ඉන්දියාව පසුගියදා පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේ 132,000ක ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් නැගූ Vande
Mataram නමැති ඉන්දියා නිදහස් ව්‍යාපාරයේ විප්ලවීය වැදගත්කමක් උසුලන ගීතයේ නාදය ක්‍රීඩාංගණය පුරා දෝංකාර වෙමින් තිබූ පරිසරයක.
ක්‍රිකට් ක්‍රීඩාව මේ රටවලට හඳුන්වා දුන්, ලොව යටත් විජිත පිහිටුවූ බ්‍රිතාන්‍ය විසින් ඔවුන්ගේ පාලන සමයේදී මේ ගීතය තහනම් කර තිබුනා.
ඉන්දියානුවන් දැන් මේ ගීතය ඔවුන්ගේ ජාතික ගීය ලෙසින් තෝරාගෙන තිබියදී ඒ යටත් විජිත යුගය විසින් සිදු කරන ලද දරුණු තුවාලවල පැල්ලම් තවමත් ඉතිරිව තිබෙන අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර දශක ගණනාවක දේශපාලනික බෙදීමක් ද නිර්මාණය කර තිබෙනවා.
ලෝකය පුරා මිලියන ගණනින් නරඹන ලොව දරුණුතම ක්‍රීඩා ප්‍රතිවාදිත්වය ලෙසින් හැඳින්වෙන ඉන්දු - පාකිස්තාන එදිරිවාදිකමට මුල්වී තිබෙන්නේ මේ ඉතිහාසය යි. එය ඉංග්‍රීසින්ගෙන් නිදහස් වීමේ සටනේදී මේ රටවල් දෙකේ වෙන් වීම දක්වා ඈතට දිවෙනවා.
අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ගමන් කරමින් සිටි එක් ඉන්දියානු ක්‍රිකට් ලෝලියෙක් තමා නරඹන්නට යන තරගය හඳුන්වනු ලැබුවේ ‘යුද්ධයක්’ දැක බලා ගන්නට යන ලෙසින්.
“එය වැඩියෙන්ම ඉන්දියාව දෙකට බෙදීම සහ දේශප්‍රේමය පිළිබඳවයි. මේ නිසා ඉන්දු පාකිස්තාන තරගය හරියට යුද්ධයක් වගෙයි.”
“අද තරගය ලොකු සිදුවීමක්. එය සිද්ධ වෙන්නේ ඉන්දියාවේ. මේ ලැබුනු අවස්ථාව අපට මහහරින්න බැහැ. මේක නරඹන්න ම ඕන ” යනුවෙන් ඔහු පැවසුවේ ඉතාමත් උනන්දුවෙන්.
ඇත්ත යුද්ධ තුනක පැටලී ඇති ඉන්දියාව සහ පාකිස්තානය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වේදිකාවේ එකිනෙකා සමග තරග වදින්නේ වෙනත් රටවල දී. දෙපිල අවසන් වතාවට ඉන්දියා භූමියේ තරග වැදුනේ මීට හත් වසරකට පෙර.
එබැවින්, ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව දරන බැවින් මේ තරගය ඉන්දියාවේ පවත්වන ලෙසට රටවල් දෙක ට බල කෙරුනා. ඒ අනුව මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන උණුසුම් තරගයක් බවට පත්වූ නිසා එය නැරඹීමට ලොව නන් දෙසින් ක්‍රිකට් ලෝලීන් පැමිණියා.
ගුජරාට් බටහිර ප්‍රාන්තයේ අහමදාබාද් හි හෝටල ගාස්තු ඉතා ඉහළ ගොස් තිබුණු අතර ක්‍රීඩා මණ්ඩපයේ කුටිවල ප්‍රවේශ පත් මිල අමෙරිකානු ඩොලර් 300,000 තරම් වැඩි මුදලකට නැවත අලෙවි කෙරුනා.
මිල ඉහළ යන හෝටල් නවාතැන්වලට ගෙවනවා වෙනුවට රැයකට නතර වීම පිණිස ක්‍රීඩා ලෝලීන් ‘චෙක්-අප්’ සඳහා රෝහල්වලට ඇතුළු වීම හේතුවෙන් දේශීය රෝහල්වල රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළා.
ඉන්දියාව සහ පාකිස්තානයේ වෙසෙන බොහෝ මිනිසුන්ට දේශසීමාවෙන් එහා යාබද පලාත්වල පවුල් සිටිනවා. නමුත් දේශපාලනික අවිනිශ්චිතභාවයේ තරම කොතරම් වැඩිද කිවතොත් මෙහි වැසියන්ට දේශසීමාව හරහා යාමට අවසර ලැබෙන්නේ විශේෂිත හේතුන් මත පමණයි.
ක්‍රීඩකයන්ට ඉන්දියා වීසා ලබා ගැනීම අපහසු වී තිබෙන බවත් ඔවුන්ට මීට සති තුනකට පෙර වීසා ලැබුනේත් ඒ ප්‍රමාදය පිළිබඳව ජගත් ක්‍රිකට් කවුන්සලයට පැමිණිලි කිරීමෙන් පසුව පමණක් බවත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය මාසයේදී ප්‍රකාශ කළා.
ඉන්දු පකිස්තාන් දේශසීමා
මේ හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ ක්‍රියාවලියට බාධා පැමිණි බව එම මණ්ඩලය කියා සිටියා.
තරගාවලියට පෙර වීසා බලපත්‍ර අනුමත කළ යුතු බවට ජගත් ක්‍රිකට් කවුන්සලය අණ කර තිබුනද පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් සහ තරගය වාර්තා කිරීම සඳහා වීසා අයදුම් කළ පාකිස්තාන මාධ්‍යවේදීන් වැඩි දෙනෙකුට ඒවා නොලැබුනු බවට වාර්තා වෙනවා.
මුම්බායි ප්‍රහාරය 2008
මේ ජාතීන් දෙක අතර බෙදීම නිදහස ලැබීමෙන් පසුව විටින් විට පෙනෙන්නට තිබුනද දේශපාලන සබඳතා විශේෂයෙන් පළුදු වූයේ පුද්ගලයින් 160 දෙනෙකුට මරු කැඳවමින් පාකිස්තාන සටන්කාමීන් විසින් 2008 වසරේ දියත් කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව.
මතභේදයට ලක්ව තිබෙන ජම්මු සහ කාශ්මිර් කලාප සම්බන්ධයෙන් මේ දෙරට තවමත් සටන් කරමින් සිටින අතර වර්තමානයේ ප්‍රචණ්ඩත්වය හා හමුදාවන්ගේ ගැවසීම සිදුවන්නේ ඒ නිසාවෙන්.
කළින් ස්වාධීනව තිබුනු මේ කලාපයේ වැඩි භූමි ප්‍රමාණයක් නරේන්ද්‍ර මෝදි රජය විසින් අත්පත් කර ගැනීම පාකිස්තානය තදබල ලෙස හෙළා දැක තිබෙනවා.
සංකීර්ණ වූ මේ නොඉවසුම් ගතිය හේතුවෙන් ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකා සමග ඔවුන්ගේ රටක ක්‍රීඩා කිරීම දැන් කලාතුරකින් සිදුවන්නක් බවට පත්ව තිබෙනවා.
කඩින් කඩ ප්‍රදර්ශනය වන දෙරට අතර සබඳතාව අතරතුර ක්‍රිකට් හරහා මේ රටවල් දෙක එක්සත් වූ අවස්ථාවන්ද තිබෙනවා.
ජනාධිපති මොහමඩ් සියා උල්-හක් ඉන්දීය ක්‍රිකට් පිළ හමුව
ඉන්දියා සහ පාකිස්තාන හමුදා 1987 වසරේදී දේශසීමාවේ යුද වැදී සිටි අවස්ථාවේ පාකිස්තාන ජනාධිපති මොහමඩ් සියා උල්-හක් දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් නැරඹීම පිණිස ජායිපූර්වලට පැමිණියා.
එය “ක්‍රිකට් රාජෝපාය” ලෙසින් හැඳින්වූ ඔහු එය එවකට ඉන්දියාවේ අගමැතිව සිටි රජිව් ගාන්ධි සමග සාකච්ඡාවක් සඳහා මං විවර කර ගැනීමට උපයෝගී කර ගත්තා.
1990 ගණන්වල ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකයින් ලෙසින් කටයුතු කිරීමට පවා ඉන්දියාව සහ පාකිස්තානය එක්වූ අතර 2003 සිට 2008 අතර කාලයේදී ඒ ඒ රටේ ටෙස්ට් තරගමාලා දෙකක් ද ක්‍රීඩා කළා.
එවැනි ගැළපීමක් අද සිතා ගත නොහැකි දෙයක් බවට පත්ව තිබෙන්නේ නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැතිවරයා හා ඔහුගේ දේශාභිමාන රජය දේශපාලන ලකුණු ලබා ගැනීම සඳහා පාකිස්තානය පාවිච්චි කරන බැවින්.
එහෙත් පසුගිය මාසයේදී ඉන්දියානු හමුදා භටයින් සිවු දෙනෙකු කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරයකින් මරුමුවට පත්වීම හේතුවෙන් මේ ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම වර්ජනය කරන ලෙසට මෝදිගේ ආධාරකරුවන් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා.
නරේන්ද්‍ර මෝදි
කෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සලය තුළ විශාල බලපෑමක් ඇති කිරීමට සමත් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සම්බන්ධකම් පවත්වන මෝදි රජය මේ තරගය පැවැත්වීමට වගබලා ගත්තා.
ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයට පැමිණීමේදී ඔවුන් ගමන් කළේ මෝදිගේ මුහුණ මීටර් කිහිපයෙන් කිහිපයට ප්‍රදර්ශනය කෙරෙන පුවරු දෙපසින් දිස්වූ මාර්ගවල. ඔවුන් ඊළඟට ඇතුළු වුනේ ලෝකයේ දෙවැනියට විශාල ක්‍රීඩාංගණයට.
ඉන්දියාවේ සතර දිග්භාගයෙන් හා ලෝකය වටෙන් ක්‍රිකට් ලෝලීන් තරගය සඳහා මෝදිගේ උපන් ප්‍රාන්තය වන ගුජරාට්වලට ඊයේ පැමිණියේ තීරණාත්මක ජාතික මැතිවරණයක් ලබන වසරට නියමිතව තිබියදී.
විශේෂයෙන් පාකිස්තානය තරගය දිනුවොත් ඇති විය හැකි වාර්ගික ප්‍රචණ්ඩත්වයකදී ක්‍රීඩාංගණයට ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට බළධාරීන්ට කෙරුණු තර්ජනයක් හේතුවෙන් 11,000කට වැඩි ආරක්ෂකයින් මේ තරගය වෙනුවෙන් යොදවා තිබුනා.
අවසානයේ ඉන්දියාව පරාජය කිරීමට පාකිස්තානය අසමත් වෙමින් තරගය ආරක්ෂිතව පැවැත්වුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී