නලින් ද සිල්වා කියනවා “සියල්ල මායාවක්” ය කියා. “මායා” යන්නට විවිධ අර්ථ තිබෙනවා.
නලින් ද සිල්වා මෙතන මායාව කියන්නේ “ontological existence” අර්ථයෙන් කියා කියනවා. එනම් “පැවැත්ම, පවතින දෙය” අර්ථයෙන්. ඒ වගේම ඔහු කියනවා “එහි ඇත්තක් හෙවත් සත්බවක් නැහැ” කියා. ඒ කියන්නේ කිසිවක් “real” නැහැ. ඔහු එතනම කියනවා “සත්‍යය, අසත්‍යය සහ පරමාර්ථය ආදිය බමුණු සංකල්ප” ය කියා. එනම් ඒවා බුදුදහමේ නොවන බවයි. එතකොට ඔහුගේ අර්ථයෙන් “අසත්‍යය” හෙවත් නොඇත්ත හෙවත් “බොරුවත්” බමුණු සංකල්පයක්…
මුලින්ම අප විසඳාගත යුතු කාරණය තමයි “සියල්ල මායාවක්” යන්නෙන් ද සිල්වා අදහස් කරන්නේ “nothing exists” යන්නද නැත්නම් “nothing is real” යන්නද කියා ය. “කිසිවක් නොපවතී” කියන්නේ එකක්, “කිසිවක් ඇත්ත නොවේ” කියන්නේ තව එකක්. උදාහරණයක් හැටියට ඔබේ අතේ කෝප්පයක් තිබෙනවා. කෙනෙකුට කිව හැකියි ඔබට කෝප්පයක් පෙනුනට දැනුනට එතන කිසිම දෙයක් නැහැ කියා. තව කෙනෙකුට කියන්න පුළුවන් කෝප්පය වගේ පෙනුනට එතන “ඇත්තටම” තියෙන්නේ කෝප්පයක් නොවෙයි කියා. මේ දෙකම “මායාවන්” ලෙස හඳුන්වන්න පුළුවන්. ද සිල්වා කියන “මායාව” මින් කවරක්ද? දෙකමද? දෙකින් කිසිවක් නොවන අන් දෙයක්ද?
දාර්ශනික අර්ථයෙන් ගත් විට “කිසිවක් නොපවතී” යන්න පරස්පරයක්. මොකද එතකොට “කිසිවක් නොපවතී” කියන දෙය පවතිනවා. “Why is there something, rather than nothing?” කියන කෙස් පැලෙන ප්‍රශ්නයට එයින් විසඳුමක් ලැබෙනවා. Nothing කියන්නෙත් Something එකක්. ඒ අනුව existence අනිවාර්ය වෙනවා.
ඊළඟට ද සිල්වා ඉංග්‍රීසි ප්‍රකාශ වගයක් කොපි පේස්ට් කර තිබෙනවා. ඒ අතර අයින්ෂ්ටයින් කිව්වාය කියන එකකුත් තියෙනවා. ඒවා කිසිම පිළිවෙලකට දක්වා නැහැ. Website එකකින් එහෙමම අරගෙන format නොකර දාලා. ද සිල්වා ඒවා ඉදිරිපත් කරන්නේ ඔහුගේ “සියල්ල මායාවක්” යන ප්‍රකාශයට සාක්ෂි ලෙසයි. ඒ ප්‍රකාශ කියවා බැලීමේදී ඒවා ප්‍රධාන වශයෙන් මුලාශ්‍ර දෙකකට අයත් බව පේනවා. මුල් ප්‍රකාශ එන්නේ “Diamond Sutra” හෙවත් වජ්‍ර ප්‍රඥා පාරමිතා සූත්‍ර නමැති මහායාන සූත්‍රයකින්. එහි ඉංග්‍රීසි පරිවර්තනය මා කියෙව්වා. එම සූත්‍රයේ විවිධ කරනු අඩංගුයි. මේ කතාවට අදාළ සාරාංශය තමයි: “All conditioned dharmas are like dreams, illusions, bubbles, shadows; like dew drops and a lightning flash. Contemplate them thus.” මෙතන Conditioned dharmas කියන්නේ “සංඛාර ධර්ම”.
ඒ සූත්‍රයේ හැටියට සංස්කාර ධර්ම කියන්නේ "හැම දෙයක්ම". නමුත් එක් තැනක ලෝක දෙකක් තිබෙන බව කියනවා sentient world සහ material world. වේදනා දැනෙන සත්ත ලෝකය නැතුව material world එක පවතිනවාද යන්න එහි පැහැදිලි නැහැ. ඒ සූත්‍රය ඒ තරම් හොඳට ලියූ එකක් නොවෙයි. එක්කෝ පරිවර්තනය දුර්වලයි. හැබැයි මට හොඳටම විශ්වාසයි නලින් ද සිල්වා ඒ සූත්‍රය කියවා නොවෙයි අර ඒ මත කියා තිබෙන ප්‍රකාශ දක්වන්නේ. නිකං ඔහේ තියෙන නිසා දාලා. නමුත් ථෙරවාද සම්ප්‍රදාය තුළ “සංඛාර” ගැන විවිධ අර්ථ දැක්වීම් තිබෙනවා. එතුමාට වෙලා තියෙන්නේ කටුකුරුන්දේ හාමුදුරුවන්ගේ පොත් කියෙව්වට බුද්ධ භාෂිත ත්‍රිපිටකය හරියට කියවලා නැති ප්‍රශ්නයයි. ද සිල්වා මේක අස්සේ කියනවා “දෘෂ්ටි සියල්ල මායාවන්. අපේ සංස්කරණ.” කියලා. ද සිල්වා සහ ගෝලයන් කරන තව වරදක් තමයි මේ විදිහට කිසියම් වචනයක් එක් එක් තැන්වල එක් එක් විදිහට දැක්වීම. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් එතකොට කියන්න පුළුවන්, “ඒක නෙවෙයි මේකයි මා අදහස් කළේ” කියා.
මහාචාර්ය නලින් ද සිල්වා
ද සිල්වා මෙතන “සංස්කරණය” කරගන්නවා කියන්නේ සංඛාරවල එක් පොදු අර්ථයකින්. “හටගත් දේ”ට පොදුවේ සංඛාර කියනවා. පටිච්චසමුප්පාදයේ පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර, සහ කායසංඛාර, වචීසංඛාර, මනොසංඛාර වශයෙනුත් දක්වනවා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධවල එක ස්කන්ධයක් තමයි සංස්කාර ස්කන්ධය. මහායාන සූත්‍රයේ මේවා ගැන පැහැදිලි කිරීමක් නැහැ.
දෙවැනි මූලාශ්‍රය ත්‍රිපිටකයේ එන ඵෙණ පිණ්ඩූපම සූත්‍රය බව පේනවා. එය අපූරු උපමා සහිත සූත්‍රයක්. මුලින්ම කියන්නේ ගංගා නදියේ නැගෙන පෙන පිඬක් හොඳට විමසිල්ලෙන් නුවණින් බැලුවම එය “රිත‍්තක, තුච‍්ඡක, අසාරක” බව පේනවා කියා. එනම් “හිස් වූවක්, බොල් වූවක්, හර නැත්තක්” සේ වැටහෙනවා කියනවා. රූප ස්කන්ධයත් ඒ විදිහට නුවණින් විමසා බැලුවම හිස්, බොල්, අසාර බව පේනවා කියනවා. ඊට පස්සේ ගන්නේ වැහි බිංදු පොළොවට වැටෙන කොට නැගෙන දිය බුබුළු. ඒවත් බැලුවම හිස්, බොල්, අසාර බවත්, වේදනා ස්කන්ධය නුවණින් විමසා බැලුවම ඒ වගේ බවත් කියනවා. ගිම්හාන දවසක මිරිඟුව වගේ කියනවා සංඥාව. ඊළඟට කෙසෙල් කඳක් කපලා ඒක පතුරු ගගහා අරටුව හෙව්වට අරටුවක් හොයාගන්න නැහැ වගේ “සංස්කාර” හිස්, බොල් අසාරයි කියනවා. අවසාන වශයෙන් හතරමං හන්දියක විජ්ජා පෙන්වන මැජික්කාරයෙක්ගේ මායාව වගේ විඤ්ඤාණයත් නුවණින් විමසා බැලුවම හිස්, බොල්, හරයක් නැහැ කියා වැටහෙනවා කියනවා. මෙතන මේ එක් එක් ස්කන්ධයන්ට අරගෙන තියෙන උපමා වෙනස්. එයට හේතුවක් තිබෙනවා. මේවා හිස්, බොල්, අසාර වෙන විදි වෙනස්.
