පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් සේවයේ යොදවන පොලිස් නිලධාරීන්ට බෝනස් මුදලක් ලබා දීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.
යුරෝ 1,900 (ඩොලර් 2,050) දක්වා වන බෝනස් ලබා දෙන බවට ප්‍රංශ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති ජෙහාල්ඩ් ඩාමනා (Gerald Darmanin) ප්‍රකාශ කර තිබෙන්නේ පොලිස් සංගම් විසින් දියත් කර තිබෙන විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින්.
මේ වසරේ ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ඔලිම්පික් උළෙල හා ඉන්පසුව එළඹෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පවතින කාලය තුළ සේවය කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් අසහනයට පත්ව සිටින පොලිස් සංගම් ග්‍රීෂ්ම සෘතුවේදී වැඩි පඩි සහ විවේක නිවාඩු හා ළමා සත්කාරය සහතික කරන ලෙස ඉල්ලමින් විරෝධතා සහ වැඩවර්ජන මේ මාසයේ පවත්වා තිබෙනවා.
ඔලිම්පික් සමය තුළ සිදුවන දැවැන්ත ආරක්ෂක මෙහෙයුමේදී පොලිස් නිලධාරීන්, හමුදා භටයින් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දස දහස් ගණනින් සේවයේ යෙදවීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.
ඔවුන්ගේ සේවයට හිලව් කිරීමක් ලෙස ඔලිම්පික් වෙනුවෙන් තමන්ගේ ගිම්හාන නිවාඩුව සීමා කරන සේවකයන් වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබෙන බෝනස් මුදල යුරෝ 1,000 (ඩොලර් 1,080)ක්. මේ දිරිදීමනාව ඔවුන් ඔලිම්පික් ඉසව්වක් පැවැත්වෙන ප්‍රදේශයක සේවය කළහොත් යුරෝ 1,600 (ඩොලර් 1,730) දක්වා වැඩිවෙනවා. පැරිස් කලාපය, පැරිස් ගුවන්තොටුපළ දේශසීමා පොලිසිය හා ජාත්‍යන්තර ප්‍රවාහන සේවාවන්හි සේවය සඳහා යොදවන අයට යුරෝ 300 (ඩොලර් 320)ක වැඩිපුර මුදලක් සමග යුරෝ 1,900ක් ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.
ජූලි 24 සිට අගෝස්තු 11 දක්වා කාලය තුළ සේවක මණ්ඩලය සියයට සියයකින් ම සේවයේ යොදවන ලෙසට ඩාමනා දන්වා තිබෙනවා. නමුත් මේ කාලයට පිටින් වැඩ කරන සෑම සේවකයෙකු ට ම ජූනි 15 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ අවම වශයෙන් සති දෙකක නිවාඩුවක් සහතික වශයෙන් ලබා දෙන බවට ජෙහාල්ඩ් ඩාමනා පොරොන්දුවක් දී තිබෙනවා.
මීට අමතරව, ඔලිම්පික් සේවයේ යෙදෙන සේවකයන්ගේ දරුවන් රැකබලා ගැනීම පිණිස කටයුතු සූදානම් කරන ලෙසට දේශීය මහජන සේවා ආයතනවලට දන්වා තිබෙනවා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල හමුවේ තිබෙන ආරක්ෂක අභියෝගය වැඩි අවධානයකට යොමුවුනේ දෙසැම්බර් 2 වැනිදා අයිෆල් කුළුණ අසලදී විදෙස් සංචාරකයෙක් පිහිඇනුමකින් මරණයට පත්වීම හේතුවෙන්. මේ නිසා, 2015 වසරේ නොවැම්බර් 13 වැනිදා ඉස්ලාමීය අන්තවාදීන් පැරිසියේ Bataclan රැඟුම් ශාලාව ආක්‍රමණය කර පුද්ගලයන් 130 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් නැවත මතකයට නංවා දී තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී