ලෝක කුසලානය හිමිකර ගෙන සිටින එංගලන්තය හෝ ගෝලීය ක්‍රිකට් දැවැන්තයින් වන
ඉන්දියාවේ සහභාගිත්වය වෙනුවට කලාතුරෙකින් කෙරෙන උතුරු අමෙරිකානු තරගයකින් 2024 ලෝක කුසලාන T20 තරගාවලිය ආරම්භ කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ කුඩා කණ්ඩායම් දෙකක් වන අමෙරිකාව හා කැනඩාව අතර.
මේ විස්මිත තීරණයට ICCය එළඹ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගය පවත්වා තිබෙන්නේ 1844 වසරේ අමෙරිකාවේ මෑන්හැටන් හිදී අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර යන සාධකය කෙරෙහි අවධානය යොමු කරමින්. එම තරගය ක්‍රීඩා කර ඇත්තේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න් හි පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට වසර 33කට පෙර. ‘අළු බඳුන’ – The Ashes - ටෙස්ට් තරගමාලාව උපත ලැබුවේ මෙල්බර්න් තරගයෙන් වසර පහකට පසුව.
අමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කැනේඩියානු පළාත අතර තරගය ලෙසින් හඳුන්වන ලද කළින් පැවති ඉනිම දෙකකින් යුත් තුන් දින තරගය ආගන්තුක කැනඩා කණ්ඩායම ලකුණු 23කින් ජයග්‍රහණය කර තිබෙනවා.
මේ ෙඑතිහාසික සම්බන්ධතාවට අමතරව 2024 තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග සමසත්කාරකත්වය දරන අමෙරිකාවෙන් ආරම්භ කිරීමටද ICCය බලාපොරොත්තු වෙනවා.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් විස්සෙන් දහයක් ඔවුන්ගේ පළමු තරගය ටෙක්සාස්, ෆ්ලොරිඩා සහ නිව්යෝක් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර අනෙක් කණ්ඩායම් දහය ඔවුන්ගේ තරග ආරම්භ කරන්නේ කැරිබියන් දූපත්වලින්. ‘සුපිරි 8’ වටය, අවසන් පූර්ව හා අවසාන යන තරගාවලියේ පසු අදියරේ සියලුම තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල.
එංගලන්ත කණ්ඩායමේ මූලික තරග සියල්ලම කැරිබියන් සංචාරක ඉසව් වන ඇන්ටීගා, සාන්ත ලුසියා හා තරගාවලියේ අවසාන මහා තරගය ක්‍රීඩා කෙරෙන බාබෙඩෝස් හි පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දියා කණ්ඩායමේ ප්‍රධානතම තරග තුනක් අමෙරිකාවේ පැවැත්වෙන අතර තරගාවලියේ ලොකුම තරගය වන ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ මෑන්හැටන් සිට සැතපුම් 25ක් දුරින් පිහිටි ලෝන්ග් අයිලන්ඩ් හි ඉදිකිරීමට නියමිත තාවකාලික ක්‍රීඩාංගණයක.
ICCයේ විකාශන අයිතීන් හිමි ‘ස්ටාර් ස්පෝට්ස්’ ඉල්ලීමකට අනුව, ඉන්දියාවේ සිටින ක්‍රිකට් ලෝලී නරඹන්නන් වැඩිම පිරිසක් වෙත ළඟා වීමට හැකිවන පරිදි ඉන්දියාව සහභාගි වන තරග දේශීය වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට සැලසුම් කරනු ඇතැයි පැවසෙනවා.
ජූනි 14 සිට ජූනි 30 දක්වා අමෙරිකාවේ හා කැරිබියන් හි පැවැත්වෙන ලෝක T20 තරගාවලියේ තරග වැඩසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මේ සතිය අග නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී