ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරු, කළමනාකරු, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති හා වැඩබලන ලේකම් සමග...

 

ලෝක මල්ලවපොර සංගමයේ පුහුණු කඳවුරක් හා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියන් ද්විත්වයකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අද කිරිගිස්තානය බලා පිටත්ව යනවා.

බිශෙක් නුවර පැවැත්වෙන මේ ඉසව්වලදී පළමුව පුහුණු කඳවුරට සහභාගි වන ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්පසු පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ උත්සාහයක යෙදෙමින් ජ්‍යෙෂ්ඨ ආසියානු මල්ලවපොර ශූරතාවලියටත්, ආසියානු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියටත් සහභාගි වීමටයි නියමිත.

මේ පුහුණු කඳවුර හා තරගාවලියන් දෙකට සහභාගි වන ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අට දෙනෙකුගෙන් සමන්විතයි. ක්‍රීඩකයින් සිවු දෙනෙක්, ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, පුහුණුකරු හා කළමනාකරු ඊට ඇතුළත්.

 

wrestling team 2
ඊ.එම්.ජී.කතුරංගන කිලෝග්‍රෑම් 57 බර පංතියේත්, එච්.පී.ටී.පී.චන්ද්‍රසේකර කිග්‍රෑ 61 බර පංතියේත්, සී.ඩී. ප්‍රනාන්දු කිග්‍රෑ 65 බර පංතියේත්, ඩබ්ලිව්.එම්.එම්.එල්. විජේසූරිය කිග්‍රෑ 74 බර පංතියේත් තරග වදින ක්‍රීඩකයන් වන අතර ක්‍රීඩිකාවන් වන්නේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු (කිග්‍රෑ 53) හා එච්.පී.එන්.ඩබ්ලිව්. ධර්මදාස (කිග්‍රෑ 50). 

කණ්ඩායමේ පුහුණුකරු ලෙස සංචාරයට එක්වන්නේ සුරංග කුමාර යි. ඔහු, 2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් ශ්‍රී ලංකාව ට ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසාගේ ද පුහුණුකරු යි. කළමනාකරු ලෙස කටයුතු කරන්නේ නුවන් චානක ප්‍රනාන්දු.

ආසියානු ශ්‍රේණිගත කිරීමේ ඉහළ ස්ථානයක් ළගා කර ගැනීම සහ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පවතින පරිසාධන මට්ටම වෙත ළඟා වීම ඉලක්ක කරගෙනයි ශ්‍රී ලාංකික මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ මේ තරගාවලියන්ට සහභාගි වන්නේ.

මේ පුහුණු කඳවුරට හා තරගාවලියන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වය සඳහා ලෝක මල්ලවපොර සංගමය, ජගත් ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යංශය විශාල සහයෝගයක් ලබා දෙන බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු උපලේකම් දනංජය රණසිංහ පවසනවා.

පුහුණු කඳවුරට සහභාගි වීම පිණිස දිනකට ස්විස් ෆ්‍රෑන්ක්ස් 70 බැගින් ජගත් ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩකයන්ට ලබා දෙන බවත් තරගාවලියන් දෙක සඳහා දිනකට ස්විස් ෆ්‍රෑන්ක්ස් 200 බැගින් ලෝක මල්ලවපොර සංගමය විසින් ලබා දෙන බවත් දනංජය රණසිංහ THE LEADER ට කියා සිටියා.

“මීට අමතරව, ගුවන් ප්‍රවේශ පත්, රක්ෂණය, වීසා හා තරගාවලියන්ට ඇතුළත් වීමේ ගාස්තු සඳහා යන වියදම් ක්‍රීඩා අමාත්‍යංශය දරනවා” යනුවෙන් දනංජය රණසිංහ පැවසුවා.

කළමනාකරු නුවන් චානක ප්‍රනාන්දු මේ තරගාවලියන්ට සහභාගි වන්නේ ඔහුගේ පෞද්ගලික වියදමෙන් බවත් ඔහුගේ ගුවන් ටිකට් පතට යන වියදම පමණක් ලබා දෙන ලෙසට ජාතික ඔලිම්පික් කමිටුවෙන් කළ ඉල්ලීමට ඔවුන් එකඟ වී ඇති බවත් දනංජය රණසිංහ කියනවා.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරා ගෙන ඇති පසුබිමක සම්මේලනයේ හිටපු සභාපති සරත් හේවාවිතාරණ හා ජාතික පුහුණුකරු එන්.කේ.ජේ.පියරත්න යන නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු ගේ පූර්ණ මැදිහත්වීම මත මෙම සියළු කාර්යයන් සාර්ථකව ඉටු කර ගැනීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට හැකි වූ බව හිටපු උපලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළා.

පුහුණු කඳවුර නිමා වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ ආසියානු මල්ලවපොර ශූරතාවලි අප්‍රේල් 11 සිට 17 දක්වාත්, ආසියානු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අප්‍රේල් 18 සිට 22 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්