‘‘සිනමා කෘතියක සාර්ථකත්වය වනාහී කෘතියේ පිටපත ලිවීමේ සිට සිනමා ශාලාවක දී සිදුවන ප්‍රක්ෂේපණය දක්වා විහිද යන කාර්යයකි.
මෙකී දීර්ඝ පියවරෙහි කිසියම් හෝ තැනක ගැටලුවක්, පලුද්දක් සිදුවීනම් එය සිනමා කෘතියේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. නොඑසේනම් අවසාන ඵලය වන ප්‍රේක්ෂක වින්දනය කෙරේ මේ සියලු පියවරයන් අත්‍යන්තයෙන් බලපානු ලබයි.’’
- සිනමා ශානර මීමංසා: ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර: පිටුව 14
යට සඳහන් ප්‍රකාශය වාක්‍ය තුනකින් සමන්විත වුව ද එම වාක්‍ය තුන තුළ අන්තර්ගත අරුත බොහෝ ගැඹුරු ය. එමෙන් ම නිවැරැදි ය. ලංකාවේ මතු නොව ජාත්‍යන්තර සිනමාවේ පවා ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් හෝ අඩුලුහුඬුතාවක් හේතුවෙන් සමස්ත නිර්මාණය ම අවප්‍රමාණයට ලක් වූ සිනමා නිර්මාණ ඔබ කොතෙකුත් නරඹා ඇතුවාට සැක නැත. එවන් තත්ත්වයක් තුළ පසුගිය 11වන දින යට සඳහන් කිසිදු අඩුපාඩුවකින් තොර යැයි මා විශ්වාස කරන සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව උදා විණ. ඒ ලංකාවේ තරුණ සිනමාවේදියකු වන සංජීව පුෂ්පකුමාරගේ තුන්වන සිනමා නිර්මාණය වන ‘‘ආසු’’ සිනමා පටය යි.
මෙම සිනමා නිර්මාණය පිළිබඳ මතුව පවත්නා කතා-බහ අතර ප්‍රමුඛත්වය වී තිබෙන්නේ නිර්මාණයට පාදක වී ඇත්තේ සත්‍ය සිදුවීමක් ය යන්න පිළිබඳව ය. ඒ, පාර්ලිමේන්තුවේ හිටපු කතා නායක කරු ජයසුරිය මහතාගේ දියණියක වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ චරිතය ඇසුරෙන් ‘‘ආසු’’ සිනමා නිර්මාණය බිහිවීම ය.
සිනමා නිර්මාණයේ පිළිබිඹු වන පරිදි නම් ඉන්දිරා පිළිබඳ මෙවන් කලා නිර්මාණයක් බිහිවිය යුතු ම ය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. නමුදු අප සිනමා නිර්මාණය විග්‍රහ කළ යුත්තේ එය සිනමා නිර්මාණයකි යන ස්ථාවරයේ පිහිටා ය. ඒ නයින් ගත් කළ යට සදහන් කළ වාක්‍ය තුන මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් භාවිත කිරීම වඩාත් සුදුසු යැයි මට හැඟිණ.
රැඩිකල් සිනමාකරුවාගේ අභියෝගය
සංජීව පුෂ්පකුමාර යනු ලංකාවේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී බහුතරයකගේ වෛරයට, අපහාසයට, උපහාසයට බඳුන් වූ සිනමාවේදියෙකි. එමෙන් ම කොළඹ කේන්ද්‍රීය ඇකඩමික් මෙන් ම ඇකඩමික් නොවන නිල සිනමා විචාරකයන්ගේ කුහක දඬුඅඬුවට හසුවු සිනමාවේදියෙකි. ඒ, කොලනි සාහිත්‍යයට පමණක් සිමා වී ඇතැයි විවේචනයට බඳුන්වන ශාන්ති දිශානායක මෙනි. එසේ ඇයට පරිභව කරන කිසිවකු ඇගේ ‘‘නිකිණි’’ සාහිත්‍ය නිර්මාණය පිළිබඳ සාකච්ඡා නොකළ අතර සාහිත්‍ය සම්මාන කමිටුවලින් ද දුරස් විය. සංජීව පුෂ්ප කුමාර ද මේ ආකාරයට ම යුද්ධය සහ භීෂණය පමණක් අළලා සිනමා නිර්මාණ බිහි කරන, නිරුවත අලෙවි කරන, ලංකාවේ කීර්ති නාමයට කැලලක් ඇති කරන, හමුදා සෙබළුන්ගේ චිත්ත ධෛර්ය බිඳවට්ටන ආකාරයේ සිනමා නිර්මාණ ඉදිරිපත් කරන සිනමාවේදියකු ලෙස හංවඩු ගැසී තිබිණ. විශේෂයෙන් ම රාජපක්ෂ හෙජමනියට අයත් පාර්ශ්ව විසින් සංජීව පුෂ්පකුමාර එල්ලා මැරිය යුතු යැයි යෝජනා කරන්නට තරම් අමානුෂික වූ බව ද අප සිහිපත් කළ යුතු ය.
මෙවර මේ සියලු චෝදනා යටපත් කරලමින්, ඒ සියලු අන්තවාදින්ට අතුල් පහරක් ද එල්ල කරමින් සංජීව තවත් මානුෂවාදී මානයකට අත පොවා ඇත. රාජපක්ෂ හෙජමනිය විසින් වෛරයට බඳුන් කළ ද සංජීවගේ මීට පෙර නිර්මාණ ද්වය ද මානුෂිකත්වය පිළිබඳ එක්තරා ආකාරයක පැතිකඩ දෙකකි. නමුදු සිංහල බෞද්ධ ස්වොත්තමවාදින්ට එම නිර්මාණ ද්වය ම රසවිඳීමේ හැකියාවක් නොතිබිණ. මෙවර සංජීව ඒ සියලු අන්තවාදින්ට තම සිනමා දක්ෂතාව ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇත. නමුදු එය හුදෙක් ම හිටපු කතානායක කරු ජයසුරියගේ දියණිය වු ඉන්දිරා ජයසුරියගේ ජීවිතය ඇසුරෙන් නිමවූ සිනමා නිර්මාණයක් නමැති පදනමේ සිට නැරඹුවහොත් එහි පවත්නා පුර්ණ රසය විඳීමට ප්‍රේක්ෂක ප්‍රජාවට නොහැකි වන බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. මන් ද මීට පෙර වුව ද යම් යම් සත්‍ය සිද්ධි ඇසුරෙන් විවධාකාරයේ සිනමා නිර්මාණ මතු නොව වෙනත් කලා නිර්මාණ ද බිහි වී තිබේ. නමුදු ‘‘ආසු’’ යනු හුදෙක් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කළ සිනමා නිර්මාණයක් පමණක් ම නොවේ. එය සමස්ත මිනිස් සංහතිය පිළිබඳව ම මානුෂික ඇසකින් බලන්නට පොලඹවන වර්ගයේ සිනමා නිර්මාණයකි.
මේ සිදුවීමේ දි මගේ අවධානය නැවත නැවතත් යොමු වන්නේ ගැහැනියක සහ පුරුෂයකුගේ අවශ්‍යතාව වෙනුවෙන් හෝ ලෝකයාගේ අවශ්‍යතාව වෙනුවෙන් බිහිකරන දරුවා වෙනුවෙන් එම දරුවා කුස දරා සිටින මව මෙන් ම දරුවාගේ පියා වුව ද ඔවුන්ගේ දිවි පුදා හෝ මෙලොවට බිහිවීමට සිටින දරුවා ආරක්ෂා කිරීම ඔවුනොවුන්ගේ වගකීමක් බවයි. මෙය සමාජයක් ලෙස කෙතරම් දුරට පිළිගනිද නැද්ද යන්න වෙනම කරුණකි. නමුදු දරුවා යනු දරුවාගේ වුවමනාවට බිහිවන ජීවියකු නොවේ. ඔහු හෝ ඇය මෙලොවට බිහිවන්නේ අනෙකකුගේ අවශ්‍යතාව වෙනුවෙනි. ඉදින් එබඳු ජීවියකු නසා දැමීමට වඩා ඒ ජීවියා වෙනුවෙන් ජීවියා බිහි කිරීමට පාදක වු පාර්ශ්ව දිවි කැප කිරීම එක් පසෙකින් සිය වගකීම නොපිරිහෙළා ඉටු කිරීමකි. ඒ නයින් සලකා බලන විට මෙහි සැබෑ චරිතය වු ඉන්දිරා ජයසුරිය යනු මනුෂ්‍යත්වයේ දිව්‍යමය සංකේතයකි.
‘‘ආසු’’ යන නාමය සහ නිර්මාණය අතර සබඳතාව
පුතාට ද...?
නෑ... ඔයාගෙ මියුසික් කම්පොෂිසන් එකට
මොකද්ද නම...?
ආසු...
ආසු...? මොකද්ද ඒ වචනෙ...?
ආසු කියන්නෙ හිරු නැගීමට පාවිච්චි කරපු මෙසපොතේනියානු වර්ඩ් එක. ආසියාව කියන වචනෙ එන්නෙත් ආසුවලින් කියල විශ්වාස කරන අයත් ඉන්නව. ආසියාව කියන්නෙ හිරු නැගීම සහ බලාපොරොත්තුව.’’
ඕනෑම කලා නිර්මාණයකට නමක් තැබීමේ දී අදාළ නිර්මාණයේ හිමිකාර පුද්ගලයා බොහෝ දුරට කල්පනා කාරී විය යුතු ය. වෙසෙසින් ම පාඨක, ප්‍රේක්ෂක, රසික ප්‍රජාවවෙත සමීප වීමේ හැකියාව ද නිර්මාණයට තබන නම මත පවතී. යට උපුටා දැක්වුයේ සිනමාපටයේ නම සමග සබැඳි දෙබස් ඛණ්ඩයකි.
මෙම නිර්මාණයේ තිර රචනය සංජීව පුෂ්පකුමාරගේ සහ සංගීතා නිල්නදිගේ ය. යට සඳහන් කළ දෙබසට අනුව නම් ‘‘ආසු’’ නමැති වදන එන්නේ මෙසපොතේනියාවේ භාවිත කළ වදනකිනි. නමුදු පාලි භාෂාවෙන් ද ‘‘ආසු’’ නමැති වදන සිංහලයට පැමිණ ඇත. සිනමා නිර්මාණයේ පැවසෙන ආකාරයට සංක්ෂිප්තව ගතහොත් ‘‘ආසු’’ හිරු නැගීම සහ බලාපොරොත්තුව යන්න ය. එය සිනමා නිර්මාණයට නුසුදුසු යැයි මම මෙයින් අදහස් නොකරමි. එහෙත් පාලි භාෂාවේ ‘‘ආසු’’ නමැති වදන සිංහලෙන් අරුත් ගන්වා ඇත්තේ ‘‘වහා’’ යනුවෙනි. මීට අමතරව: අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජයතුංග විසින් සම්පාදිත සිංහල ප්‍රායෝගික ශබ්දකෝෂයේ ‘‘ආසු’’ යන වදන නිර්වචනය කර ඇත්තේ ‘‘ඉක්මන්, සාහසික සහ වානේ’’ යනුවෙනි. ඔහු විසින් ම සම්පාදිත ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ ‘‘ආසු’’ නමැති වදන අරුත් ගන්වා ඇත්තේ ‘‘ඉක්මන්, සාහසික, වානේ සහ හිටිවනම ගහන අහස් කරනම’’ යනුවෙනි. මෙම වදන් අතුරෙන් නම් සිනමා නිර්මාණයේ නමට වඩාත් පර්යාය පදයක් ලෙස ගත හැකි වන්නේ ‘‘වානේ’’ නමැති වදන ය. මන්ද නෙළුම් යනු ශාරීරික ශක්තිය පිළිබිඹු නොකළ ද වානේ මෙන් ශක්තිමත් මානසික ශක්තියකින් හෙබි කාන්තාවකි. එබඳු කාන්තාවන් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
මා ‘‘ආසු’’ සිනමා නිර්මාණය නරඹා පැමිණිමෙන් ඉක්බිති උදාරි වර්ණකුලසුරිය වෙත යැවූ පුද්ගලික සුබ පැතුම ද මෙහි අන්තර්ගත කරමින් මෙම සටහන මෙතෙකින් අවසන් කරමි.
විකසිත වුව ද
අරවින්ද
කෙතරම් බාධක අභිභවමින
පැමිණ ජලය මතු පිටට
පිදූව ද බුදු පිළිම අබියස
මහත් බැතියෙන
මුකුලුව යයි නිශ්චිත
නිමේෂයක
හැඩ වැඩ දමා ඔප කළ ද
දිවි ගමන කෙතරම්
හැර යා යුතු නොවෙද
දැන හෝ නොදැන
විඳ හෝ විඳවමින
පසක් කරමින ඒ සත්‍යය
ඉදිරිපත් කළ ඔබේ රංගනය
උදෙසා ම ය
මේ හෘදයාංගම
සුබ පැතුම...!