

කොරෝනාවෛරසය මේ වන විට "ජාතික ගැටලුවක්" බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවයේ ප්‍රධානතම රාජ්‍ය  බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුයේ ඊට පසුදින ය. එනම්, මාර්තු 11දා  ය.

"ජාතික ගැටලුවක් මේක. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕන. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා."

යම් හෙයකින් කොරෝනාවෛරසය පැතිර යාම ඉතාලියේ මෙන් වේගවත්ව සිදුවුවහොත් "ඉතා අමාරු තත්ත්වයක් නිර්මාණය වනු ඇති," බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොරෝනා පැතිරයාම සම්බන්ධයෙන් රජය වෙත දැඩි ලෙස අනතුරු ඇඟවීම් සිදුකර තිබිණ.

 

ආණ්ඩුවේ ප්‍රතිචාරය !

කෙසේවුවද එම අනතුරු ඇඟවීම් තරයේ ප්‍රතික්ෂේප කල ආණ්ඩුවේ බලධාරීන් මැතිවරණය පැවැත්වීමට කොරෝන කිසිඳු බාදාවක් නැතැයි කියමින් නාමයෝජනා බාර ගන්නා අවසන් දිනයවූ 19 දා පසුවන තෙක් නිහඬව සිට මාර්තු 20 දා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබිය.

All in

 

''ප්‍රමාදයේ විපාක ජනතාව විදිනවා'' - සමගි ජන බලවේගයෙන් චෝදනා

මෙවැනි අනතුරක් සම්බන්ධයෙන් විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු අමතමින් කිහිප අවස්ථාවකදී රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකර තිබිණ.

එහෙත්, තීරණාත්මක අවස්‍ථාවේ ගුවන් තොටුපල වසා නොදැමීමත්, එතෙර සිට පැමිණෙන පිරිස් විධිමත් ලෙස පරික්ෂා නොකිරීමත් රජය විසින් කළ බරපතල වරදක් බව පවසන 'සමගි ජන බලවේගය', තම බලවේගයේ නායකයින් වරින් වර අනතුරු අඟවා  තිබියදීත් නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා සමස්ත රටම ආහාර හිඟයකට ඇද දමා ඇදිරි නීතියටද මුහුණ දීමට සිදුව ඇතැයි ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්රජයට චෝදනා කර සිටියේය.

මැතිවරණයක අවශ්‍යතාව නිසාත් නාමයෝජනා ලබාදීමේ අවශ්‍යතාව නිසාත් මේ වසංගතය දුරු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම රජය මන්දගාමීව කටයුතු කලද අවසන් මොහොතේ මැතිවරණ කොමිසම විසින් කුමන පීඩාවක් යටතේ වුවද මැතිවරණයට වඩා ජනතාවගේ සහ රාජ්‍ය සේවකයින් ගැන සලකා මැතිවරණය කල් දැමීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වන බවද ජාතික සමගි බලවේගයේ නිවේදනයේ සඳහන් විය.

මෙරටින් හමුවූ පළමු කොරොනා රෝගියා සංචාරක මග පෙන්වන්නෙක් වූ අතර එවැනි තත්ත්වයක් තුල පවා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් රජය විසින් දියත් කරනු ලැබුවේ ලංකාව කොරෝනා වලින් තොර රටක් බවට ප්‍රචාරය කරමින් බව ද එම නිවේදනයේ දැක්වේ.

 

මෙහෙම ගියොත් රටක් ඉතුරුවන්නේ නැහැ - එජාප නායකයා අනතුරු අඟවයි

Ranil Wickramasinghe

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේ, "කෙටි කාලීන දේශපාලන වාසි සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කළොත්, දේශපාලන වාසි ලබාගැනීමට රටක් ඉතුරුවන්නේ නැති බව මම ආණ්ඩුවට මතක් කිරීමට කැමතියි," කියාය.

වසංගතය සම්බන්ධ කටයුතු මෙහෙයවන සම්බන්ධීකරණ කමිටුව ගැන සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු එහිදී සඳහන් කළේය.

 

''කලින්ම shut down කරා නම් රට සුරක්ෂිතයි'' – සජිත්

sajith Pකොවිඩ්-19 වසංගතය පැතිරීම යාම ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් හා රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාර්තු 21 දින විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී ඔහු පැවසුයේ,  අදාළ තීන්දු තීරණ ගැනීමේ දී පාලකයන් හිතුමනාපේ තීරණ ගැනීම නිසා ශ්‍රී ලංකාවේ තත්වය බරපතල වෙමින් ඇති බවයි.

අවශ්‍ය වේලාවේදී රට තුළ 'shut down' ක්‍රමවේදය ක්‍රියාත්මක කළේ නම් රට සුරක්ෂිත වනු ඇති බවද සජිත් ප්‍රේමදාස එහිදී අවධාරණය කර සිටියේය.

ආණ්ඩුවට මහ මැතිවරණයක් පවත්වා 2/3 ගැනීමට අවශ්‍ය වීම නිසා මෙම තත්වය ඇති වූ බවට ඔහු චෝදනා කළේය.

 

ඉල්ලන් කාපු ප්‍රචාරක වැඩක් ! - මංගලගේ විවේචනයක්

"වෛරසයට එරෙහි සාමූහික සටනේ ජෙනරාල්වරු සහ සොල්දාදුවන් වන වෛද්‍යවරු සහ හෙදියන්" මෙන්ම රාජ්‍ය සේවය, පොලීසිය සහ ත්‍රීවිධ හමුදාව ද ඔවුන්ගේ දරන ප්‍රයත්නයට කෘතඥතාව පළ කරන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ද වසංගතය ලොව පුරා පැතිර යද්දී "රජයේ ඉහළම පාර්ශවයන්ට සම්බන්ධ අය විසින්" සංචාරක ප්‍රවර්ධන වීඩියෝවක් නිර්මාණය කිරීමත්, පාසල් පවා වසා දැමූ නමුත් දිගටම මැතිවරණය වෙනුවෙන් පෙනී සිටීමත් ආණ්ඩුව දෝෂ දර්ශනයට ලක් කර තිබිණි.

 

තත්ත්වය තරමක් දුරට පාලනය කරගැනීමට මේ වනවිට සමත් වී සිටී !

Sri Lanka Home

ලෝකය පුරා කොරෝනාවෛරසය පැතිරයාමත් සමඟ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් ද ආරම්භයේදී එය පැතිරයාම වැළැක්වීම සඳහා නිසි පියවර නොගත් නමුත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීමත්, රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේත් පොලිසිය සහ ආරක්ෂක අංශ දියත් කළ ක්‍රියාදාමයනුත් හේතුවෙන් තත්ත්වය තරමක් දුරට පාලනය කරගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත් වී සිටී.

විශේෂයෙන්ම වෛරසය හේතුවෙන් අලුතෙන් රෝගීන් වාර්තාවීම අවප්‍රමාණ වීම සාධනීය තත්ත්වයකි.

කෙසේ වුවත්, විදේශවල සිට පැමිණි ඇතැම් ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය ප්‍රතික්ෂේප කිරීම, රාජකීය - ශාන්ත තෝමස් ක්‍රිකට් සැණකෙළිය නැවැත්වීමට බලධාරීන් පියවර නොගැනීම, ඇතැම් යාඥා මෙහෙය සහ ශ්‍රීපාද ඇතුළු වන්දනා චාරිකා අවලංගු නොකිරීම මෙන්ම ව්‍යසනයක් පෙනී පෙනී මහ මැතිවරණය අවලංගු නොකිරීම ද බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබේ.

ඇතැම් දේශපාලනඥයින් ඇඳිරි නීතිය අවස්ථාවේ පවා දේශපාලන රැස්වීම් පැවැත්වීම මෙන්ම පිරිත් පැන් සහ මුව ආවරණ බෙදමින් දේශපාලන වාසි ගැනීමට තැත් කිරීමත්, වසංගතයක් අවස්ථාවේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් එය මැඩ පැවැත්වීම පිණිස තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටීමත් දෝෂදර්ශනයට ලක් විය.

 

'පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බරපතල වරදක්' -  මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්

parlimat

රට බරපතල ආපදාවකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවා ආපදා කළමනාකරණ සේවා මෙහෙයවන මෙන් විරුද්ධ පක්ෂ මෙන් ම උගතුන්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයන් ඇතුළු පිරිස් ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

බීබීසී සිංහල සේවය ඇතුළු මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, වසංගතය මතුවෙමින් පවතිද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.

කොරෝනාවෛරස වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට මුහුණ දී සිටින බවට අනතුරු අඟවා ඇති මහාචාර්ය රත්නජීවන් හූල්, පවතින වාතාවරණය යටතේ "ඒකාධිපතිවාදයක්" මතුවීම වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් වහාම අවලංගු කරනු ලැබිය යුතු බවත් අවධාරණය කරයි.

මහාචාර්ය රත්නජීවන් හූල් ගේ ලිපියෙන් කොටසක්

මහාචාර්ය රත්නජීවන් හූල් ගේ ලිපියෙන් කොටසක්

 

මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකරද බීබීසී සිංහල සේවයට පවසා ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70/7 වගන්තිය ප්‍රකාර විසුරුවා තිබෙන පාර්ලිමේන්තුව හදිසි අවස්ථාවකදී යළි කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවය.

 

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය

පාර්ලිමේන්තුව යළි කැඳවන මෙන් කරන ඉල්ලීම සහ ව්‍යසනයක් අවස්ථාවේ මැතිවරණය කල් නොදැමීම සම්බන්ධයෙන් එල්ලවන විවේචන පිළිබඳව විමසීම පිණිස බීබීසී සිංහල සේවය ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ඇමතූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසා ප්‍රතිචාරය දැක්වීමට උත්සහ කරන බවය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

කොරෝනා ජරමර අස්සේ '225 ම එපා' කියන කුමන්ත්‍රණයක් ! - අපායෙන්’ (Hell) එන 'අයිඩියා එකක්' දැයි මංගල විමසයි 

''ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි'' -මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් 

මනාප ගන්න 'කොරෝනා බඩු මලු බෙදීම' නීති විරෝධියි! - ''නාමයෝජනා අවලංගු කර මැතිවරණ බාධා ඉවත් කරන්න: සියලු පක්ෂවල මහජන නියෝජිතයින්ට සම අවස්ථාව දෙන්න'' -මැතිවරණ කොමිසමට බලපෑම්!!  

මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක් ! - කුසල් පෙරේරා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්