විපක්ෂ නායක සජිත් කියන කතා ගැන රටේ රාළට එච්චරම Interest එකක් නෑ. ඇත්තටම සජිත් කියන කතාවල දේශපාලන ගැඹුරක් තියනවාද කියන
ප්‍රශ්නය රටේ රාළට තියනවා. 
 
සමහරු රටේ රාළට සජිත් එක්ක හැරියස් එකක් තියනවාද කියලත් අහනවා. ඉස්සර නං සජිත්ගේ තාත්තත් එක්ක පොඩි නෙවෙයි, ලොකු ඇරියස් එක්ක තිබුණා. දැන් ඉතින් ඒ මනුස්සයත් නෑ. 
 
අනික ඒවා දැන් කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහිල්ලා. ඒක නිසා ඔය කිරි සප්පයොත් එක්ක රටේ රාළට මොන ඇරියස්ද?
 
කොහොම හරි ඊයේ සජිත් රටේ රාලට හිතට අල්ලන කතාවක් කිව්වා. සජිත් කියනවා මේ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වෙලා නව ජනවරමකට ඉඩදෙන්න ඕනිලු. රටේ ජනතාවට අලුතෙන් තමන්ගේ නියෝජිතයන් පත්කරගන්න ඉඩ දෙන්න ඕනිලු. 
 
 
 
 
සජිත් ඒක සවිඥානිකව කිව්වද? අවිඥානිකව කිව්වද කියලා රටේ රාළ දන්නේ නෑ. හැබයි ඒ කතාවෙන් වැදගත් දේශපාලන සංවාදය මතු කරගන්න පුලුවන්. ඒ ගැන සජිත්ට ස්තුතියි කරගෙනම රටේ රාළ සාකච්ඡාව පටන් ගන්නවා.
 
ඇත්තටම එහෙම වෙනසක් කරන්න නං මේ රටට ඕනි ජනාධිපතිවරණයක්. හැබැයි ඉතින් නිල වශයෙන් ජනාධිපතිවරණයක් එන්නේ 2024 අවසානයේ. ඊට මෙහා තියනවා නම් ඒක තීරණය කරන්නේ ජනාධිපති ගෝඨාභය. 
 
සමහරවිට එයාම තව පාරක් එනවා නම්  ජනාධිපතිවරණය 2023 අවසානයට එන්න බැරිත් නෑ. ඉන් මෙහා ජනාධිපතිවරණයක් ගන්න පුළුවන්ද? 
 
සජිත් කියන්නේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියල.  ඉතින් වෙන රටක සිද්ධ උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. හැබැයි ඒක වෙන රටක උනත් නිකම්ම නං සිද්ධ වෙන්නේ නෑ.
 
හැබැයි ඉතින් කරනවා නං ඒකත් කරන්න පුළුවන් වැඩක්. ඒ දැවැන්ත මහජන නැගිටීමකින්. එහෙම හිතලා සජිත් ඔය කතාව කිව්වා කියලා රටේ රාළ නං හීනෙන්වත් හිතන්නේ නෑ. එහෙම කරපු තැන් ලෝකේ ඕනි තරම් තියනවා. 
 
80 දශකයට එහා එහෙම කරපු හැමතැනකම ජනතා අරගලයට පිටිපස්සේ සන්නද්ධ බලයකුත් තිබුණා. ඒ මහජන නැගිටීම් ඉස්සරහා පාලකයෝ යටත් වුණා.  අලුත් ජනවරමකට ඉඩ දුන්නා. සමහරු රටින් පැනලත් ගියා. 
 
සන්නද්ධ බලයක් නැතිවත් ඒක කරන්න පුළුවන් කියලා වෙනිසියුලාවේ චාවේස්ලා ඔප්පු කරලා පෙන්නුවා. ඇත්තටම ඒක හොඳ සටන් ආකෘතියක්. හැබැයි ඒක ආදේශ කරන්නත් චාවේස්ලා වගේ මිනිස්සු ඉන්නත් ඕනි. ඇත්තටම අරගලය පැත්තෙන් හිතුවොත් ලංකාවටත් ඒක හොඳට ගැලපෙනවා. මේ වහල් බැමි පුපුරෝලා හරින්න හොඳම ආකෘතිය ඒක.
 
හැබැයි ඒ වගේ වැඩක් කරද්දී වරදින්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් වැඩී. ඒකට කරන්න දියුණු වැඩපිළිවෙළක්, විශ්වාසණීය නායකත්වයක් ඕනි. අපට ඔය දෙකම නෑ. ජොලියට ඒවා කරන්න ගියොත් ආයෙත් හැදෙන්නේ මේ වගේ විකාර රූපී ආණ්ඩුවක්ම තමයි. නැත්තම් මීට වඩා අන්ත එකක්.
 
 
ඒක නිසා මේ වෙලාවේ ඒ අත්හදා බැලීම කරන්න රටේ රාළ නං එකඟ නෑ. නැත්නම් මේ වෙලාව කියන්නේ ජනතාව මහ පාරට ගන්න පුළුවන් වෙලාවක්. ඒ තරමට පාලකයන් ගැන කේන්තියෙන් ජනතාව ඉන්නේ. ඇත්තටම ඕනි එක සටන් පාඨයක් විතරයි. කොහොම උනත් ඒක සරල නෑ. පාලකයා බිත්තියට හේත්තු කරනවා කියන්නේ ආශ්වාදනීය දෙයක් වගේම මහා භයානක දෙයක්. 
 
 
ඒක අසංවිධානාත්මකව කරන්න පුලුවන් උනත් එහෙම කරන එක වැරදී. රටේ රාළ නං මේ රටේ අසංවිධානාත්මක ජනතා නැගිටීම් වෙනවට ගොඩක් බයයි. මොකද ඔය වැඩේ කරන්න ගිහින් රටේ රාළට ගොඩක් යාලුවෝ නැති වුණා. රටට මහා දක්ෂ පරම්පරා තුනක මිනිස්සු නැතිවුණා. රටේ රාළත් බේරුණේ 99.99 යෙන්.
 
මොකද පාලකයා බිත්තියට හේත්තු කලාට පස්සේ එයාට ඊට වඩා එක අඩියක්වත් පස්සට යන්න බෑ. මිනිහට පස්සට යන්න බෑ වගේම අපටත් එක අඩියක් ඉස්සරහට යන්නත් බෑ. මුනට මූන. එතකොට වෙන්නේ හොඳින් හරි නරකින් හරි එතනදී ගනුදෙනුව බේරගන්න. 
 
ඒ ගනුදෙනුව ඉතිහාසය පුරා කොතැනකවත් හොදින් බේරුණේ නෑ. දැන් හිතන්නකෝ මේ වගේ විපක්ෂයක් එක්ක පුළුවන්ද ඒ වගේ ගනුදෙනුවක් බේර ගන්න. හිනාත් යනවා නේද?
 
ඒක තමයි රටේ රාළ ඒ වගේ ගනුදෙනුවකට කැමති නැත්තේ. නැත්නම් මේ පාලකයන් ඒ වගේ ගනුදෙනුවක් ඇතුළේ එළවලා දැමීම අසාධාරණ නෑ. 
 
කොහොම උනත් ඊට මෙහා මෙතනදී වෙන්න තව ගොඩක් දේවල් තියනවා. මේ දක්වා නං රටේ රාළ කියපු හැමදේම වුණා. ඒක නිසා තවත් වෙන්න පුළුවන් දෙයක් ගැන රටේ රාළ අනතුරු ඇඟවීමක් කරනවා. මේ ගැන රටේ රාළ කලින් අනතුරු අඟවලත් ඇති. ඒ බැසිල් පාර්ලිමේන්තු එන බව කියපු ලිපියෙන්. 
 
රටේ රාළ එහෙම කියද්දී පාර්ලිමේන්තු එන්න බැසිල්ගේ ඔළුවේ තියෙන්නත් නැතිව ඇති. මොකද රටේ රාළ ඒක කිව්වේ පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු නම් කරපු දවසේ. 20 සම්මත වෙන්න මාස ගානකට ඉස්සෙල්ලා. දැන් අපේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයේ වෛරසය සමාජගත වෙලා ඉවරයි. ඒකට දුන්න ගෝඨාභය - මහින්ද පළවෙනි මාත්‍රාවෙන් වැඩක් උනේ නෑ.
 
ඊට පස්සේ පසුගිය දවසවල බැසිල් කියන දෙවන මාත්‍රාවත් දුන්නා. ඒත් වැඩක් නෑ. වෛරසයේ පැතිරීම හා මරණ සංඛ්‍යාව ඉතා ඉහළයි.
 
දැන් ඔන්න ලබන සතියේ කබ්රාල් කියලා බූස්ටර් එකකුත් දෙන්න හදනවා. කබ්රාල්ට Buster කියනවාට වඩා Booster කියන එක හොඳයි. කොහොමත් ඊට වැඩිය බෙහෙතක් මේ ආණ්ඩුව තියනවා කියලා රටේ රාළ හිතන්නේ නෑ.
 
අනික ඔය බෙහෙත ලෙඩේට අහන්නෙත් නෑ. එහෙනම් මෙයාලා තල්ලු වෙන්න පුළුවන් තව තැනක් තියනවා. ඒක ප්‍රශ්නයට මෙයාලට තියෙන උත්තරය එක්ක ගැට ගැහිච්ච දෙයක්. 
 
  
ඇත්තටම ප්‍රශ්නයට මෙයාලට තියෙන්නේ එකම උත්තරයයි. ඒ තමයි රට විකිණීම. ඇමරිකාවට, ඉන්දියාවට, චීනයට රට විකුණන එක. ඒක බැලන්ස් කරලා බෙදලා දෙන එකට මෙයාලා කියන්නේ ආර්ථික කළමණාකරණය කියලා. හම්බවෙන සල්ලි කීය හරි බෙදාගන්න එකට මෙයාලා කියන්නේ මූල්‍ය කළමණාකරණය කියලා.
 
 
ඒක නිසා රට විකුණලා හරි බලය රැක ගැනීමේ උවමනාව මෙයාලට තියනවා. ඒක අර මංගලලා කළා වගේ ධනවාදය රැක ගැනීමට වඩා ගොඩාක් වෙනස් දෙයක්. මොකද ධනවාදය පෙල්ලන්න පුළුවන් එකෙක් දැන් මේ මහ පොළොව උඩ නෑ.
 
ඒක නිසා විකුණන්න කැමති අයගෙන් සමන්විත ජාතික ආණ්ඩුවක් හැදීමේ අවධානමක් මෙතන තියනවා. ඒකට අධිරාජ්‍යවාදීනුත් ආශීර්වාද කරයි. ලෝක බැංකුව, IMF එකත් එක පයින් කැමතිවෙයි. ඒක නිසා ජාතික ආණ්ඩු සංකල්පය ආයෙත් කොතනකින් හරි මතුවෙන්න පුළුවන්.
 
හැබැයි මෙයාලට ජාතික ආණ්ඩුව හදන්න සජිත් ඕනි නෑ. සජිත් යන එකකුත් නෑ. මොකද සජිත්ට දකින්න ඊට වඩා ලොකු හීන තියනවා. අර හන්තාන සිහිනේ වගෙ එකක්. හැබැයි සජිත්ගේ කණ්ඩායමක් ගන්න ඉඩ තියනවා. මොකද ජාතික ආණ්ඩුවට මෙයාලට ඕනි රනිල්. 
 
රනිල් නිකං ගන්නේ නැතිව රනිල් වටිනාකමක් එක්ක ගන්න මෙයාලා කැමතී. ඒකට හොදම දේ තමයි සජිත්ගේ පිරිසක් රනිල් ළගට ඇරලා පස්සේ රනිල් ගැනීම. 
 
සමහරු මහින්දයි, රනිලුයි මගුල් ගෙදරකදී හම්බ උනත් ඩීල් කියලා කියනවා. රටේ රාළට නං ඒවා ඩීල් නෙවෙයි. ඒවා මඟුල්. හැබැයි මඟුල් ඇතුළේ ඩීල් දාගන්න ඕනි වටපිටාව හැදෙන්න පුළුවන්. අනික ඉතින් ඩීල් දාන විදිහ අපිට පුළුවන්ද මහින්දටයි, රනිල්ටයි කියා දෙන්න. ඩීල් ගැන අපට තියෙන්නේ එයාලගෙන් ඉගෙන ගන්න.
 
ඒක නිසා අද ඔයාලා රටේ රාළ කියන මේ කතාව පිලිගන්න එකක් නෑ. හැබැයි ඔයාලට එකක් පිලිගන්න වෙනවා. මේ සංකීර්ණ දේශපාලන යථාර්ථය ඇතුළේ හැම කෙනාටම අඳුරේ අතපත ගානවා කියලා. එතකොට රනිල්ගේ එක මහින්දට අහුවෙන්නත් පුළුවන්. මහින්දගෙ එක රනිල්ට අහුවෙන්නත් පුළුවන්.
 
 කාට අහු උනත් දෙන්නගේ දෙක දෙන්න හොදට අඳුරනවා. බලය වෙනුවෙන් රනිල්ගේ එක නෙවෙයි ප්‍රභාකරන්ගේ එකත් අල්ලගත්ත අය තමයි රාජපක්ෂලා කියන්නේ. අපට පේන්නේ නැත්තේ ඒක අල්ල ගන්න විදහ විතරයි. මොකද මේක අදුරේ සිද්ධවෙන ගනු දෙනුවක්. අපිව ආර්ථික වශයෙන් අදුරේ තියලා එයාලා කරන ගනුදෙනුවක්.
 
රටේ රාළට හිතෙන්නේ ඒ ගනුදෙනුවත් බලන්න වාසනාව අපිට ලැබෙයි කියලා. ඊට පස්සේ තමයි මහජන අරගලයක් ගැන හිතන්න වෙන්නේ.
 
එතකන් ඉතින් ඔයවගේ කතා කියව කියව ඉන්න එක තමයි විපක්ෂ නායක සජිත්ටත් ඉතිරි වෙලා තියෙන්නේ.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
 
මීට
රටේ රාළ.
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 

THE LEADER TV 
 
අන්ඩර්වෙයා තහනම ද්‍රවශිලතාවය ද?
 
 
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්