එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍යවරයකු ලෙස රට වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ තමා වන්නකු ත්‍රස්තවාදීන්ට තොරතුරු දී ඇතැයි ආණ්ඩුවේ

මාධ්‍ය හරහා සිදුකෙරෙන ද්වේශ සහගත ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කර සිටින බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඊලම ගොඩනැගීමට එරෙහි ප්‍රධානතම සතුරකු ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් ප්‍රසිද්ධියේ ම ප්‍රකාශයට පත්කර, එම සංවිධානයේ ඝාතන ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටි තමාට මෙලෙස අවලාද නගන්නේ තමා මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් මතවාදී මෙහෙයුමක් ආරම්භ කර ඇති නිසා බවද ඔහු කියා සිටියි.

මංගල සමරවීර එබව කියා සිටියේ, ආණ්ඩුවට පක්ෂපාති 'අරුණ' පුවත්පතේ පලවී ඇති පුවත් වාර්තාවක්  සම්බන්ධයෙන් theleader.lk කල විමසීමක දීය.

යහපාලන රජය සමයේ හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු ත්‍රස්තවාදීන් අතට පත්කර තිබෙන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී ඇතැයි එම පුවත්පත ඊයේ වාර්තා කර තිබිණ.

MS Aruna17                ''වැඩිකල් නොගිහින් බොල් දේශප්‍රේමින් හඳුනාගන්න ජනතාවට පුලුවන්වේවි.."

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මංගල මෙසේද සඳහන් කළේය.

'' මම මේවනවිට පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් දේශපාලනික වශයෙන් රැඩිකල් මැද මාවතක් ගැන සමාජ කතිකාවක් ආරම්භ කරලා තියනවා. මේවනවිට මෙරටේ සැලකියයුතු බුද්ධිමතුන් පිරිසක් විශේෂයෙන්ම රට ගොඩනැගීම ගැන සැබෑම උවමනාවක් තියන තරුණ කොටස්  ඊට ඒකරාශිවෙමින්  සිටිනවා. සංවාද කරමින් සිටිනවා, නිදහසින් පසුව අපට මොකද වුනේ කියන කාරණය ගැන. 

ඉතින් දැන් අයෙත් මට එරෙහිව මඩ ගහන්න, අවලාද නගන්න පටන් අරගෙන. එක එක චෝදනා නගමින් රහස් පොලිසියට කැඳවනවා. කොමිසන් වලට කැඳවලා පැය  ගණන් ප්‍රශ්න කරනවා. මේ වෙනකොට දෙපාරක් විතර රහස් පොලිසියේ 4 වැනි තට්ටුවට ගිහින් කට උත්තර දීලා තියනවා. කොමිසම් වලට දෙතුන් පාරක් ගියා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අහන ඒවාට උත්තර දෙන්න. පසුගිය සඳුදා මාතර පොලිසියට කැඳවා තිබුනා, ආණ්ඩුවේ රාජ්‍ය අමතිවරයෙකුයි, හිමිනමකුයි කළ පැමිණිල්ලක් ගැන කට උත්තරයක් ගන්න. 

මෙහෙම සතිපතා කැඳවලා ඇතැම් හාමුදුරුවරුන්ට චීවරධාරීන් කිවේ ඇයි කියලා අහනවා. මේ රට සිංහල- බෞද්ධයින්ගේ රටක් විතරයි කියල නොකියන්නේ ඇයි කියලා අහනවා. මම හිතන හැටි අහනවා. ඉතින් මම බෞද්ධ දර්ශනයෙන්ම අනුශාසනාවක් කරලා  එනවා. හෙටත් එන්න කියලා තියනවා. 

මේ අතරේ තමයි ඊයේ ආණ්ඩුවේ ඇතැම් මාධ්‍යවල පලවෙලා තිබුනේ මම ත්‍රස්තවාදීන්ට උදව් කරපු කතාවක්. අද ඉන්න ඔය හුඟක් කාඩ්බෝඩ් වීරයින්ට අමතක වෙලා තියනවා, එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබලව සිටිය වෙලාවක, කොළඹ බෝම්බ පුපුරුවා හරින වෙලාවක විදේශ ඇමති ලෙස මම කරපු කාර්ය භාරය. 

ලක්ෂමන් කදිරගාමර් හිටපු ඇමතිතුමාගෙන් පස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පරාජය කරන්න, එම සංවිධානයට එන විදෙස් ආධාර උපකාර නවත්තන්න වැඩිම වැඩකොටසක් කලේ මම. ඇමරිකාවේ සහය අරගෙන එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපා සංගමය තුල තහනම් කරන්න කටයුතු කලේ අපි. එල්.ටී.ටී.ඊ.යට ලෝකයේ හතරවටෙන් ගලාගෙන ආව මුදල් ආධාර, යුධ ආධාර නවත්වන්න මැදිහත්වුනේ අපි. 

ඒ වෙලාවේ තමයි වේලුපිල්ලේ ප්‍රබාකරන් කළු කොටි දිනය අමතලා මාව අංක එකේ සතුරෙකු ලෙස ප්‍රකාශයකට පත්කලේ. මගේ නමත් ඝාතන ලැයිස්තුවට ඇතුලත් කරලා තිබුනේ.

මට මතකයි, 2001 මහ මැතිවරණය වෙලාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් හිටපු ජනාධිපතිනිය, අගමැති රත්නසිරි, විදේශ ඇමති කදිරගාමර්, අනුර බණ්ඩාරනායක, අනුරුද්ධ රත්වත්තේ හා මාව ඝාතනය කිරීම් සුදානමක් ඇතිබවට ජාත්‍යන්තර ඔත්තු සේවා වලින් කළ අනතුරු ඇඟවීම් නිසා අපට නිවස්ව වල සිට ම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් පවා නිකුත් කළා. ඒ බව දැන් මේ කාඩ්බෝඩ් වීරයින්ට අමතක වෙලා. 

මෙහෙම එකපාරටම ත්‍රස්තවාදීන්ට උදව්කලා කියල මඩක් ගහන්නේ 'සැබෑ දේශප්‍රේමීන්ට' බයෙන්. ඉන්න තව මස කිහිපයක් යනකොට ජනතාවට සැකයකින් තොරව බලාගන්න පුළුවන් සැබෑ දේශප්‍රේමින් කව්ද ? කාඩ්බෝඩ් බොල් දේශප්‍රේමින් කව්ද කියන කරණය. 

ඔය මඩ ගැහිලි මම එච්චර ගණන් ගන්නේ නැහැ. එත් ඊයේ 'අරුණ' පත්තරේ පලවෙලා තියන පුවත සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියල මම අපේ නීති උපදේශක මහත්වරුන්ට දැනුම් දුන්නා. '' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(එල්.ටී.ටී.ඊ. තර්ජන හේතුවෙන් නිවස්ව වල සිට ම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නිකුත් කරනලද විශේෂ ගැසට් නිවේදනය පහතින්)

 

gazette 2020.09.18

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්