“මේ රටේ මිනිස්සු පොත් කියවන හැටියට අපි කොහොම ඉන්න ඕන රටක්ද!” වගේ ඇනුම්පද ඇහෙන්න පටන් ගත්තේ BMICH එකේ මහා පරිමාණයෙන් වාර්ෂික පොත් සල්පිලක් තියන්න පටන් ගත්ත මුල් කාලේමයි.

අදටත් කියනවා. 

එයින් අදහස් කරන්නේ ඒ පොත් සල්පිලට එන මහා ජනකාය දැක්කම අපට හිතෙනවා "යකඩෝ මේ රටේ මිනිස්සු පුදුම විදිහට පොත් කියවනවා නේද" කියලා. ඒ ප්‍රකාශයේ දෘෂ්ටිවාදය තමයි “පොත් කියවන සමාජයක් දැනුමෙන් උසස් විය යුතුය” යන්න. එතකොට ඒ දෘෂ්ටිවාදය තුළ අප හිතනවා එහෙම දැනුමෙන් සුපෝෂිත සමාජයක් “අප හිතන ආකාරයට” දියුණු විය යුතුය කියා. සමහරු ඒක ආර්ථික දියුණුව පැත්තෙන් දකිනවා. සමහරු ඒක ආධ්‍යාත්මික දියුණුව පැත්තෙන් දකිනවා. සමහරු දේශපාලනිකව දකිනවා. නමුත් ඉහත ප්‍රකාශනයේ උපහාසය තමයි “එහෙම මහා පොත් කන්දරාවක් කියෙව්වට අපි රටක් සමාජයක් හැටියට ඒ ඒ අර්ථ කිසිවකින් කිසිම දියුණුවක් ලබා නැතය” යන්න. එහෙම වෙන්නේ කොහොමද?

Bookfair BMICH 1200px 2023 09 22

ඒ ගැටලුවට විවිධ හේතු තිබුණත් මට හිතෙනවා අපි කතා නොකරනම හේතුව තමයි ප්‍රධාන කියා. මේක බොහෝ අයට දිරවා ගන්න අමාරු වෙයි. මම හිතන්නේ මොනතරම් පොත් කියෙව්වත් වැඩක් නැහැ ඒ කියවන්නේ බාල පොත් නම්… කියමනක් තියෙනවා “you are what you read” කියා. ඒකත් ඉහත දෘෂ්ටියම තමයි. ඒ අනුව ගත්තම මේ රටේ සමාජ සංස්කෘතික ආර්ථික පරිහානියට හේතුව වෙන්නෙම අප කියවන පොත් කියා මා යෝජනා කරනවා. මොකද එහෙම නැත්නම් අර කියනවත් වගේ අප කිසියම් හෝ පැත්තකින් කිසියම් හෝ දියුණුවක් ලබා තිබිය යුතුයි.

ලංකාවේ ජනප්‍රිය වෙන පොත් විසින් (චිත්‍රපට, ටෙලිනාට්‍ය, ගීත ආදී සියලු නිර්මාණ ඇතුළත්ව) ලංකාවේ සමාජය මොට කරනවා. ලංකාවේ නිර්මාණකරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජයට දෙන්නේ පසුගාමී මධ්‍යමාන අදහස්. වත්මන් ලංකාවේ විශිෂ්ටතම කෘතියක් හැටියට පොත් කියවන සමාජය විසින් හඳුන්වන පොතක පවා තියෙන්නේ ඓතිහාසික කුලවාදයක් ගැන. කුලවාදය ගැන කතා කළ යුතුයි. නමුත් එය පොතෙන් කතා කරන්නේ කොහොමද යන ප්‍රශ්නය කතුවරයා කල්පනා කළ යුතුයි. පාඨකයා හුදෙක් සංවේගයට පත් කිරීම පමණක් මදි. ඒ දුක නැති කරන මාර්ගයත් ඒ මොහොතේම ලියා තැබිය යුතුයි. උදාහරණයක් ලෙස කුලවාදයෙන් අසාධාරණයට ලක්වන චරිතය ඊළඟ මොහොතේ එයින් ගලවා ගන්නා වීරයා පැමිණිය යුතුයි. කුලවාදය අතික්‍රමණය කරන මාර්ගය පොතෙන්ම පෙන්විය යුතුයි. නැත්නම් වෙන්නේ පාඨකයා තුළ සිය සමාජය කෙරෙහි ඒක පාර්ශවික අසුබවාදී වෛරයක් පැළපදියම් වීම පමණයි. ලංකාවේ ඊනියා සම්භාව්‍ය කෘති සියල්ල පාහේ කරන්නේ එයයි. ඒක හොඳ බිස්නස් එකක්.

image bee8e3e93b

ලංකාවේ නවකතා කෙටිකතා මධ්‍යමාන සාහිත්‍යය ගැන කතා කරලා වැඩක්ම නැහැ. ඒවායේ තියෙන්නේ අන්තිම සරල සමාජ ප්‍රතිනිර්මාණයන් පමණයි. ලංකාවේ කියලා එතරම් වැදගත් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් නැහැ. ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් ගණයේ ෆැන්ටසි සාහිත්‍යයකුත් නැහැ. ප්‍රබන්ධ-නොවන ජීවන මාර්ගෝපදේශ වැනි පොත් බොහෝ විට කොපි පමණයි. ඒවා ලංකාවේ සමාජයට ගැලපෙන ආකාරයට පරිවර්තනය කර නැහැ. විශ්වවිද්‍යාලවලින් කිසිම වැදගත් විද්‍යාත්මක පර්යේෂණ කෘති බිහිවෙන්නෙත් නැහැ. මාර්ටින් වික්‍රමසිංහගෙන් එහාට ලංකාවේ කතාකාරයා පරිකල්පනය කරන්නේ නැහැ. ගම්පෙරලිය ආකෘතියම තමයි නැවත නැවත එන්නේ. එහි අවුල තමයි සමාජය පවතින ආකාරයෙන්ම පෙන්වීම හැර එම භවය තරණය කරන්නේ කෙසේද කියා නොපෙන්වීම. ජිනදාස හැමදාම සිංහලේ ගිහින් මැරෙනවා. පියල් හැමදාම කොළඹ ගිහින් පෝසත් වෙනවා. නන්දා හැමදාම චපලයි.

ලංකාවේ සියලු පොත් මේ වගේය කියා නොවෙයි මා කියන්නේ. නමුත් අතිමහත් බහුතරය මෙහෙම තමයි. වැඩිපුර උපාදානය කරගන්නේ ඒවාම නිසා වැඩිපුර හැදෙන්නෙත් ඒවාමයි. මේ ගැන මීට වඩා පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් මේ ලිපියවත් සම්පුර්ණයෙන් කියවන්නේ කී දෙනාද? කියෙව්වත් මේ ගැන විවෘතව කල්පනා කරන්නේ කී දෙනාද? වත්මන් ලංකාවේ සමස්ත ඛේදවාචකයට ලංකාවේ ගත්කතුවරුන්ද ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 සැප්තැම්බර් 24


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්