බැලූ බැල්මට මේකෙන් කියන්නේ “සියල්ල මායාවක්” නේද කියා ඔබට සිතිය හැකියි. නමුත් ඒක එහෙම පහසුවෙන් ලඝු කරන්න බැහැ. මොකද සියල්ල මායාවක් කීවාම “හිස්කම, බොල්කම, අසාරත්වය” ඒවත් මායාවන් වෙනවා. එතකොට මේ පැහැදිලි කිරීමත් මායාවක් වෙනවා. එහෙම හිතුවම අපිට කිසිම දෙයක් ගැන හිතන්නවත් බැරි වෙනවා. “හැම දෙයක්ම බොරුවක්…” කියන නාස්තිකවාදයට කෙනෙකු යනවා. නිර්මාල් දේවසිරිට වෙලා තියෙන්නේ ඒක. “එහිම වූ අර්ථයක් නැත්නම්, මොකටද ඒ ගැන කරදර වෙන්නේ?” වගේ ප්‍රශ්නයක් එයා මගෙන් වරක් ඇහුවා. බුදුන්වහන්සේ දේශනා කරන්නේ එවැනි මායාවාදයක් නොවෙයි.
ලෝක සූත්‍රයේ බුදුන්වහන්සේ ලෝකයේ හටගැනීමත් නැතිවීමත් දේශනා කරනවා. “ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. ඒ තුනෙහි එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය ප්‍රත්‍යයයෙන් වේදනාව ඇති වෙනවා. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන ඇති වෙනවා. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය ඇති වෙනවා. භව ප්‍රත්‍යයයෙන් ජාතිය ඇති වෙනවා. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ ඇති වෙනවා. මහණෙනි, මේ ලෝකයේ හට ගැනීමයි.” (කරුණාකර සම්පූර්ණ සූත්‍රය කියවන්න.) මේ කියන ලෝකය සහ අග්ගඤ්ඤ සූත්‍රයේ කියන ලෝකය (cosmos අර්ථය) එකමද කියා වෙනම සාකච්ඡා කළ යුතුයි. මොක වුණත් බුදුන්වහන්සේ දේශනා කරන්නේ “ප්‍රත්‍යයෙන් හටගැනීමක්” ගැනයි.
“අනිත්‍යයි” කියන්නේ “නැහැ” කියන එක නොවෙයි. අනිත්‍යයි කියන්නේ මොකක් හරි තියෙනවා, හැබැයි ඒක වෙනස් වෙනවා, විපරිණාමය වෙනවා. සතර මහා භූතයන් එකතු වුණාම ඉපදෙනවා. වෙන් වුණාම මැරෙනවා. ඒක මායාවක් නොවෙයි. ඒක මායාවක් නම් ඇයි අපි ඒ ගැන කරදර වෙන්නේ? අපිට පේන්න තියෙන සූර්යයා, චන්ද්‍රයා, අඟහරු, බ්‍රහස්පති, අන්තරීක්ෂය, මන්දාකිණි ඇතුළු මේ සමස්ත විශ්වය, එදා මෙදා තුර ජීවත් වූ සියලු මිනිසුන්ද අයත්වන සතුන් පමණක් නොවෙයි, “බුදුන්වහන්සේ” සහ බුද්ධ දේශනාව පවා නලින් ද සිල්වා කියන විදිහට “අපි” හදාගන්න මායාවක් පමණයි. එය ඉතාම මානව පුද්ගල ආත්ම මූලික දෘෂ්ටියක්. සාහසික ප්‍රකාශයක්. අභ්‍යන්තරයෙන් පරස්පරයි.
අනෙක නලින් ද සිල්වා කියන “අපි” කවුද? ඒක ව්‍යවහාර සම්මත භාවිතයක් නම් කමක් නැහැ. නමුත් මේ සියල්ල මායාවක් නම් ඒ පිටුපස මායාකාරයෙක් සිටිය යුතුය කියා කෙනෙකුට කියන්න පුළුවන්. බුදුදහමෙන් පෙන්වන්නේ ලෝකය පටිච්චසමුප්පාදය වෙනවා, නමුත් ඒ අස්සේ “මම” කියා කෙනෙකු නැති බවයි. මේක කරන කෙනෙක් නැහැ. මේක මායාවක් වුණත් නැතත් ඒක “අපි” කවුරුවත් හදන එකක් නොවෙයි.
ධර්මය අපට මග වේවා!
සබැඳි ලිපි :
සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ)
පරිණාමවාදය සහ නලින් ද සිල්වාගේ කිකිළිය (එරන්ද ගිනිගේ)
මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම - (එරන්ද ගිනිගේ)
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක