පාවහන් නැතිව දුවමින් මීටර් 5000 හා මීටර් 10,000 ආසියානු ක්‍රීඩා රන් පදක්කම් දෙකක් දිනා ගෙන
ශ්‍රී ලංකාව ට ඉමහත් කීර්තියක් ලබා දුන් එදා මෙදා තුර මෙරටින් බිහිවූ ශ්‍රේෂ්ඨතම දුර දිවීමේ ශූරයා වන එස්.එල්.බී.රෝසාගේ 80 වැනි උපන්දිනය අද යි.

දුර දිවීමේ ශ්‍රී ලංකාවේ පුරාවෘත්තය වන රෝසා මේ ද්විත්ව හපන්කම ප්‍රදර්ශනය කළේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 1970 ආසියානු ක්‍රීඩා උළෙලේ. මීටර් 10,000 ඉසව්වේ ඔහුගේ ජයග්‍රහණය ආසියානු ක්‍රීඩා උළෙලේ වාර්තාවක් ද වෙනවා. මීට අමතරව, ආසියානු ක්‍රීඩාවල දුර ධාවනයේදී කුමන හෝ පදක්කමක් දිනා ගත් එක ම ශ්‍රී ලාංකිකයා බවට ද රෝසා පත්ව සිටිනවා.

ඊට පෙර, 1966 වසරේ බැංකොක් හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔහු මීටර් 5000 හා මීටර් 10,000 ඉසව් දෙකේ ම ඔහු ලෝකඩ පදක්කම් ලබා ගත්තා.
 
rosa olympic
ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ බිහිවූ අසමසම දුර ධාවකයා වන සෙල්ලප්පුලියගේ ලූෂන් බෙනඩික්ට් රෝසා මහනුවර අම්පිටියේදී උපත ලැබුවේ 1944 වසරේ පෙබරවාරි 11 වැනිදා. ඔහු සිය මලල ක්‍රීඩා දිවිය ඇරඹුවේ අම්පිටිය රෝමානු කතෝලික පාසලෙන්. පසුව යුද හමුදාවට බැඳුනු ඔහු මලල ක්‍රීඩා ගමන් මගේ නොනැවතී ඉදිරියට ගියේ ලක්මෑණියගේ ගෙල පදක්කම්වලින් සරසමින්.

ජර්මනියේ මියුනික් නුවර පැවති 1972 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය රෝසා ට හිමිවූවත් 1976 වසරේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවති ඔලිම්පික් උළෙලේ තරග කිරීමට ඔහුට නොහැකි වූයේ ශ්‍රී ලංකාව එම ඔලිම්පික් උළෙල වර්ජනය කළ නිසාවෙන්. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක් මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කළේ නවසිලන්තයේ සහභාගිත්වය තහනම් කිරීම ජගත් ඔලිම්පික් කමිටුව විසින් ප්‍රතික්ෂේ කිරීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ පැවති වර්ණ භේද ප්‍රතිපත්ති හේතුවෙන් එක්සත් ජාතීන් විසින් එරට ට ක්‍රීඩා තහනමක් පනවා තිබියදී නවසිලන්ත ජාතික රග්බි කණ්ඩායම එම වසර මුල දකුණු අප්‍රිකාවේ සංචාරය කර තිබූ නිසා ඔවුන්ට ඔලිම්පික් තහනම පනවන ලෙසට මේ රටවල් ඉල්ලා තිබුනා. මෙයින් වැඩි ප්‍රමාණයක් අප්‍රිකානු රටවල්.
Rosa 100
රෝසා 1968 වසරේ ද සිලෝන් ඔලිම්පික් සංචිතයට ඇතුළත්ව සිටියත් මුදල් අසීරුතාවන් හේතුවෙන් එම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට ලංකාව ඉදිරිපත් කළේ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණ යි. රෝසා ඊට ඇතුළත් වුනේ නැහැ.

මීටර් 5000 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට 1966 සිට 1990 දක්වා වසර 24ක් තිස්සේ හිමිකම් කියූ රෝසා ශ්‍රී ලංකා මැරතන් වාර්තාව 1975 සිට 2013 දක්වා වසර 38ක් හිමිකර ගෙන සිටියා. මීටර් 10,000 ඉසව්වේ රෝසාගේ ශ්‍රී ලංකා වාර්තාව වසර 58ක් නොමැකී අදටත් පවතින්නේ 1966 වසරේ සිට.
1975 rosa

1974 බොස්ටන් මැරතන් තරගයේ සිවුවැනි ස්ථායට එස්.එල්.බී.රෝසා පත්වූයේ ලෝකයේ පළමු පෙල මැරතන් තරගයක ශ්‍රී ලාංකිකයෙකු මෙතෙක් ලබා ගත් ඉහළ ම ස්ථානය වාර්තා කරමින්.
 
zcvafww
වසර පනහක් පමණ එක්සත් ජනපදයේ පදිංචිව සිටි ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර රෝසා ට දීර්ඝායුෂ පතන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සමග THE LEADERත් එක් වෙනවා.

ආදරණීය රෝසා....ඔබට සුභ උපන්දිනයක්!

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

රෝසාගේ ජාතික වාර්තා:

rosa recordsමීටර් 5000 - බැංකොක්හිදී - කාලය 14:56.1  (දිනය 1966.12.11)
                   කොළඹදී - 14:52.6  (1967.02.22)
                   කොළඹදී - 14:27.4  (1967.04.08)
                   මැලේසියාවේදී - 14:22.0  (1968.08.14)
                   කොළඹදී  - 14:26.0  (1970.10.06)

මීටර් 10,000 - කොළඹදී - 31:26.6  (1966.08.21)
                      කොළඹදී - 30:45.2  (1967.04.07)
                      බැංකොක්හිදී - 29:55.6  (1970.12.14)
                      අමෙරිකාවේදී - 29:18.0  (1975.05.13)

මැරතන් - ජපානයේදී - 2:14:31  (1975.12.07)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්