ගෙවුණු සාහිත්‍ය මාසයෙන් නැගුණු උණුසුම තවමත් පහ ව ගොස් නැත.

මේ රට ආර්ථික අහේනියක ගිලී සිටිය ද පොත පත පළ වීම නම් අඩුපාඩුවක් නැති ගාන ය. ඒ නිසා ම මේ කාලයේ එක පොතකට අවධානය ගැනීම එතරම් ලෙහෙසි පහසු කාරියක නොවේ. හේතුව ඒ තරමට පොත් පළ වීම ය. ඊටත් වඩා වෙහෙස මහන්සි වී වියහියදම් කර 'ප්‍රමොසන්' කරනු වස් අපගේ මනස නිලංකාර වන එලිදැක්වීම් ද කප්පරක් කෙරේ. ලියන්නෙකු ලෙස නමක් හදා ගෙන නැති කෙනෙකුට නම් අවධානය ගනු බොරු ය.

මේ තත්ත්වයට ව්‍යාතිරේඛයක් වූයේ ගාමිණි මුතුකුමාරණ විසින් මෑතක රචිත 'මතක ගිනි පුපුරු' කෘතිය ය. අවුරුදු තිහකට පමණ පෙර ආරක්ෂාව පිණිස රටින් පළා ගිය ජවිපෙ ක්‍රියාකාරකයෙකු වූ ගාමිණි ගැන වත්මන් ජවිපෙ ක්‍රියාකාරීන් පවා දන්නේ ද කියා මා දන්නේ නැත. ඉතා සීමිත දන්නෝ දනිති පන්නයේ දායක සභාවක් ඇති ගාමිණීගේ පොතට මේසා අවධානයක් යොමු වූයේ ඇයි ද කියා සිතීම වටී. යුරෝපයේ සරු රටක සිටින ගාමිණීට තරමක පවුම් ප්‍රමාණයක් විසි කර ලංකාවේ මහා සද්දයක් දැමීමට හැකියාව නොතිබුණා නොවේ. එහෙත් ඔහුගේ එළිදැක්වීම පවත් වූයේ සංක්‍රමණිකයින් ගහණ හැරෝ නගරයේ සාමාන්‍ය ප්‍රජා ශාලාවක ය. ඒ උත්සව සභාවට වටිනාකම වැටුණේ කතා කළ කථික ලැයිස්තුව නිසා ය. සාමාන්‍යයෙන් එලි දැක්වීම්වල කෙරෙන බාල ආලවට්ටම් නිසා නොවේ.    

තවමත් මා කියවාගෙන යන 'මතක ගිනි පුපුරු' පොත එක් ලෙසකින් මෙමුවාවකි (memoir). එනම් ලියන්නාගෙ මතක පොදියක ය. තවත් ලෙසකින් ඉතිහාසය ලේඛනගත කරණ ආකයිවල ම ය (archival) අභ්‍යාසයකි. තමන් ස්මරණය කරන ඉතිහාසයේ තමන් ද කොටසක වීම, එවැනි ලේඛනගත කිරීමක නෛසර්ගික වටිනාකමක් ද සීමාවක් ද ඉස්මතු කරයි. වටිනාකම වන්නේ ලියන්නට ලියන දේ ගැන ඇති සමීප, ගැඹුරු හා අභ්‍යන්තර දැණුම හා අවබෝධය (insight) ය. සීමාව වන්නේ එය වාස්තවික ව නොලියැවී යම් යම් අගතීන් ද ඉස්මතු වීම ය. මේ ඝට්ටනය තරමකට හෝ සමනය කරනට එත්නෝග්‍රැෆික ලියැවිලි කරණට ක්‍රමවේද ගොඩනැගී ඇතත්, එය සර්ව සම්පුර්ණ ලේඛනගත කිරීමක් නොවේ. කෙසේ හෝ, ගාමිණි මෙය තම චරිතය කේන්ද්‍රය ලෙස ගෙන චරිතාපාදානයක් හෙවත් බයෝග්‍රැෆියක් ලෙස මේ පොත නොකරන්නට වගබලාගෙන ඇත්තේ සාමුහික සමාජ දේශපාලන මැදිහත්වීම බිල්ලට නොදෙනු පිණිස විය හැක. එය පැසසිය යුතු තීරණයකි.  

ගාමිණි පොත ලියන්න ගන්නේ ම තමන් මේ කතාවේ කොටසක් බව කියමිණි. ඒ නිසා අප මේ පොත කියවන්නේ එය, ඒ.සී අලස් හෝ රොහාන් ගුණරත්න හෝ ධර්මන් වික්‍රමරත්න ලියූ දෙයක යි සිතා නොවේ. එම නිසා වාස්තවිකභාවය ගැන අපට ඈත්තේ යතාර්ථවාදී අපේක්ෂාවකි. එනමුදු අපට මෙහි ඇති ශක්තිය හෙවත් අත්දැකීම මත පදනම් (experiential) වූ ලියැවිල්ලක ලෙස අප සැලකිය යුතු ය. කාල වකවානු තරමක් වෙනස් වූවත් ජවිපෙ පළමු පක්ෂ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ විසින් රචිත The Lionel Bopage Story, written by Michael Collin Cooke (2011, Agahas Publishers) පොත ලියැවෙන ක්‍රමවේදය යට කී සීමාව සමනය කරන්නේ, තමන් කතාව කියා එය වෙනෙකෙකුට ලියන්න කීම නිසා ය. 

mgp 982374292 

ලියන්නාට තමන්ට ඇසුණු දේ හි යම් හිඩැසක හෝ පරස්පරයක ඇත්නම් එය අවබෝධ කර ගැනුම අපහසු නොවේ. එවිට එම හිඩැස පුරවා ගන්නට හෝ තවත් මුලාශ්‍ර සොයා බලා ලියැවිල්ල සම්පුර්ණ කිරීමට හැකි වේ, වැලිඩේෂන් හා ට්‍රයන්ග්‍යුලේෂන් කියා පර්යේෂණ ක්‍රමවේදයේ සඳහන් වන්නේ එම ක්‍රම සහ විධි ය. කියන්නා හා ලියන්නා යන භූමිකා දෙක ම කරන විරල කෙනෙකි වික්ටර් අයිවන්. බෝපගේ හා ගාමිණිගේ විෂය පථයට ම අදාළ තම මතකය, අයිවන් ලේඛනගත කරන්නේ බොහෝ දුරට කරුණු වෙත මුල් තැන දෙමින් ය. ඒවායේ හිස් තැන් හා පරපරතා තමන්ට ම පෙණෙන තරම් ඔහු තමාගේ ලියැවිල්ල විචාරයට භාජනය කරන්නේ භාව ම ය (emotional) හිර අඩස්සියකට යටත් නොවෙමිණි.          

 
ගාමිණීගේ පොත විටෙක සාහිත වැණුමක ගුණ පෙන්වයි. තවත් වරෙක කරුණු (facts) කාලානුරූපව (chronologically) පෙළ ගස්සවන්නකි. තවත් විටෙක විශ්ලේෂණයකි. එවැනි විශ්ලේෂණයකින් තොර ව වුව ද දීර්ඝව හා විස්තරාත්මක ව ඉදිරිපත් කරන කොටස් වැදගත් ය. එත්නොග්‍රැෆියක සම්ප්‍රදායේ ඝන විස්තරයක් හෙවත් thick description ලෙස හඳුන්වන්නේ මේ විධික්‍රමය ය. සමහර කොටස් ආවර්ජනාත්මක විචාර ය; විචාරාත්මක ආවර්ජන ය. ප්‍රචාරකවාදී හෙවත් ප්‍රොපගැන්ඩා ම ය කොටස් ද නැත්තේ නොවේ. භාව ම ය ලෙස ලියැවෙන තැන් ද බොහෝ ය.
 MGP 928374923
 
මේවා මා දකින්නේ ලේඛන ක්‍රමවේදයේ නොගැලපීම් (inconsistencies) ලෙස නොව, තම හිතේ හා මනසේ දශක ගණනාවක් පැළපදියම් ව තිබූ අපමණ කරුණු හා හැඟුම් සමුදායක් පොතකට නිදහස් ආරකින් ගොණු කිරීමක් ලෙස ය. ප්‍රචණ්ඩත්වය හා මර්ධනය හිණි පෙත්තට නැගි සමයක, තම සගයන් දහස් ගණනින් සංහාරය වුණු ඒ මතකය නැවත සිහි කැඳවීම ප්‍රසන්න අභ්‍යාසයක නොවේ. මේ අත්දැකීම් ලද සන්දර්භයෙන් මිදී තරමක නුහුරු නුපුරුදු පරිසරයක කාර්ය බහුල ජීවිතයක් ද ගත කරමින් මෙවැනි අභ්‍යාසයක නිරත වීම, සිත මුදවන හා පෙළන දෙක ම සිදුවන මිහිරි හා කටුක අත්දැකීම ක වූ බව පැහැදිලි ය.

ගාමිණී හාර්ඩ්කෝරමය ජවිපෙ පැටිකිරියක් ඇති අයෙකු වූව ද, බහුතර ජවිපෙ බැතිමතුන් මෙන් විවේචන ආසාත්මිකභාවයෙන් නොපෙළේ. අපට එකිනෙකා සමග ගත කරනට ලද කාලය සීමිත වූවත්, සතියකට දෙකකට පෙර මට ගාමිණී මුන ගැසුණු අවස්ථාවේ හා ඉන් පෙර හා පසු ඔහු සමග මා දීර්ඝ ව දුරකතනයෙන් කළ කතා බහෙන් මට පසක් වූ දෙයකි එය. ජවිපෙ පිලිබඳ විවේචනාත්මක කෝණයකින් බලන මා එකහෙලා ප්‍රතික්ෂේප නොකරමින්, මා සමග ඉතා සුහද ව බොහෝ කරුණු විචාරාත්මක ව හා විවෘත ව සාකච්චා කරනට තරම් මුදු සිතක් හා සියුම් මනසක් ගාමිණී සතු බව මට වැටහිණි.

කාඩිනල් අවුට්-බර්ඩ්ස් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්