කිලෝ මීටර් 10ක දුරක් මිනිත්තු 29කට අඩු කාලයකින් ධාවනය කළ ලොව පළමු කාන්තාව බවට කෙන්යාවේ ඇග්නස් ජෙටික් (Agnes Ngetich) පත්ව සිටිනවා.
කෙන්යානු දුර දිවීමේ ශූරියක වන ඇග්නස් ජෙටික් කිලෝ මීටර් 10 දුර දිවීමේ ලෝක වාර්තාව ඊයේ ස්පාඤ්ඤයේ පැවති Valencia Ibercaja මාර්ග ධාවන තරගයේදී බිඳ දැමුවේ කළින් තිබූ වාර්තාවට වඩා තත්පර 28ක් අඩුවෙන් තරගය අවසන් කරමින්.
මිනිත්තු 28යි තත්පර 46ක කාලයක් සටහන් කළ ඇය මකා දැමුවේ මීට දෙවසරකට පෙර ඉතියෝපියාවේ Yalemzerf Yehualaw තබා තිබූ මිශ්‍ර ධාවන තරග ලෝක වාර්තාව.
මේ ධාවනයේදී ඇග්නස් ජෙටික් මීට සති දෙකකට ඉහත බාසිලෝනා හිදී කෙන්යාවේ ම Beatrice Chebet තබා තිබූ කිලෝ මීටර් 5 ලෝක වාර්තාව ද සම කළා.
කිලෝ මීටර් 10 ඉසව්වේ තමා පිහිටුවූ ලෝක වාර්තාව ගැන කතා කරමින් ජෙටික් මෙසේ පැවසුවා: “මට හරිම සතුටුයි. මම මේ ලෝක වාර්තාව බලාපොරොත්තු වුනේ නැහැ. මම මේ තරගයට ආවේ මගේ කාලය අඩුම ගානේ මිනිත්තු 29:14 වැනි තත්ත්වයක් දක්වා දියුණු කර ගැනීමේ අරමුණින්. නමුත් මම මිනිත්තු 28ක ලෝක වාර්තාගත කාලයකින් දුවපු එක ගැන මට හරිම සන්තෝෂයි. මම මේක බලාපොරොත්තු වුනේ ම නැහැ.
ඇග්නස් ජෙටික් සටහන් කළ කිලෝ මීටර් 10 කාලය කාන්තා මීටර් 10,000 ඉසව්වේ ඉතියෝපියාවේ Letesenbet Gidey තබා තිබූ මිනිත්තු 29යි තත්පර 01.03 ලෝක වාර්තාව ද අභිබවා යාම විශේෂත්වයක්.
22 හැවිරිදි ඇග්නස් ජෙටික් 2023 ලෝක රට හරහා දිවීමේ ශූරතාවලියේදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වුනා. ඒ, එම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හා කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම වශයෙන්.
මීට කළින් මේ කෙන්යානු දුර දිවීමේ ශූරිය පසුගිය සැප්තැම්බරයේ පැවති කාන්තාවන්ට පමණක් සීමා වූ කිලෝ මීටර් 10 මාර්ග ධාවන තරගයේදී මිනිත්තු 29:24ක ලෝක වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා. රුමේනියාවේ පැවති මේ තරගයේදී ජෙටික් විසින් මකා දමනු ලැබුවේ 2021 වසරේ ජර්මනියේ පැවති තරගයේදී කෙන්යාවේ Agnes Tirop තබා තිබූ මිනිත්තු 30:01ක වාර්තාව.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී