‘‘මෙම කෘතියෙන් පිළිඹිබු කෙරෙන්නේ බුද්ධිමය දේපළ සොරකමක් නොව, එය ද අභිභවන තරමේ බුද්ධිමය දේපළ මංකොල්ලයකි.’’
‘‘ගෞර ග්‍රන්ථ’’ නවකතාවේ කතුවර වදනේ මෙලෙස සඳහන් වේ.
ජයසිරි අලවත්ත විසින් රචිත ගෞර ග්‍රන්ථ කෘතිය බුද්ධිමය දේපළ කොල්ල කෑ මංකොල්ලකරුවන් ජීවිත කාලයටම භෞතිකව මෙන්ම ආත්මීයව ද පරාජයට හා දඩුවමට ලක් කිරීම පිළිබදව වූ කතාවක් ගෙන එයි. පොත් කියවන ඔබ ද මේ පිළිබදව සවිඥානික වීම තුළ මෙවැනි මංකොල්ලකෑම් වළක්වා ගැනීමේ මාවත විවර වේයැයි සිතමි.
ජයසිරි අලවත්ත රචනා කළ කෘති
කවිවර ප්‍රකාශනයක් වන ‘‘ගෞර ග්‍රන්ථ’’ කෘතිය මේ වසරේ අගෝස්තු මාසයේ දී පාඨක ඔබ අතට පත් විය. 2014 වසරේ මකරන්ද කාව්‍ය විමංසා කෘතියේ සිට මේ දක්වා ජයසිරි අලවත්ත රචනා කළ කෘති 17කි. ඒ අතර විචාර ග්‍රන්ථ, කාව්‍ය සංග්‍රහ සහ නවකතා ද වේ.
මෙම ලිපිය සැකසෙන්නේ ජයසිරි අලවත්ත සමග සිය නවතම නවකතාව වූ ගෞර ග්‍රන්ථ පිළිබඳව කරන ලද කතාබහක් ආශ්‍රයෙනි.
ප්‍රශ්නය "
ඔබ මෙම කෘතිය සඳහා බුද්ධිමය දේපළ මංකොල්ලයක් පිළිබදව කතාකරනවා. මේ වගේ තේමාවක් නවකතාවකට තෝරාගත්තේ ඇයි?
ජයසිරි :
මේ වගේ කතාවක් ගැන මගේ ඔළුවෙ තිබුණේ නෑ. මං මීට කලින් ලියපු ප්‍රබන්ධ හතර ම ලියවුණේ අවුරුදු ගාණක් මගේ හිතේ තිබුණ සංකල්පවලට. 2021 සුජාතා අලහකෝන් මහත්මිය තමන්ගේ යොවුන් සාහිත්‍ය කෘතියකට වෙනත් කෘතිවලින් උපුටාගත් කොටස් ඇතුළත් කරලා තිබුණා. ඇයට සම්මානයක් හිමිවීමෙන් පස්සේ මේ ගැන සමාජය තුළ විශාල කතාබහක් ඇති වුණා. එතනදී තමයි මට නිමිත්තක් පහළ වුණේ. මේ වගේ දෙයක් මීට වඩා ප්‍රබලව සිදුවෙන්න බැරිද කියන එක. ඒ ඔස්සේ තමයි මම මේ කතාව ලියන්නේ.
ප්‍රශ්නය :
මෙහි දී කතාව ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට යෑමේ දී යම් කිසි අතිශයෝක්තියක් හෝ යථාර්ථයෙන් තරමක් ඔබ්බට ගිහිල්ල ද මේ කතාව ඉදිරිපත් කළේ?
ජයසිරි :
ඇත්තටම එතනදී මට උවමනාව තිබුණේ, උදාහරණ විදියට ගත්තම ආරියවංශ රණවීර මහත්මයගේ, නන්දන වීරසිංහ මහත්මයගේ, පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයගේ කවි පොතක්වත් නොකියවපු අය කවිවලට සම්මාන අරන් තියෙනවා. මම සමහර අයගෙන් ඇහුවම සමහර පොත් කියවලා තියෙනවද කියලා එයාලා කියනවා නෑ මම ඒ කවිපොත් කියවලා නෑ කියලා. මේ පොතේ දී මම ඉදිරිපත් කරන්නේ ඒ සම්මාන උළෙලට දෙන තෑගි මුදල සහ එයින් පසු ලැබෙන සමාජ ප්‍රසාදය ගැන හිතලා ඒ පිළිබදව තෘෂ්ණාවක් ඇති කරගෙන, කෙසේ හෝ තමන්ගේ අරමුණ කරා යන ගැහැනියකගේ කතාවක්. මට අර මං මුලින් කියපු නිමිත්ත එක්ක තමයි මම මේ කතාව තවත් ප්‍රබල අවස්ථා හා සිද්ධි ඔස්සේ ගොඩනගන්නේ.
ප්‍රශ්නය :
මෙහි ආකෘතිය තුළ ටෙලිනාට්‍ය පිටපතක් වගේ ස්වරූපයක් තියෙනවා. මෙහි ආකෘතිය තුළ ඔබ කළ වෙනස්කම් ගැනත් කතා කරමු.
ජයසිරි :
ඔබට ඒක කියවද්දි අහුවුණා නම් මං එය මගේ ජයග්‍රහණයක් වශයෙන් සලකා සතුටු වෙනවා. මගේ මුල් කෘති හතර පුරාම මම උත්සහ කළා පාඨකයා මින් පෙර කියවා ඇති ආකෘතිවලට වඩා වෙනස් ආකෘතියකින් කතාව ඉදිරිපත් කරන්න. මෙහිදිත් මට හිතුණා සාහිත්‍ය ශානරය යම් පමණකට අභිභවා ගොස් මෙතෙක් සාහිත්‍ය ශානරවල මම නොදැකපු මානයකින් මෙය ඉදිරිපත් කරන්න. පාඨකයාට නවමු අත්දැකීමක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් හොඳයි.
ප්‍රශ්නය :
මේ කතාව තුළ තමන්ගේ පොතක් මංකොල්ලකාපු කෙනාට පාඩමක් උගන්වන්න යෑමේ දී, අභිමන් කියන චරිතය කරන්නෙත් තවත් ලොකු වංචාවක් නේද?
ජයසිරි :
පාඨකයාට එය වරදක් විදියට පේනවා ඇති. ඒත් ඔහු කරන්නේ එක් පසකින් සම්මාන කමිටුවේ අසාධාරණ තීරණයට අභියෝග කිරීමක්; අභියෝග කර එය ජයගැනීමක්. අනෙක එයා තව පොතක් වෙන කෙනකුගේ නමින් ලියල පළ කරන්නෙත් තමන්ගෙ බුද්ධිමය දේපළ කොල්ලකාපු අයගෙන් ඉතා සියුම් අන්දමට පළිගැනීමක්. මේක ලංකාවේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ යතාර්ථයක්.
ප්‍රශ්නය :
ලංකාවේ සම්මාන උළෙලවල් ඇතුළෙත් යම් මාෆියාවක් තියෙනවා නේද?
ජයසිරි :
මම නම් වශයෙන් කියන්නේ නෑ. නමුත් සමහර සාහිත්‍ය සම්මාන උත්සව තියෙන දවසේ උදේ කතා කරලා කියනවා ‘‘ඔයාට සම්මානයක් තියෙනවා එන්න’’ කියලා. නමුත් හවස ගිහිල්ලා බලද්දි එයාට සම්මානය නෑ. එහෙම වෙන්නේ කොහොමද? ලංකාවේ ඉහළම තලයක තියෙන සම්මානයක්නේ ස්වර්ණ පුස්තක සම්මානය කියන්නේ. මම ඒ සම්මාන සඳහා පොත් නිර්දේශ කරන මණ්ඩලය තුළ ඉන්නකොට මට නම් එහෙම විශාල බලපෑම් ඇවිල්ලා නෑ. නමුත් ඒ තුළත් කල්ලිවාදය නැති වුණාම නෙමෙයි. ඒ ගැන කියන්න මට සාධක තියෙනවා. මේ විනිශ්චය මණ්ඩලවල ඉන්නේ විවිධ රසවින්දන කලාප තියෙන අයනේ. විනිශ්චය මණ්ඩලයේ 15ක් ඉන්නවා නම් 12ක් විතරක් එක කෘතියකට කැමති වෙන්න පුළුවන්. අපි එතනදී අර 12ක කැමැත්තටනේ යන්නේ. ඔතනදී තියෙන්නේ බින්න රුචිකත්වනේ. වැඩි දෙනෙකුගේ රුචිකත්වය මත තමයි විශිෂ්ටම කෘතිය මේ යැයි තෝරන්නේ. මම විශ්වාස කරන්නේ නෑ මේ දක්වා තේරුණ හඅම කෘතියක් ම විශිෂ්ටම කෘතිය කියලා. සම්මාන කමිටුව තේරුම් ගන්න ඕන මේ සම්මාන විනිශ්චය මණ්ඩලවලට නූතන සාහිත්‍ය දැනුම තියෙන අයව ගන්න. එතකොට ඔය ප්‍රශ්නය යම් දුරකට හෝ වළක්වාගන්න පුළුවන්.
