ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනා ගත් ඉතිහාසයේ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ 43 හැවිරිදි රොහාන් බෝපන්නා (Rohan Bopanna) ඊයේ සමත් වුනා.
ඔහු මේ කිරුළ හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් (Matthew Ebden) සමග ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් පිරිමි යුගල තරගාවලිය ජයග්‍රහණය කරමින්.
මේ යුගලය වෙතින් අවසාන තරගයේදී 7-6(0) 7-5ක පරාජයක් ලැබුවේ සිමෝනේ බොලැල්ලි (Simone Bolelli) සහ අන්ද්‍රියා වවස්සෝරි (Andrea Vavassori) යන ඉතාලි ජාතිකයන්.
බෝපන්නා සහ එබ්ඩන් වෙන් වෙන් වශයෙන් මීට පෙර වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනා ගෙන තිබෙනවා. බෝපන්නා 2017 වසරේදී ප්‍රංශ විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගත් අතර එබ්ඩන් 2013 වසරේ ඔස්ට්‍රේලියානු විවෘත මිශ්‍ර යුගල සහ 2022 විම්බ්ල්ඩන් පිරිමි යුගල ශූරතාව හිමිකර ගත්තා. නමුත් පසුගිය වසරේ අමෙරිකානු විවෘත අවසාන මහා තරගයෙන් පරාජය වීමෙන් පසුව බෝපන්නා හා එබ්ඩන් එක්ව ලබා ගත් පළමු ශූරතාව වන්නේ මේ වසරේ ඔස්ට්‍රේලියානු විවෘත යුගල කිරුළ.
බෝපන්නා සෙනසුරාදා මේ ශූරතාව හිමිකර ගත්තේ පිරිමි යුගල ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනා ගැනීමට 61 වතාවක් උත්සාහ කිරීමෙන් පසුව. මෙය විවෘත ටෙනිස් යුගයේ නව වාර්තාවක් ද වන්නේ මේ තරගාවලියෙන් පසුව රොහාන් බෝපන්නා ඉතිහාසයේ ලොව වැඩියෙන්ම වයස්ගත අංක 1 ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමට නියමිතව සිටින බැවින්.
“ඇත්තටම මේ පුද්ගලයාට වයස කියන්නේ අංකයක්වත් නෙවෙයි” එබ්ඩන් පවසනවා. “ඔහු හදවතින් තරුණයි, ඔහු ශූරයෙක්, ඔහු රණශූරයෙක්. පහුගිය අවුරුද්ද පුරාම එයා මගේ පසෙකින් සිට ඉතාම වෙහෙසකාරීව සටන් කර තියෙනවා.”
බෝපන්නා ඔහුගේ ක්‍රීඩා දිවියේ පසුකාලීන සාර්ථකත්වයේ වැඩි කොටසකට හේතුව ලෙස දක්වන්නේ ඔහු කොවිඩ් වසංගතය පැවති කාලයේ ආරම්භ කළ Lyenger නමැති යෝග ව්‍යායාම. මේ යෝග අභ්‍යාස ක්‍රමයෙන් තමාගේ පාද සහ ශරීරය ශක්තිමත් වන අතර ටෙනිස් පිටියේ තම අවධානය යොමු කිරීම ද දියුණු වන බව ඔහු කියනවා. තමාගේ දණිස්වල කාටිලේජය නැති බව ඔහු පවසන්නේ ඒවා සම්පූර්ණයෙන්ම ගෙවී ගොස් ඇතැයි සඳහන් කරමින්.
“මේ යෝග ව්‍යායාම ක්‍රමය හැමදාම ඉන්දියාවේ තිබුනා. නමුත් මම ඒක උත්සාහ කර බැලුවේ නැහැ. එය මට එතරම් ම විනෝදයක් ගෙන දෙන ක්‍රියාවක් නෙවෙයි කියලයි මම හිතුවේ” බෝපන්නා ප්‍රකාශ කරනවා.
නමුත් තම නිවස අසල මේ ව්‍යායාම් පවත්වන ස්ථානයක් තිබුනු බැවින් එහිදී ඔහු Lyenger යෝග ව්‍යායාමය උත්සාහ කර තිබෙන්නේ සතියකට සිවු වතාවක් මිනිත්තු 90ක කාලයක් එය පුහුණු වෙමින්.
දැන් ම ම ටෙනිස් තරග පිටියෙන් ඉවත් වීමට බෝපන්නාගේ අදහසක් නැත්තේ විශේෂයෙන් ඔහු දැන් යෙදී සිටින්නේ ඔහුගේ ජීවිතයේ හොඳම ටෙනිස් ක්‍රීඩාව කරන අවධියක බවට ඔහු අවධාරණය කරන බැවින්.
“මම ජිම් යන එක නවත්තලා තියෙනවා. මම දැන් කරන්නේ මගේ ශරීරය වෙනුවෙන් විශේෂ වූ අභ්‍යාස. මම ගොඩක් යෝග කරනවා. උදේ ට මම දවස පටන් ගන්නේ භාවනා කරමින්. ඇත්තටම මෙය මට සන්සුන්ව හා නැවුම්ව සිටීමට උපකාරයක් වී තිබෙනවා” යැයි බෝපන්නා පවසනවා.
වයස අවුරුදු 11දී ටෙනිස් ක්‍රීඩාවට අවතීර්ණ වී එය තමාගේ ක්‍රීඩා දිවිය ලෙස තෝරා ගැනීමට 19 වැනි වියේදී තීරණය කිරීමෙන් පසුව බෝපන්නා 2003 වසරේදී වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙකු බවට පත්වුනා. ඔහුගේ පළමු වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමයේ - ATP - ශූරතාව බෝපන්නා හිමිකර ගත්තේ 2008 වසරේදී. ඒ, අමෙරිකාවේ එරික් බූටරෑක් (Eric Butorac) සමග ලොස් ඇන්ජලීස් විවෘත කිරුළ දිනා ගනිමින්.
සිය ක්‍රීඩා දිවියේ හොඳම අවස්ථාව ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනා ගත් මොහොත බවට සැකයක් නැතැයි මේ ඉන්දියානු ජාතික දිරිය ක්‍රීඩකයා ප්‍රකාශ කරනවා.
“මෙතනට එන්න මම අවුරුදු ගණනාවක් තිස්සේ නැවත නැවත උත්සාහ කළා. ඒ කඩුල්ල පැනීම ඉතාම දුෂ්කර වුනා” ඔහු කියනවා.
“මම මගේ හොඳම ටෙනිස් ක්‍රීඩාවේ නිරත වෙමින් එයින් විනෝදයක් ලබන තාක් කල්, මේ ක්‍රීඩාව නතර කිරීමේ කිසිම හේතුවක් මට මේ වෙලාවේ පේන්නේ නැහැ!” යැයි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනා ගත් එදා මෙදා තුර වයස්ගතම ක්‍රීඩකයා වශයෙන් ඉතිහාසගත වූ රොහාන් බෝපන්නා පවසනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී