ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් යොමුකර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බව එමගින් පෙන්වාදී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බවද එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙතද යොමුකර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඉල්ලා අස්වන ලෙස සමාජයෙන් පීඩනයක් එල්ලවෙමින් පවතින පසුබිමක ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය වෙත පදනම් විරහිත සහ සාවද්‍ය චෝදනා එල්ල කරන බව ද අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙයි.
දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඉල්ලා අස්වෙන්න !- ක්‍රීඩා ඇමතිගෙන් නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ නොවැම්බර් 03 විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේය.
මෙම පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට හට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතුව බවත් අමාත්‍යවරයාගේ මතය යි.
ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලදාරීන්ට තවදුරටත් බලයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්ණ කරන ක්‍රීඩා ඇමතිවරයා, දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස අවධාරනය කර සිටියි.
ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට ඇමතිගෙන් ලිපියක්
මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රටවල් වල පරිපාලනයන් වෙත ලිපියක් යොමුකර ඈත.
සමාජ මාධ්‍යවලින් බරපතල විරෝධයක්
ශ්‍රී ලංකා කණ්ඩායම ලබමින් සිටින අන්ත පරාජයන් සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ද එල්ල වී ඇත්තේ බරපතල විරෝධයකි. ක්‍රීඩා ලෝලීන්ගේ එම විරෝධය, අරගලකාරී උද්ඝෝෂණයක් දක්වා ගෙන යාමට ඇතැම් සංවිධානාත්මක පිරිස් පසුගිය දින කිහිපයේ දැරූ උත්සාහයන් අසාර්ථක විය.
කෙසේවුවද සමාජ මාධ්‍ය හරහා ක්‍රිකට් පරාජයන් සම්බන්ධයෙන් බරපතල විරෝධයක් මතුව තිබේ. පහත දැක්වෙන්නේ එවැනි සමාජ මාධ්‍ය පොස්ටු කිහිපයකි.