ජනාධිපති වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ 2024 වසර සඳහාවන අයවැය සම්බන්ධව ස.ජ.බ ඉන්නේ කොහේදැයි මට තවම සොයා ගත නොහැකිය.


දිනපතා වාගේ පාර්ලිමේන්තුවේ කතා කරන විපක්ෂ නායක වන ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අයවැය හැර අනෙක් සිල්ලර ප්‍රශ්න කතානායක වෙත ඉදිරිපත් කරනවා නම් ඇසින. එහෙත් ස.ජ.බ ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 77 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය දී තිබිණ. අයවැයට විපක්ෂව හෝ ඔවුන්ගේ සහභාගිත්වය සමග මේ පාර්ලිමේන්තුව විසින් සුජාතභවක් ලබා දෙන සිව්වන “නීති විරෝධී අයවැය” මෙය වන්නේය.



සමාජයේ දැනුවත් පිරිස් අතරද අවධානයක් නොලබන 2003 අංක 03 දරණ “රාජ්‍ය මූල්‍ය කලමනාකරණ (වගකීම්) පනතේ” 03(අ) වගන්තියෙන් ආණ්ඩු ඉදිරිපත් කරන ජාතික අයවැයෙහි හිඟය 2006 වසරින් පසු දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 05 ට වඩා නොවැඩි විය යුතු යැයි නියම කර ඇත. ඒ අනුව 2006 න් පසු සියයට 05 ට වැඩි හිඟයක් සහිත අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක. එසේ වූවත් 2020 අගෝස්තුවේ පත් කෙරුණු මේ පාර්ලිමේන්තුව විසින් නීතියට පටහැනි එවැනි අයවැය 03 ක් මේ වනවිට සම්මත කර ඇත. 

2021 වසර සඳහාවූ අයවැයෙහි හිඟය සියයට 12.2 ක් විය. 2022 වසර සඳහාවූ අයවැයෙහි හිඟය සියයට 10.2 ක් විය. මේ 2023 වසර සඳහාවන අයවැයෙහි හිඟය සියයට 7.9 කි. මේ අයවැය සියල්ල 2003 අංක 03 දරණ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ (වගකීම්) පනතට අනුව අනීතික ය. එනිසා ඒවා පාර්ලිමේන්තු විවාදයට නොගත යුතු විය. මේ පාර්ලිමේන්තුව විසින් විවාදයට ගැනෙන සිව්වන නීති විරෝධී අයවැය මෙම 2024 වසර සඳහාවන අයවැය වන්නේය. එහි ඇස්තමේන්තුගත හිඟය සියයට 9.1 කි.

මේ සමග කිව යුතු වැදගත් කාරණාවක් ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට සඳහන්වන අයවැය හිඟය හැම විටම වාගේ මාස කිහිපයකින් තව ඉහළ යන්නේය. පසුගිය අගෝස්තු වන විට මේ 2023 අයවැයෙහි හිඟය සියයට 7.9 සිට සියයට 8.5 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබිණ. ඇතැම් විට, දෙසැම්බර අවසාන වනවිට එය සියයට 10 ඉක්මවන්නටද ඉඩ ඇත. එබැවින් සියයට 05 ට අඩු යැයි ඉදිරිපත් කරන අයවැය පවා අඩ වසරකදී සියයට 05 ඉක්ම විය හැක. එයට මූලික හේතුවක් වන්නේ අයවැය තාර්කික හා ප්‍රායෝගික ගණන් හැදීමක් අනුව සිදු නොවීමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහිත් රේගුවෙහිත් සුරාබදු දෙපාර්තමේන්තුවෙහිත් වංචා දූෂණ පතුලටම මුල් ඇද තිබීමත්ය. එනිසා අයකර ගත යුතු ආදායම නිසියාකාරව අය කරගනු නොලැබේ.


“ජනතාව බුද්ධිමත්” යැයි කීවාට, ජනතාව විසින් පාර්ලිමේන්තු පත් කෙරෙන්නේ එවැනි වගකීමක් ගැන ඇති සමාජ අවබෝධයක් ඇතිව නොවේ. ජනතාව විසින් තෝරා පත් කළ පසු මෙතෙක් හැම අවුරුද්දකම පාර්ලිමේන්තුව විසින් නීති විරෝධී අයවැය සම්මත කළ බැව් හෝ මේ සමාජය දන්නේ නැති සෙයකි. එනිසා බොහෝ පනත් මැති ඇමතිවරුන්ගේ සහ ජාවාරම්කාරයින්ගේ වාසියට සංශෝධනය කෙරෙන බව මේ සමාජය දන්නේද නැත. සොයා බලන්නේද නැත.

මෙම “රාජ්‍ය මූල්‍ය කලමනාකරණ (වගකීම්) පනත” මගින් 2013 ජනවාරි 01 දින සිට මධ්‍යම ආණ්ඩුවේ විදේශීය ණයද ඇතුළු සමස්ථ ණය ප්‍රමාණය හැම වසරකම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 60 ක් නොඉක්ම විය යුතු යැයි එහි 3(ඊ) වගන්තිය මගින් නියම කර තිබු කොන්දේසිය රාජපක්ෂ හා වික්‍රමසිංහ ආණ්ඩු විසින් 2013, 2016 සහ 2021 වසර වල සංශෝධනය කර දැන් එය සියයට 80 ක උපරිමයක්ද 2030 දක්වා කලායකටද වලංගු කර ඇත. එළෙසින් සිය වගකීම් අත හැරීමට ආණ්ඩු වෙත නෛතික බලයක් ලබා දුන් පාර්ලිමේන්තුව විසින් එකී පනතෙන් ජනතාවට සහතික කර ඇති රාජ්‍ය මූල්‍ය කලමනාකරණය විමසීමේ හා නියාමනයෙහි අයිතීන්ද අනීතිකව අහෝසි කර ඇතැයි සමාජය දන්නේ නැත.

එම පනතට අනුව (4.2 වගන්තිය) මුදල් ඇමති විසින් අයවැය දෙවන වර කියවීමට පෙර ආණ්ඩුවේ “මූල්‍ය උපාමාර්ගික ප්‍රකාශය” මහජනාවට ලබාදිය යුතුය. ඒ වෙනුවෙන් එය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය. පනතෙහි 05 වන වගන්තියට අනුව එළෙස එම ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යුත්තේ “ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සහ ආණ්ඩුවේ මූල්‍ය උපාමාර්ග සම්බන්ධ නියාමනය වෙනුවෙන් ප්‍රමිතීන් සහතික කිරීමටය.”

එම පනතෙහි ඉතා වැදගත් ප්‍රතිපාදනයක් වන්නේ අයවැයක් සම්මත කිරීමෙන් සය මසක් ඉක්මවන විට එම අයවැය සම්බන්ධ “අර්ධ වාර්ෂික මූල්‍ය තත්ත්ව” ප්‍රකාශනයක් ප්‍රසිද්ධ කළ යුතු යැයි වන ප්‍රතිපාදනය වේ. එවැනි ප්‍රතිපාදනයකින් අපේක්ෂා කරන්නේ ආණ්ඩුවේ ප්‍රකාශිත “මූල්‍ය උපාමාර්ගික ප්‍රකාශය” සමග අයවැය සැසඳීමේ අවස්ථාව ජනතාවට ලබා දීම යැයි පනතෙහි 11 වන වගන්තියෙන් කියන්නේය.

ඒ අනුව මෙම පනත මගින් අයවැය සම්පාදනයේදී ආණ්ඩු වෙත යම් සීමා පනවා ඇති අතර, ඒ සමගම ආණ්ඩුවල මූල්‍ය කලමනාකරණය සමාජයට විවෘත කරමින් ජනතා සහභාගිත්වයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයද පුළුල්කර ඇත. ආණ්ඩුකරණයෙහි පාරදෘශ්‍යභාවය හා වගවීම සහතික කිරීමට නෛතික ප්‍රතිපාදන ලබාදී ඇත. ඒ සියල්ල පාර්ලිමේන්තුවේ මැදිහත්වීමෙන් සහතික විය යුතුය. “මූල්‍ය උපාමාර්ගික ප්‍රකාශය” සභාගත කිරීමට ආණ්ඩුවට බල කළ යුත්තේ විශේෂයෙන් පාර්ලිමේන්තුවෙහි විපක්ෂය විසින්ය. “අර්ධ වාර්ෂික මූල්‍ය තත්ත්ව” ප්‍රකාශනය සභාගත කරන මෙන් බල කළ යුත්තේද විපක්ෂය විසින් ය. ජනතාව සමග එවැනි වාර්තා සංවාදයට ගත යුත්තේද ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ය.

Sajith 2022.7

එහෙත් විපක්ෂයේ කිසිදු පක්ෂයක් එවැනි උත්සාහයක් ගන්නා බවක් අපි නොදනිමු. එ.ජා.පයෙන් වෙන් වූ සජිත් ප්‍රේමදාසගේ ස.ජ.බ ඔවුන්ට ආවේනික සම්මත, බාල සාම්ප්‍රදායික දේශපාලනයෙන් වෙන් නොවන හෙයින් ඔවුන්ගෙන් එවැනි දේශපාලන මැදිහත්වීමක් බලාපොරොත්තු විය නොහැකි බව සැබෑ ය. එහෙත් දූෂණයට, වංචාවට එරෙහිව මහා ගෝෂාවක් නගන, තමන් පවිත්‍ර යැයි සහතික ලියා ගන්නා ජ.වි.පෙ මෙම පනතට අනුව අයවැය නීති විරෝධී යැයි කිසි දිනක ඊට විරුද්ධවී නැත. මේ අයවැය සියයට 05 ට වැඩි හිඟයක් සමගින් ඉදිරිපත් කිරීම නීති විරෝධී යැයි ආරක්ෂක වියදම සීඝ්‍රයෙන් ඉහළ දැමීමට විරුද්ධවන දෙමළ ජාතික සන්ධානය නොකීමද එවැනිම නපුංසකත්වයකි. මේ පාර්ලිමේන්තුවෙහි කිසිවකු අවසන් වශයෙන් ජනතාවට වග නොකියන බැව් එමගින් ප්‍රදර්ශනය වන්නේය. දේශපාලන පක්ෂ මෙම වගකීම් කර ඇරීම ජනතාව ප්‍රශ්න නොකිරීමද තම වගකීම් ජනතාව නොදන්නා බව ප්‍රදර්ශනය කිරීමකි.

කිසිවකු තම වගකීම් නොදන්නා විට සහ පාර්ලිමේන්තුවද ඒ සමග සිය වගකීම් අත හැර අනීතිකව කටයුතු කරන විට, රටක් බංකොලොත්වී මෙවැනි අර්බුදයකින් නතරවීමත් අරුමයකි. එහෙත් ප්‍රශ්නය වන්නේ එවැනි සමාජයක මැතිවරණ පවත්වා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් රට ගොඩගත හැකිද යන්නය. මැතිවරණ ඉල්ලන්නට පෙර ඡන්දය දෙන්නේ ප්‍රාථමික, වැඩවසම් ඡන්දදායකයෙකු බවත් දේශපාලන පක්ෂවල හැදියාවද ඒ අනුව තීන්දු වන්නක් බවත් දත යුතුය. කිසිදු දේශපාලන පක්ෂයක් “දියුණු ඡන්දදායකයෙකු” හැදීමට උනන්දු නොවන්නේත් දියුණු ඡන්දදායකයෙකු සමග මේ මගෝඩි වැඩ කළ නොහැකි හෙයින් බවත් තේරුම් ගත යුතුව ඇත.

මේ ප්‍රාථමික, නොදියුණු සමාජය අවුරුදු 90 ට වැඩි කාලයක් ඡන්දය දෙන්නේ අති පෞද්ගලික කාරණා මුල් කර ගෙනය. 1931 පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඡන්දය දුන් ආකාරයෙන් යම් වෙනසක් සිදුව ඇත්තේ, එදා නොවුනු ආර්ථික සාධකද දැන් එකතුව තිබීමෙහිය. මැතිවරණ සඳහා තවමත් දේශපාලන පක්ෂ නාම යෝජනා සකස් කරන්නේ එදා වාගේම කුල තේරීම් සමගය. දිස්ත්‍රික්කයක ඇති කුල සතු ඡන්ද සංඛ්‍යාවද ගණන් බලමින් ය. එය දැකිය හැක්කේ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ ආසන සංවිධායකයින් පත්කර ඇති ආකාරයෙහිය. 

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ - වියදම කෝටි 20ක් !
ඒ ක්‍රමයට අනුව කොළඹ දිස්ත්‍රික්කයට සහ මාතර දිස්ත්‍රික්කයට දුරාව අපේක්ෂකයෙකු අනිවාර්ය වේ. ගාල්ල දිස්ත්‍රික්කයට කරාව සහ සලාගම අපේක්ෂකයින් අනිවාර්ය වේ. රත්නපුර දිස්ත්‍රික්කයට වහුම්පුර නායකයෙකු අවශ්‍ය වේ. කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වලට බත්ගම අපේක්ෂකයින් සිටිය යුතුය. එවැනි සමාජයක සියලු ඡන්දදායකයින් පක්ෂයකට ඡන්දය දුන් පසු මනාප ඡන්ද ලකුණු කරන්නේ කුලය, ජාතිය, ආගමද සළකා ඔවුන්ට ආර්ථික හා පෞද්ගලික ලාභ ලැබිය හැකි අපේක්ෂකයින් තෝරා ගෙනය. නගරයේ මධ්‍යම පංතික වෘත්තිකයින් ගණන් හදන්නේ සංස්ථා සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල ධූර, විදේශ තානාපති ධූර වැනි ඔවුන් සිතන වරප්‍රසාද ලබා ගැනීම සඳහාය.

රටේ පොදු දියුණුව වෙනුවෙන් වැඩපිළිවෙලක් ඇති ආණ්ඩුවක් පත් කර ගන්නට ඡන්දය දෙන ඡන්දදායකයින් මේ රටේ මෙතෙක් සිට නැත. පෞද්ගලික වාසි අනුව ඡන්දය දෙන මේ ඡන්දදායකයෝ පසුව ආණ්ඩු විසින් බඩු මිල අඩු නොකරන්නේ යැයි, උපාධිධාරීන්ට රැකියා නොදෙන්නේ යැයි ආණ්ඩු මාරු කරන්නට විරෝධතා ඡන්ද සඳහා කතිර ගසති. ඔවුන් ඡන්දය දෙන්නේ පවතින ආණ්ඩුව “ගෙදර යැවීමටය.” සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරිපත්කර සමාජ කතිකාවක් ඔස්සේ ඡන්ද ඉල්ලා සිටින පක්ෂ ඇත්තේ නැත. මේ පක්ෂ ඔවුන්ගේ වැඩපිළිවෙල යැයි කියන්නේ කඩේ යනවිට ගෙන යන බඩු ලැයිස්තුව වැනි “මැතිවරණ පොරොන්දු ප්‍රකාශන” වලටය.    

image 17dd734281

ආණ්ඩු මාරු කරන්නට නැවත මැතිවරණ ඉල්ලන දේශපාලකයින්ටද ඇත්තේ බොල් ආණ්ඩු විරෝධයක් ගසා කෑමේ හදිස්සියක් පමණි. දැනුවත් සමාජ ක්‍රියාකාරීන් මැතිවරණ ඉල්ලන්නට එවැනි ආණ්ඩු විරෝධයකට හවුල් නොවිය යුතු යැයි මම කියමි. ඔවුන්ගේ වගකීම විය යුත්තේ “ජාතික සංවර්ධනය” වෙනුවෙන් ඡන්දය දිය යුත්තේ මන්දැයි ඡන්දදායකයා සමග දියුණු සමාජ කතිකාවක් ආරම්භකර ගැනීමය. 

එවැනි සංවාදයකට මුල පිරිය යුත්තේ මේ පාර්ලිමේන්තුවේ අනීතික ක්‍රියාවන් ප්‍රශ්න කෙරෙන සමාජ ව්‍යාපාරයක් ඔස්සේ යැයි මම විශ්වාස කරමි. ඒ සඳහා “2003 අංක 03 දරණ රාජ්‍ය මූල්‍ය කලමනාකරන (වගකීම්) පනතට” අනුව මේ අයවැය හිඟය සියයට 05 ට අඩු නොකරන්නේ නම් සහ ආණ්ඩුවේ “මූල්‍ය උපාමාර්ගික ප්‍රකාශය” වහා සභාගත නොකරන්නේ නම් අයවැය වෙනුවෙන් පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දෙන සියල්ලන් ජනතා අයිතීන් උල්ලංඝණය කිරීමට දැනුවත්ව හවුල් වන්නේ යැයි නම්කර සමාජීය බාල්දුවකට ලක් කිරීමේ සමාජ ව්‍යාපාරයකට අත තැබිය යුතුයැයි මම කියමි. පාර්ලිමේන්තුවකට තෝරා පත්කරන මන්ත්‍රීවරුන්ගේ සමාජ වගකීම පමණක් නොව, මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමේදී ඡන්දදායකයාගේ වගකීම ගැන සාකච්ඡා ආරම්භ වන්නේද එළෙසින් යැයි මම විශ්වාසය කරමි.

විරෝධයට හෙටක් සෙවීම - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 දෙසැම්බර 05 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image