ලංකාවේ ජාතික ගැටලුව විසදීමේ මාවතක් කෙරෙහි වන එලඹීමකට ප්‍රථමව ලංකාවේ ජාතික ගැටලුවක් ඇති බවට වන පිළිගැනීමක් තිබීම පූර්ව
කොන්දේසියකි.
එසේ එලැඹුමකින් තොරව ඒ පිළිබඳව කතාකරන්නට යාම නිරර්ථක අදහසක් වනවා පමනක් නොව එයම සිංහල අධිපතිවාදය තුලම ගිලී යන අදහසක් බවට පත්වෙයි.
අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් තුලදී (බ්‍රිතාන්‍ය) සියලුම ජාතීන්ගේ පොදු සතුරා බවට බ්‍රිතාන්‍යයන් වර්ණ ගැන්වෙන මුත් එයින් ස්වායත්‍තව දේශීය පාලන තන්ත්‍රයක් පිළිබඳ අදහසට එන විට මේ අදහස විපර්‍යාසයකට ලක්වේ. බ්‍රිතාන්‍යයන් නිදහස ලැබෙන විට එය බහුතර සිංහල පාලනයක් කෙරෙහි බරවීම තර්කානුකූලව නිවැරදිය. නමුත් ඒ හරහා පාලකයා සිංහල වන විට දෙමල ජාතියේ අධිරාජ්‍යය ද සිංහල වෙයි.
වෙනත් වචන වලින් කියන්නේ නම් අපේ පාලන බලය නැමැති කේන්ද්‍රය බ්‍රිතාන්‍යයන් පිටමං වීමෙන් පසු ” හිස්” වෙයි. ඊට ආදේශ වන්නේ සිංහල, මහජාතිය විනා පුලුල් අරුතින් ලාංකික යන අදහස නොවේ. බ්‍රිතාන්‍යයන් පාලකයන් වශයෙන් සිටින විට සිංහල-දෙමළ ජනතාවගේ “පාලකයා” අධිරාජ්‍ය වන විට නිදහසින් පසු සිංහල ජනතාවට එය “සිංහල” ලෙසත්, දෙමළ ජනතාවටද එය ” සිංහල” ලෙසත් සංජානනය වේ.
තමන් සුලු ජන වර්ගයක් ලෙස හා ඒ නිසාම තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වන ගැටලුවක් දෙමළ ජනතාව කෙරෙහි පැනනගින්නේ මේ පැවැත්මේ ගැටලුව නිසාය.
අවාසනාවකට මෙන් සිංහල පාලක පංතියේ හැසිරීම ඊට තීව්‍රතාවයක් එක් කිරීමේ ඉඩ නිර්මාණය කරන අතරම දෙමළ දේශපාලනය ඊට එරෙහි දේශපාලනයක් උතුරේ අරඹයි. මේ යුගය තුල මෙය සිංහල-දෙමල ප්‍රභූ දේශපාලනය ඇතුලේ තොරොම්බල් වන විට දෙපැත්තේම ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් ඊට දශක කිහිපයකට පසු මැකී යයි.
දකුණේ මැදමුලනින් මතු වෙන මහින්ද රාජපක්ෂ සේම උතුරේ වැල්වැටිතුරෙන් මතුවෙන වේලුපිල්ලේ ප්‍රභාකරන්ද මෙම ප්‍රභූ-දේශපාලන තොරොම්බල් කිරීමේ අවසන් තර්කානුකූල ප්‍රතිඵලය වන විට එය අවසන් වෙන්නේ ලේ වැකුනු ඉතිහාසයකිනි.
අතීතය කෙරෙහි වන “පාලනය” පිළිබඳ අදහස පංතිමය අදහසකින් ජාතිය වෙත විතැන් වන විට එහි නිර්මාපකයා වාමාංශිකයින් වීම අවාසනාවකි.
දැන් එලඹී ඇත්තේ එහි අලුත් තත්ත්වයක් වන විට නැවතත් අලුත් වටයකින් ජාතික ගැටලුවේ තොරොම්බල් වීම ඇරඹී තිබේ.
රනිල් හෝ වෙනත් ඕනෑම පාලකයෙකුට මේ තත්ත්වය මගහැරයාමේ සීමාවන් භූ-දේශපාලනය විසින් වලක්වා තිබේ. ඉන්දියානු සාධකය මේ මොහොතේදී ක්‍රියාකරනු ඇත්තේ තමන්ටද හිසරදයක් බවට පත්වී ඇති මේ ගැටලුව කෙරෙහි පීඩනයක් එල්ල කෙරෙනා අන්තයකටය. එහි උපාය මාර්ගය 80 දශකය කෙරෙහි වෙන අන්තයක් කෙරෙහි තල්ලු නොකිරීමට වගබලා ගතයුතුය.
දැනට යෝජිත පලාත් සභා ක්‍රමයේම ඇති ඇතැම් ගැටලු නිසි පරිදි විසදා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක අවසන් උත්සාහය වන්නට ඉඩ තිබේ.
ඉන්දියානු සාධකයේ සීරු-මාරුවීම් පිලිබඳ අනාගතය පුරෝකතනය කිරීම දුෂ්කරය. එය දැනට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයේදී භාවිතා කිරීම වැදගත් වන්නේ එම නිසාය.