ප්‍රශ්නය :
මේ වගේ තේමාවකින් යුත් පොතක් රචනා කිරීමේ අරමුණ මොකක්ද?
ජයසිරි :
සම්මාන කමිටුවල තියෙන දුර්වලතා සහ බුද්ධිමය දේපළ මංකොල්ලය පිළිබදව සමාජගත කිරීමේ උවමනාවක් මට තිබුණා. එය කොතෙක් දුරට සාර්ථක ද කියලා මම දන්නේ නෑ. ඒක තීරණය කරන්න ඕන කියවන අය. සමාජය තුළ තියෙන මෙවැනි තත්ත්වයන් මම දේශපාලනයේ නියැළිලා ඉන්න කාලේ ඒක ඒ මට්ටමෙන් කළා. දැන් මම සාහිත්‍ය ඔස්සේ එය කරමින් ඉන්නවා.
අජිත් තිලකසේන
ප්‍රශ්නය :
ඔබ අජිත් තිලකසේන මහතාගේ භාෂා රීතිය අනුගමනය කළ කෙනෙක්. නමුත් මේ පොතේ දී ඔබ එය සිදු කරන්නේ නැත්තේ ඇයි?
ජයසිරි :
මගේ පළමු නවකතාව ‘‘අක් දහර’’ ලියද්දිත් මම එය අනුගමනය කළා. නමුත් එහිදී එහි අක්ෂර වැරදියි කියලා පුස්තකාලවලින් පොත් ගන්න එක ප්‍රතික්ෂේප කළා. ඒ වෙද්දි මම ‘‘තිත් මල්’’ පොතේ වැඩ කටයුතුත් කරලා ඉවරයි. ඒ පොතත් පුස්තකාලවලින් ප්‍රතික්ෂේප වෙන්න පටන් ගත්තා. මෙතනදී ප්‍රකාශන ආයතනයට ප්‍රශ්නයක් එනවනේ. පොතක් කරන්නේ අලෙවි කිරීමේ අරමුණින්නේ. ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා ඒ අක්ෂර රටාවෙන් ලියන්න එපා, සාමාන්‍ය අක්ෂර රටාවෙන් ලියන්න කියලා. මට තීරණ දෙකක් තිබුණා එක්ක තෝරගන්න. එක්කො මම නොලියා ඉන්න ඕන, එහෙම නැත්නම් මම සාමාන්‍ය අක්ෂර රටාවට මාරු වෙන්න ඕන. ඉතිං මට නොලියා ඉන්න බැරි වුණා. මම සාමාන්‍ය අක්ෂර රටාවට ප්‍රවේශ වුණා.
ප්‍රශ්නය :
ඔබ අජිත් තිලකසේන මහත්මයගේ භාෂා රීතියට යොමු වීමට හේතුව කුමක් ද?
ජයසිරි :
අපේ හල් කීරීමේ හා පාපිලිවල රූපාකාරය හා ශබ්දාකාරය වෙනස් බව අපිට පේනවා. අජිත් තිලකසේන මහත්මයා උත්සහ කරන්නේ ඔය රූපාකාරය හා ශබ්දාකාරය සමාන කරන්න. මට ඔහුගේ ‘‘විසිඑක්වෙනි සියවසේ භාශාවේ නවීකරනය’’ කියන පොඩි පොත කියවන්න ලැබුණා. එතනදී තමයි මට අවබෝධ වුණේ ඔහු කියන දේ හරි කියලා. ඔහුගේ තර්කය නිවැරදියි කියලා මම තාමත් පිළිගන්නවා. ඔහු තාක්ෂණය සමගත් ගැටගහලා මේක අරන් ආවා. ඔහුගේ උත්සහය ඉදිරියට ගෙනියන්න මමත්, ජනක මහබෙල්ලනත් උත්සහ කළා. ඔහු නම් තාමත් ඒ කටයුත්ත කරමින් ඉන්නවා. මම මගේ පොත් සඳහා එම රීතිය භාවිත කරන එකෙන් බැහැර වුණා. නමුත් මම මගේ පුද්ගලික ලියවිලි සඳහා එම රීතිය භාවිත කරනවා.
(නවෝද්යා ජයවික්‍රම)
(උපුටා ගත්තේ 2023/10/22 ඉරිදා ලංකාදීප පුවත්පතෙනි)