ලංකාවේ දේශපාලනය පිළිබඳව අලුත් ආකාරයේ ගැටලුවක් පසුගිය සති දෙක තුළත්, මේ දිනවලත් අලුතින් දිග හැරෙමින් පවතී. 


එම ගැටලුව මෙසේය. 

දූෂිත දේශපාලන ප්‍රභූ පන්තිය, දූෂිත ව්‍යාපාරික පන්තිය සහ දූෂිත නිලධර තන්ත්‍රය සමන්විත සන්ධානයක ග්‍රහණයට ගනු ලැබ ඇති ලංකාවේ රාජ්‍යය සහ ආණ්ඩුකරණ ක්‍රියාවලිය, දුගී පොදු ජනතාවට සේවය කරන ආයතන බවට පරිවර්තනය කිරීම කෙසේ සිදු කළ හැකිද? දේශපාලන අධිකාරවාදය සහ ආර්ථික දූෂණය අතර ගොඩනැගී තිබෙන ඉතා ශක්තිමත් සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදීව බිඳ දැමිය හැකිද? එම සන්ධානය බිඳ දැමිය හැක්කේත් අලුත් ආකාරයේ අධිකාරවාදයක් විසින්ද? ඉදිරි වසරේ දේශපාලන සාකච්ඡාවේ ගමන් මග ‘අලුත් ආකාර අධිකාරවාදයක් ලංකාවට අවශ්‍ය වී තිබේය’ යන තර්කය සඳහා යොමු විය හැකිද? යන ප්‍රශ්නයද ඒ සමගම ගොඩ නැගෙන්නටද පුළුවන.

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය සති දෙකතුන කාලයේ සිදුවූ අයවැය විවාදය තුළදී ප්‍රකාශයට පත්වූ ප්‍රධාන දෙයක් නම්, ලංකාවේ දේශපාලන දේහයේ තිබෙන නිදන්ගත රෝග දෙකක්, සුව වනවා වෙනුවට උත්සන්න වෙමින් පවතින බවයි. ඒවායින් පළමුවැන්න තනි පුද්ගල අධිකාරවාදී විධායක ජනාධිපති ක්‍රමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ අත්තනෝමතිකවාදී පරිවර්තනයකට පත්වීමයි. දෙවැනි රෝගය, ආර්ථික දූෂණය විසින් සමස්ත ආණ්ඩුකරණ සහ රාජ්‍ය පාලන ක්‍රියාවලියම ගිලගනු ලැබීමයි. මෙම ක්‍රියාවලීන් දෙකම එකට අත්වැල් බැඳගෙන, එකක් විසින් අනෙක පෝෂණය කර ආරක්‍ෂා කරනු ලබන ආකාරය අයවැය විවාදයත්, එයට සමාන්තරව මතුවූ ක්‍රිකට් ක්‍රීඩා දූෂණය පිළිබඳ ‘රණ්ඩුව’ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ පාලනයට ගැනීමට ගන්නා ප්‍රයත්නය යන මේවායින් ඉතා ඍජුව ප්‍රකාශයට පත්විය.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අලුතෙන් මුහුණ දෙන අන්තරායක් ගැන ‘නීතිඥ සාමූහිකය’ විසින් අනතුරු හඟවන ලද්දේද මෙම පසුබිම තුළය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වේගයෙන් වර්ධනය වන අධිකාරවාදය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන නවතම අනතුර ලෙස නීතිඥ සාමූහිකයේ ප්‍රකාශනයෙන් අවධාරණය වේ.

එම ප්‍රකාශයෙන් විශේෂයෙන් අවධානයට යොමු කරන ලද කරුණ වන්නේ, ව්‍යවස්ථා සභාව, විධායකයේම අංගයක්ය යන පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයයි. එවැනි ප්‍රකාශ මගින් ජනාධිපතිවරයා කරන්නේ ආණ්ඩුක්‍රමය තුළ ගොඩනගා තිබෙන සංවරණ සහ තුලන ක්‍රම සහ ප්‍රජාතන්ත්‍රීය රැකවරණ බරපතළ ලෙස දුර්වල කිරීමක් බවද එම ප්‍රකාශයෙන් අවධාරණය කෙරේ.

.

නීතිඥ සාමූහිකයේ මෙම අනතුරු ඇඟවීම සන්දර්භගත කිරීම, එම අනතුරු ඇඟවීමේ අර්ථය වටහා ගැනීමට අපට ප්‍රයෝජනවත් වෙයි. නීතිඥ සංගමයද තම ප්‍රකාශයෙන් මතක් කර ඇති පරිදි ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් කෝරා පත්කරගනු ලැබුවෙක් නොවේ. ඇත්ත වශයෙන්ම ඔහු පත්කරනු ලැබුවේ රටේ ජනතාවගේ බලවත් පිළිකුලට සහ ප්‍රතික්‍ෂෙප කරනු ලැබීමට පත්වී සිටින රාජපක්‍ෂ පවුල පාලනය කරන පොහොට්ටු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවැරුන්ගේ ඡන්දයෙනි. ජනාධිපතිවරයා බලයේ සිටින්නේත් එම මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි. ලංකාවේ මෑත කාලයේ පැතිරුණු ආර්ථික හා දේශපාලන දූෂණයේ සංකේතය වශයෙන් මහජන පිළිකුලේ සහ කෝපයේ ඉලක්කය වී තිබෙන්නේ එම පොහොට්ටු පක්‍ෂය, එහි නායකත්වය සහ මන්ත්‍රීවරුන්ය.

ලංකාවේ දේශපාලන පරිහාණියේ ඉහළම නිර්මාණය වන චෞර තන්ත්‍රය සහ චෞර තාන්ත්‍රික ආණ්ඩුකරණයේ ආරක්‍ෂකයන් ලෙස 2022 වසරේ පුරවැසි අරගලයෙන් පසුව ඉදිරියට ආවේ මෙම රාජපක්‍ෂ-වික්‍රමසිංහ, පොහොට්ටු-එජාප සන්ධානයයි. මේ දිනවල ජනාධිපතිවරයාගේද සහභාගිත්වයෙන් සිදු කෙරෙන පාර්ලිමේන්තු විවාද, සාකච්ඡා සහ තීරණවලින් පෙනෙන්නේ, මෙම චෞරතාන්ත්‍රික අධිකාරවාදයෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කළ හැකි දෙයක්ද? යන්නයි. මෙම ප්‍රශ්නය මතුවීමම ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදයේ පරිමාව සංකේතවත් කරන්නකි. වෙනත් වචනවලින් කියන්නේ නම්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදී නොවන විකල්ප මතුවීමේ නව අවධියකට අප සමාජය පාත්‍ර වී සිටිනවා නොවේද යන්නයි.

වික්‍රමසිංහ-රාජපක්‍ෂ සන්ධානයෙන් පොදුවේත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂයෙනුත් ප්‍රකාශ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේත්, ආර්ථික හා සමාජ ක්‍ෂෙත්‍රවලත් ඇති සමස්ත අර්බුදයට ඇති විධායක ජනාධිපති-අධිකාරවාදී විකල්පය තවත් ශක්තිමත් සහ වඩාත් දුෂ්ට කිරීමේ අභිලාෂයයි. ඒ අතර ලංකාවේ සමාජය වෙතින් පැන නැගිය හැකි තවත් අධිකාරවාදී විකල්පයක් තිබේ. එය ‘ක්‍රම විරෝධී’ අධිකාරවාදී විකල්පයයැයි හැඳින්විය හැකිය.

ක්‍රම විරෝධී අධිකාරවාදයක්?

dic dem
සරල ලෙස අර්ථ දක්වන්නේ නම්, ක්‍රම විරෝධී අධිකාරවාදය නම්, දැනට අධිපතිව පවත්නා දක්‍ෂිණාංශික, ප්‍රතිගාමී සහ දූෂිත පාලක පන්තියේ අධිකාරවාදය බලයෙන් ඉවත් කර, දේශපාලනයත් ආර්ථිකයත් සහිත පවත්නා ක්‍රමය පිරිසිදු කිරීම නව ප්‍රතිසංස්කරණවාදී, අධිකාරවාදී පාලන තන්ත්‍රයකින් මිස, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට ආපසු යන පාලන තන්ත්‍රයකින් කළ නොහැකිය යන්නයි. මෙය පහසුවෙන් බැහැර කළ යුතු තර්කයක්ම නොවේ. එවැන්නක් සඳහා වන පසුබිම, ලංකාවේ සමාජයේත්, දේශපාලනයේත් දැනටමත් ගොඩනැගී තිබෙන නිසාය. ඉදිරි මාස කිහිපය තුළදී, විශේෂයෙන් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගොඩනැගෙන අපේක්‍ෂා මෙන්ම අවිනිශ්චිතතාව ඉදිරියේ, එම තර්කය දේශපාලන සාකච්ඡාවට විවෘතවම එකතු වන්නටද ඉඩ තිබේ.

2023 එකතු වෙන වසරක් කරගමු ද...? - (ජයසිරි අලවත්ත)
ක්‍රම විරෝධී අධිකාරවාදී විකල්පයක් මතුවීමේ හැකියාව හුදෙක් මානසික මායාවක්ම නොව, වාස්තවික තත්වයන් විසින් නිර්මාණය කරමින් පවතින දේශපාලන යථාර්ථයේම කොටසකි. ඒ බව හඳුනාගැනීමේ විමසීමක් ආරම්භ කිරීමට ප්‍රයෝජනවත් ලක්‍ෂ්‍යයක් වන්නේ ගිය වසරේ මතුවූ පුරවැසි අරගලයෙන් ප්‍රකාශවූ ‘ක්‍රම වෙනසක්’ පිළිබඳ සමාජ අභිලාෂයයි. අරගලයේ අවමවාදී සහ උපරිමවාදී වශයෙන් තිබුණේ රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම, මැතිවරණ පවත්වා අලුත් පාලක පිරිසක් පත්කර ගැනීමට පුරවැසියන්ට අවකාශය ලබාදීම, ආර්ථික හා දේශපාලන දූෂණය නැවැත්වීම, පාලකයන් ජනතාවට වගවීම යනාදි ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ ඉල්ලීම්ය.

ගිය වසරේ ජුලි මැදදී ආරම්භ වූ වික්‍රමසිංහ-රාජපක්‍ෂ ආණ්ඩුව මෙතෙක් කර තිබෙන්නේ, පුරවැසි අරගලය වෙතින් ප්‍රකාශ වූ මහජන ඉල්ලීම් හා අභිලාෂවලට සම්පූර්ණයෙන් විරුද්ධවූ දේශපාලන ප්‍රතිවිප්ලවයක් දියත් කර, දූෂිත බලලෝභී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලක පන්තියේ දේශපාලන ආධිපත්‍යය, අධිකාරවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ නෛතික වලංගුභාවයක්ද ලබාගනිමින් දිගටම පවත්වා ගැනීමයි.

මාස 16ක් දිග අරගලයට පසු දේශපාලන ගමන් මගෙහි, ‘ප්‍රතිවිප්ලවයේ ජයග්‍රහණය’ යන අලංකාරෝක්ති පදයෙන් හැඳින්විය හැකි ප්‍රවණතා කිහිපයක්ම අපට හඳුනාගත හැකිය. ඒවා පහත සඳහන් පරිදි කෙටියෙන් හැඳින්විය හැකිය.

1. ප්‍රජාතන්ත්‍රවාදී බලවේග යට කරගෙන තම ආධිපත්‍යය ආරක්‍ෂා කරගෙන පිහිටුවාගැනීමට රාජපක්‍ෂ-වික්‍රමසිංහ සන්ධානය නියෝජනය කරන පාලක බල කඳවුර සමත් වීම.

2. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ විකල්පය ඉවතට දමමින්, ලංකාවේ රාජ්‍යයේ අධිකාරවාදී සහ මර්දනකාරී ශක්තිය, සූදානම සහ අධිෂ්ඨානය ශක්තිමත් කිරීම.

3. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමටත්, ආර්ථික සහ සමාජ සාධාරණත්වය සඳහාත් විවෘතව විරෝධය පළ කරන සහ අරගල කරන පුරවැසි නැගිටීම් දරුණු ලෙස මර්දනය කිරීමට රාජ්‍ය යන්ත්‍රය සූදානම් කිරීම.

4. ‘දූෂිතයන්ගේ මහා සන්ධාන’ පාලන තන්ත්‍රයේ බලය මැතිවරණ නොපවත්වා දිගටම සහ බලහත්කාරයෙන්ද, පවත්වාගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නෛතික ක්‍රියාවලිය අවභාවිත කිරීම.

එජාප පොහොට්ටු සංධානය...........? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

2023 වසරේ වික්‍රමසිංහ-රාජපක්‍ෂ ආණ්ඩුවේත්, ඔවුන්ගේ හෙවණැල්ලක් වන පාර්ලිමේන්තු බහුතරයේත් චර්යාව දෙස විමසිලිමත්ව බලන කෙනකුට පෙනෙන අමිහිරි දේශපාලන යථාර්ථයක්ද තිබෙන බව නිරීක්‍ෂණය කළ හැකිය. එය නම් දැනට තිබෙන පොහොට්ටු-එජාප සන්ධානය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණවලින් පරාජය කළත්, නව ආණ්ඩුවකට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන හා සමාජ-ප්‍රජාතන්ත්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ සීමා ඇතුළත සිදු කිරීමේ දුෂ්කර අභියෝගයට මුහුණ දීමේ අභියෝගයයි.

ප්‍රතිසංස්කරණවාදී නව ආණ්ඩුවක අභියෝග

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට
2024 වසරේ නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වුවහොත් බොහෝ විට එහි ප්‍රතිඵලය වනු ඇත්තේ එජාපය, පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය යන පක්‍ෂ තුන, වෙන වෙනම හෝ සන්ධානගතව මැතිවරණවලට මුහුණ දුන්නත්, දැඩි පරාජයකට පත්වීමයි. ඒවායින් පිටස්තර රැඩිකල් ප්‍රතිසංස්කරණවාදී දේශපාලන පක්‍ෂයක් ලෙස ජනතාව ඉදිරියට පැමිණෙන ජාතික ජන බලවේගය/ජවිපෙ ඡන්දදායක බහුතරයේ පළමු තෝරා ගැනීම වනු ඇතැයි මොහොතකට සිතමු.

