ඉස්කෝලෙකට බාරගන්න බැරි වෙන්න හැදෙන එකයි ශිෂ්‍යයෙකුගේ අරමුණ වෙන්න ඕන.
ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඇඟපතින් ලොකු වෙලා, විභාග පස්වෙලා එලියට එන එක නෙමෙයි. ඉස්කෝලෙකින් එලියට එනවා කියන්නෙ ඉස්කෝල සංස්කෘතියෙන් එලියට එනවා කියන එක. මනුස්සයෙක් ඉස්කෝලෙකින් එලියට ආවම ආපහු ඉස්කෝලෙට ඒ මනුස්සයාව බාරගන්න බැරි වෙන්න ඕන. ඒ මනුස්සයා අර පරණ ආයතනය ඉක්මවා වැඩෙන්න ඕන. ඒ සංස්කෘතිය ඉක්මවා යන්න ඕන. ඒ මනුස්සයා ඉස්සරහ ඉස්කෝලෙ පුංචි වෙන්න ඕන.
රෝමන් පොලාන්ස්කි - කිසොලොව්ස්කි
මං පෝලන්ත සිනමා පාසැලේ ටික කාලෙකට ඉගෙන ගනිද්දි ඒ ඉස්කෝලෙ හරි ඉහලින් කතා කරන නම් දෙකක් තිබුන. එකක් රෝමන් පොලාන්ස්කි. අනෙක කිසොලොව්ස්කි. වැඩේ තියෙන්නෙ මේ දෙන්නම ඉස්කෝලෙන් පිටුවහල් කරපු චරිත. ඒත් ඒ සිනමා පාසැලට වටිනාකමක් එන්නෙ මේ චරිත දෙක හින්ද. මේ අයව සිනමා පාසැලට බාරගන්න බෑ. සිනමාවෙන් වගේම ජීවිතෙනුත් මේ අය ඒ ඉස්කෝලෙ සීමා ඉක්මවා ගිහින්.
මනුස්සයෙක් තමන්ගෙ විශ්ව විද්‍යාලය ඉක්මවා යන්න ඕන. එතකොටයි විශ්ව විද්‍යාලෙන් අවුට් වෙනවා කියන්නෙ. ඒ දැනුම් සංස්කෘතියෙ සීමාවන් ඉක්මවා යමින් විශ්ව විද්‍යාලෙන් පිටුවහල් කරන උන් බවට පත්වෙන්න ඕන. එතකොටයි පරණ ආයතනගත දැනුමෙන් එලියට ආවා වෙන්නෙ.
මනුස්සයෙක් තමන්ගෙ ජාතිය ඉක්මවා යන්න ඕන. ජාතියට ඒ මනුස්සයාව බාරගන්න බැරි තරම් ලොකු වෙන්න ඕන. ඒකයි මනුස්සයෙකුගෙ සංස්කෘතික වර්ධනය කියන්නෙ. ජාතියේ සංස්කෘතික සීමාවන් තරණය කිරීම. ජාතියට වඩා විශාල මනුස්යෙක් වීම.
මනුස්සයෙක් තමන්ගේ පවුල ඉක්මවා යන්න ඕන. පවුලේ සංස්කෘතික රාමුවලට තවදුරටත් දරාගන්න බැරි තරමට ලොකු වෙන්න ඕන. බුද්ධ චරිතය කියන්නෙ ඒක. බුදුන්ව දරාගන්න සුද්දෝධනගෙ රජ පවුලට පුළුවන්කමක් තිබුනෙ නෑ. ශාක්‍ය වංශයට පුළුවන්කමක් තිබුනෙ නෑ. බුදුන් හදනවා ඒ හැම එකකටම වඩා විශාල බුද්ධ වංශයක්. ඒකයි මනුස්සයෙකුගේ ආධ්‍යාත්මික වර්ධනය කියන්නෙ.
ඉක්මවා යාම වෙනුවට නැවත අඩංගු වෙන්න, ඇතුලත් වෙන්න මහන්සි වෙනවා කියන්නෙ මනුස්සයෙක් විදිහට අවවර්ධිත තත්වයක්.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)