අසංවරයන් බලවතුන් වී සාසනය අතුරා පැතිර තිබි කාලයකි. රාජ්‍ය අය බදු වලින් සාතිශය බහුතරය ශාසන උන්නතිය නමින් අලිජ්ජ ශ්‍රමණ වත් දරාගත්තන් විසින් අත්පත් කරගෙන තිබුණේ නීති ප්‍රකාරවමය.

එමෙන්ම ජනයාගේ ජීවන විලාසිතාවන් චින්තනයන් චර්යාවන් සියල්ලම පාලනය කරන පිරිස බවට මෙම අශ්ශීල ශ්‍රමණ වේශධාරීන් පත්ව සිටියාය. සසුන අත්පත් කරගෙන තිබූ ව්‍යාපාරික සංඝ පංතියක් ස්ථාපිතව තිබුනේය. රාජ්‍යයටද තම ලෞකික දැක්ම අනුව ක්‍රියාකාරී වීමට ඉඩ නොදුන් මෙම සංඝ සමාජය රාජ්‍ය පාලනය සියතට ගෙන හැසිරවිය.

 එමෙන්ම රාජ්‍ය බලය සහ සාසනය එකට සහවාසී වීමේ නපුරුම තැනට ගමන් කල අතර, රාජ්‍ය ධූරධාරීන් මෙම දුස්සීල වේශධාරීන්ගේ අතකොළු බවට පත්ව සිටියේය. එමෙන්ම මහ රජුන්ගේ අන්තඃපුරය, ඇමතිවරුන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ පමණක් නොව සාමාන්‍ය සමාජයේ ස්ත්‍රීන්, බිරින්දෑවරුන්, දියණියන් ද පුරුෂයන් තම කාමාතුර වසඟයට ගන්නා තරමට ලක් සසුන සල්ලාලකරණය විය.

 

feature 1

ඒත් සිදුවූයේ මෙම සියල්ල ඉවසා ගෙන ශ්‍රමණ වේශධාරීන්ගේ දුර්ජන පිළිවෙත් වන්දනා මාන කිරීමටය. අතීත ලංකාවේ වැඩසිටිය  සුසිල්වත් ධර්මධර විනයධර ශාසන මහතෙර පරපුරක කීර්තියට මෙම පිරිස මුවාවී  සිටියේය. ක්‍රි.ව. දොලොස්වන සියවස වන විට ලක් සසුනේ බහුතරයක් මෙවන් අපකීර්තිමත් ශ්‍රමණයන්ගෙන් පිරී තිබුණි. අතීත සංඝ සමාජයේ උත්තමයාණන් වහන්සේලාට තිබූ අවනත ගෞරවය මෙම අසංවරයන් බුද්ධ චීවරයට මුවාවී ලාබගනිමින් වැඩී පැතිර ගොස් පැවතිණි. ඒ ලංකා රාජ්‍යය අර්බුදයේ ගිල්වමිනි.

 

 
නව වෙනසක් වෙනුවෙන් අනුරාධපුරයෙන් පොළොන්නරුවට පැමිණි ලංකා රාජ්‍යහි බල කේන්ද්‍රය යලි සිරවිය. ඒ අපේක්ෂිත වර්ධනය කරා ගමන් කිරීමට නොහැකි නිසාය. මේ වන විට ලෝක ගෝලයේ චෝළ බලය සමඟ ඉස්ලාම් වෙළඳ ආක්‍රමණ දියත් වෙමින් තිබුණි. රෝමය හා චීනයද ජාවා මැලේ අර්ධද්වීපය හරහා වෙළද චක්‍රය වෙනත් තාලයක් දරණ සමයක්ය. මේ ජාලයන්ද අතීත බෞද්ධ සම්බන්ධතා ඔස්සේ අසංවර භික්ෂු ව්‍යාපාරයන්ගේ ග්‍රහණයට නතුව තිබුණි. අන් අතකින් මිත්‍යා පුද පූජා සහ ලාභ බාල සත්කාරයන්හි ඇලුනු ආගමික රැලි මාලා වලින් ලාංකික සමාජය අන්ධානුකරණය කරා යමින් එහිම ගිලී යන්නට විය.

 

මෙම අනතුර ඉතා පැණසරව දුටු මහාපරාක්‍රමබාහු රජතුමා රාජ්‍යය යලි පුනරුදයට ගෙන යාමට කෙටුම්පත් සකස් කලේය. ලාංකික ජන සමාජය ප්‍රබෝධමත් ජන සමාජයක් කිරීමට ඇති මග විවරණය කලේය. අසංවරව සත්කාර ලාභය හා ලෞකික බහු භාණ්ඩයේද සලෙළු චර්යාවේද ඇලී ගිලුන පිරිස සියවස් ගණනාවක් පුරා භික්ෂු සාසනයට ඇති කර ඇති විපත මැනවින් දුටු නායකයා මහාපරාක්‍රමබාහුය.

Xd9VCUvnSqreu4AG cover

ඒ නිසා සසුන ශෝධනය නොකොට බුද්ධ ශාසනයේ චිර ජීවනයටද ලංකාවට මෙන්ම එහි ජනතාවට ජීවිතයක් මෙන්ම රාජ්‍ය දේශපාලන ආර්ථික නැගිටීමක් නැති බවද ඔහු දුටුවේය. ඒ සඳහා ලංකා රාජ්‍යය යලි ප්‍රබෝධජනක කර ගැනීමට නම් ශාසනය සහමුලින් ශෝධනය කිරීමේ ජාතික කෙටුම්පතකට පරාක්‍රමබාහු රජතුමා දේශපාලන නායකත්වය දීමට නිර්භීත තීරණයක් ගන්නා ලදී. ඒ ඔස්සේ අසංවර අති ලෞකික කාමතුරයන් ශාසන වෙස් දරාගෙන අත්පත් කරගෙන තිබූ සසුන ධර්මධර විනයධර සුසිල්වතුන් වහන්සේලා වෙත ලබා දීමට මඟ විවර වූයේය.



"පොළොන්නරු කතිකාවත"

sanga

"පොළොන්නරු කතිකාවත" නමින් ලංකා ඉතිහාසයේ ලියැවී ඇති මෙම අනගි ලියවිල්ල දැන් ජනගත කරගත යුතුය. මහා ශෛල පුස්තකයක ලියා ඇති මෙම මහඟු සම්පත නූතන ලංකාවට තමන් යා යුතු ගමන් මගට ගමනාදර්ශය සපයන කෙටුම්පතකි. එය කිසිදා නොමැකෙන ලෙස ‍ශෛල පුස්තකයක් බවට මහා පරාක්‍රමබාහු රජතුමා පත් කලේ තුන්කල් බලා විය යුතුය. මෙම පොළොන්නරු කතිකාවත විසින් ඇතිකල ධර්ම ප්‍රබෝධය හා ශාසන ශෝධනය ලක් බුදු සසුන අපකීර්තිමත් අසංවර සලෙළුන්ගේ සහ පවුකාර ශ්‍රමණ වේෂධාරී ව්‍යාපාරිකයන්ගෙන් බේරා ගන්න සමත් විය. එපමණක් නොව ආර්ථික දියුණුව සහ සමාජීය දියුණුව නොලැබ අන්ධානුකරණයේ ගිලී තිබූ ලංකා ජන සමාජය යළි පුබුදුවාලන මඟ බවටද පත්වේ. ඒ සමඟම ලෝක ආක්‍රමණ වලට මුහුණ දෙමින් ලංකාව තරඟකාරී වෙළද ආර්ථිකයකට පිවිස ඉක්මන් ගමනින් ශක්තිමත් රටක් බවට  පත් විය.

මේ සා බලවත් වෙනසක් සඳහා පොළොන්නරු කතිකාවත කෙටුම්පත් කොට එය ක්‍රියාවට නංවා රජු නොනැවතිණි. මහා පරාක්‍රමබාහු රජතුමා සම්බුද්ධ ශාසනය කෙලෙසූ කසාවස්ත්‍ර දරාගෙන බලගතු ජාලයක් සේ ලක් බුදු සසුන දසත පැතිර සිටි මහණ වෙස් දැරුවන් බුද්ධ ශාසනයෙන් පළවා හැරියේය. පළවා හැර නතර නොවීය. මහාපරාක්‍රමබාහු රජතුමා ඉතා වැදගත් ප්‍රායෝගික ක්‍රියාමාර්ගක්ද ගනු ලැබීය.

 සැට දහසක් පමණ සිවුරු හරවන ලද හීරලු පිරිස අමතා මහා පරාක්‍රමබාහු රජතුමා මෙසේ කීවේය. "මෝග අලිජ්ජ නීචයනි, තොප සැදැහැවතුන් පුදන දන් වළදා ඉන් යැපී ඔවුන් පුදන සැප සම්පත් වලින් තරව ලක් සසුන දුෂිත කලේය. අප රට පතුලට යන තුරා සූරා කෑවේය. ජනතාව මුසාවෙන් මෝහයෙන් අන්ධ කොට අනුවණ කොට තර විය. තොප කල අශිෂ්ඨ විපාකයට දඩුවම් ලෙස සැදැහැවත් ජනතාව රවටා හැදුන තොපට, ඉර හද පවතින තුරු දුන් දඩුවම නොමැකෙන්නට යමක් කල යුතුය. තොපට මම ජීවිත සමාව දෙමි. ඒත් තොපි සියළු දෙනාම සිවුරු හැර දමා ගිහියන් වන්නවත් සුදුසු නැත. ඒත් ගිහියන් වන්නට පෙර කල පාපය මකා ගනුව"

 
එසේ කී රජතුමා පොලොන්නරු කතිකාවත ප්‍රකාරව සිවුරු හැරවූ හැට දහසට වැඩක් පැවරීය. එනම් ගිහි බව ලබන්නට නම් සියළු දෙනාම කය ශ්‍රමය වගුරා  කිසිදා නොසිදෙන මහ වැවක් තම ශ්‍රමයෙන් යලි ජීවමාන කල යුතු බවට අණ පනත් පැනවීය. එම වැව දකින දන්නා හැමෝටම මෙවන් අලිජ්ජයන් නොවන්න මතකයේ පවතින සේ වැව බඳින්න මෙහෙයවීය. හය වසරක් එක දිගට වැඩ කරවා ගිහි සමාජයට යන්න අවසර දුන්නාය. එකල ජනතාව තමන් රවටමින් වැදුම් ලබමින් ලාභ සත්කාර කාම සම්පතින් සාරව සිට සිවුරු හැරවුව පිරිස වැව් කර්මාන්තයෙන් දඩුවම් ලද හැටි දුටුවේය. පැවිද්දේ සිටි පැවිද්දන්ද ජනතාව රවටා ලබන කම් සැපේ ආදීනව දෑසින් දැක්කේය.

194146344 784672442218737 3552072491258145688 n

 ශ්‍රී ලංකාවෙහි රජරට මහා වැව් අතර අදත් දියෙන් සුදිලෙන මහ වැවක් ලෙස දිය නොසිඳී පවතින මහ වැවකි. ඒ හුරුළු වැවය. ක්‍රි.ව 3 වන සියවසේ මහසෙන් රජ දවස සසුනෙන් නෙරපූවන් ලවා බැඳ තිබූ මේ කුඩා වැව සියවස් ගණනාවකට පසු වල් වැදී තිබුනි. දුසිල්වතුන් හැට දහසට දඩුවම් ලෙස මහ රජ පරාක්‍රමබාහු අණදී එම වැව මහා වැවක් කොට සුවිසල්ව බැඳවීය. එය එතැන් පටන් ජන වහරින් හිරළු වැව විය. සිවුරු හැර දැමූ අයට ජන වහරේ කියන්නේ සිවුරු හැරලුවා, සිවුරු හෙලු, හෙවත් හීරලුවා ලෙසය. ඒ අනුව හීරලුන් ලවා බැන්දවූ දඩුවම් වැව හීරලු වැව වී ජන වහරේ පද අරුතින් හීරළු හුරළු හුරුළු වැව විය. "හුරුළු වැව" අදත් කියන්නේ ඒ ඓතිහාසික කතාවය. හුරුළු වැව බන්දවා ජනතාවගෙන් සමාව ගන්වා මෙම හීරලුවන් ජනගත කලේ කිසිදා යලි ශාසන ගත වීමට ඇති මාවත අසුරා ඇඟ බන්දවාය.

"හුරුළු වැව" ලංකා ඉතිහාසයේ දුස්සීල පැවිද්දන්ගේ ජීවමාන කථාවේ මතක පොත වැනිය. මහතෙර පරපුරකගේ ශිල තපෝ ඥාණ ධර්ම විනය පහසින් සුසිලවත් වු ලක් සසුන කෙලෙසූ අසංවරයන්ට මතක හිටින මතක පොතයි. ඒ හුරුළු වැව දන්න කියන හැමෝම මේ වැවේ උපතේ කතාව හංගාගෙන ඉන්නේ මන්ද . හුරුළු වැවේ උපතේ කතාව නොසඟවා දැන් කිව යුතුය. සුසිල්වත් මහ සඟුන් වහන්සේලාට මඟ විවර කිරීමට සහ  දුස්සීල පැවිද්දන්ගෙන් සසුන බේරා ගැනීමටද හුරුළු වැව මතක කමටහනක් වේවා.


Sujith 2021
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්