එසේත් නැත්නම්, මේ දිනවල දැඩි දූෂණ විරෝධී හඬක් නගන, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ඉදිරි දැක්මක් තමන්ට ඇතැයි කියන සජබයට බහුතර ජන සහයෝගය මැතිවරණවලදී ලැබෙන්නේ යැයිද සිතමු. එසේ මැතිවරණ දිනා පිහිටුවන ජවිපෙ/ජාජබ ආණ්ඩුවකට හෝ සජබ ආණ්ඩුවකට හෝ දේශපාලන වශයෙන් සාර්ථක වීමටත්, තම ප්‍රතිසංස්කරණ පොරොන්දු කෙටි කාලයක් තුළ ඉටුකිරීමටත්, තමන්ට ලැබුණු මහජන සහාය සහ සමාජ සහයෝගය දිගටම පවත්වාගැනීමටත් ඇති බාධා මොනවාද යන්න දැන් සිටම බැරෑරුම් විමසුමකට භාජනය කළ යුතු ඒවාය. එම බාධා තේරුම් ගැනීමට නම්, පහත සඳහන් ආකාරයේ ප්‍රශ්න ඍජුවම මතු කළ යුතුව තිබේ.

1. තමන් දරුණු ලෙස පරාජය වන බව දැන දැනම ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණ නිදහස් ලෙස සාධාරණ ලෙසටත්, නිසි කලටත් පැවැත්වීමට එජාප-පොහොට්ටු සන්ධාන නායකයන්ට දේශපාලන දිරිගැන්වීමක් ඇත්තටම තිබෙන්නේද?

Untitled design
2. තමන් ජනතාවගේ අනුමැතිය ලබාගන්නා ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට, එම ප්‍රතිසංස්කරණ විරෝධී බලවේග නිහඬව ඉඩ තබාවිද? එම බලවේගවල ප්‍රතිසංස්කරණ විරෝධී ප්‍රතිචාර කෙසේ පාලනය කළ හැකිද?

3. ලංකාවේ දැනට තිබෙන අතිශයින් දූෂිත ආණ්ඩුකරණ, පරිපාලන, නීති ක්‍රියාත්මක කරන, ජනමාධ්‍ය පාලනය කරන නිලධර ස්තර මෙන්ම, පුද්ගලික අංශය සහ ව්‍යාපාරික පන්තියද, මෙම පවත්නා දූෂිත ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට, අලුත් ආණ්ඩුවකට ඉඩ දේවිද? එම බලවේග තම දේශපාලන ස්වාමිවරුන් වන එජාප-පොහොට්ටු සන්ධානය නැවත බලයට ගෙනඒමට සහ ඒ මගින් තම පන්ති පලප්‍රයෝජන සපුරා ගැනීමට පියවර නොගනීවිද?

4. ලබන වසරේ, ජාත්‍යන්තර ණය ගෙවීම් ආරම්භ කළහොත්, ඒ සමග අලුතෙන් උග්‍ර වන ආර්ථික අර්බුදයත්, උත්සන්න වන සමාජ අර්බුදයත්, අලුතෙන් ගොඩ නැගෙන දේශපාලන අර්බුදයත්, ප්‍රජාතාන්ත්‍රීය ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සමග එකට ගෙන යාමට පශ්චාත්-වික්‍රමසිංහ/රාජපක්‍ෂ පාලන තන්ත්‍රයක් කෙසේ සමත්වනු ඇත්ද?

මැතිවරණ කොමිසමේ ගණපූර්ණය තිබුනද? නැද්ද?

2024 ලංකාවේ මැතිවරණ වර්ෂය වීමට ඉඩ තිබේ. ඒ නිසාම 2024 වර්ෂය නැවුම් දේශපාලන අභිලාෂ සමාජය තුළින් මතුවන වසරක්ද වනු ඇත. එමෙන්ම නව වසර, තීරණාත්මක සහ පෙර නොවූ ආකාරයේ දේශපාලන පරිවර්තනයක් ආරම්භ කිරීමේ වසරක් වීමටද ඇති ඉඩකඩ බොහෝය. ඒ නිසාම 2024 වසර දේශපාලන අවිනිශ්චිතතාවේ වසරක්ද වනු ඇත. අපේක්‍ෂාව හා අවිනිශ්චිතතාව අතර අද හෙටම ආරම්භ වන තරගයේ බැරෑරුම්කම ගැන දැන්ම පටන්ම සවිඥානක වීම අඩු තරමින් දේශපාලන විචාරකයන්ගේ වගකීමය.


z p05 Collective2-මහාචාර්ය ජයදේව උයන්ගොඩ
(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකි.)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(anidda.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්