ආහාර ඇඳුම් නිවාස පුද්ගලයාගේ මූලික අවශ්‍යතාවයන් ලෙස මින් පෙර හඳුනාගත්තද මේ වන විට එම මූලික අවශ්‍යතා අතරට ඖෂධ එක් වී ඇති බව

සෞඛ්‍ය අංශ වාර්තා දෙස බැලීමේදී පෙනී යනවා.

ඖෂධ ඒ තරමටම මිනිස් ජීවිතයට වැදගත්. නිරෝගී සම්පත උතුම්ම ලාභයක් වුවද රටේ බෝ වන සහ බෝ නොවන රෝග වැඩිවශයෙන් පවතින නිසා ඖෂධ,  ආහාර හා සමානම අවශ්‍යතාවක්  වී තිබෙනවා. රජය විශාල ලෙස මුදල් වෙන් කරන්නේ ඉන්ධනවලට පසුව ඖෂධවලට වීමෙන්ම මෙම කාරණාව සත්‍යයක් බව තහවුරු වනවා.

වසර දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාව ඇතුළ ලෝකයේ සෑම රටක්ම කොවිඩ් වෛරසයෙන් පීඩා විඳිමින් සිටිනවා. මෙම වසංගතය ලෝකයටම එල්ල කළේ මරු පහරක් කිව්වොත් නිවැරදියි.

රටක නිෂ්පාදනය කඩා වැටීම ආර්ථික අර්බුද රැසක් නිර්මාණය වීමේ ආරම්භය වනවා. ශ්‍රී ලංකාවේද ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්වූ අතරම නිෂ්පාදන රැසක අමුද්‍රව්‍ය හිඟවීමෙන් නිෂ්පාදනයන් රැසක් නතර වුණා. දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ පවා නිෂ්පාදනයන් අතරමග නතර කිරීමට සිදු වුණේ කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙසයි.

 

මේ වන විට රට තුළ ඖෂධ හිඟයක් පවතින බව සත්‍යයක්. එසේ පැවසීමෙන් සියලුම ඖෂධ හිඟයක් ඇති බව මින් අදහස් නොවේ. සමහර ඖෂධ යම් කාලයකට හිඟ වුවත් නැවත ලබා ගැනීමට හැකි වනවා. කල් ගතවන විට මෙම තත්වයන් වඩාත් නරක අතට ගමන් කිරීමට හැකියාව පවතිනවා. මෙම හිඟ කාල වකවානු දීර්ඝ වන අතර වැඩි වශයෙන් නිෂ්පාදනවලට බලපානු ඇති.

 

බරපතල විනිමය හිඟය


මෙවැනි තත්වයන් උද්ගතවීමට විවිධ හේතු කාරණා බලපාන අතරම ඒවා එකිනෙකට සම්බන්ධතාවයක් ද පවතිනවා.

මෙයට බලපාන එක් හේතුවක් ලෙස  රටතුළ පවතින විනිමය හිඟය පෙන්වා දිය හැකියි. මේ වන විට බැංකු සියල්ලම පාහේ උග්‍ර ඩොලර් හිඟයකට මුහුණ පා තිබෙනවා. රටතුළට ගෙන්වන සෑම ඖෂධයකටම ගෙවීම් සිදු කරන්නේ ඇමරිකානු ඩොලර්වලින් නිසා ඖෂධ ආනයනය කිරීමට විවෘතකරන ණයවර ලිපිවලට අවනත වීමට බැංකුවලට නොහැති තත්වයක් ඇති වී තිබෙනවා.

තමන්ට ප්‍රමාණවත් තරම් ඩොලර් ලැබෙන තුරු බැංකු ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ රටේ අවශ්‍යතාවයට අනුව ඖෂධ ගෙන්වීම සැළසුම් නොකර පවතින ඩොලර් ප්‍රමාණයට ඖෂධ ආනයනය කිරීමයි.

 

කොවිඩ් වසංගත තත්වය සියලුම නිෂ්පාදකයන්ට සහ සැපයුම්දාමයට සිදු කර ඇති දැවැන්ත බලපෑම නිසා සුපුරුදු සැපයුම් මට්ටම පවත්වාගැනීමට දුෂ්කර වීමද රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට බලපාල තවත් කාරණයක් වනවා. ගෙවීම් ප්‍රමාදවීම් හේතුවෙන් සැපයුම් අඩාල වීමද මෙහිදී සිදුවන තමත් කාරණයක්.

 

සක්‍රීය ඖෂධීය අමුද්‍රව්‍යවල API මිල


ඕනෑම ඖෂධයක වැදගත්ම අංගය වන සක්‍රීය ඖෂධීය අමුද්‍රව්‍යවල API මිල, අනෙකුත් ආශ්‍රිත පිරිවැය මෙන්ම වසංගත කාල සීමාව තුළ ඉතා අධීක ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රජයේ රෙගුලාසි නිසා ශ්‍රී ලංකාවේ ඖෂධවල උපරිම සිල්ලර මිල (MRP) වැඩි කිරීම කළ නොහැකි නිසා ඖෂධ නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවට අපනයනය කිරීමෙන් ලාභ ඉපයීමට නොහැකි බව වැටහී තිබෙනවා. උසස් තත්වයේ නිෂ්පාදකයන්ට මෙම තත්වය බොහෝ දුරට දැනී ඇති අතර මෙම කාරණාවද රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධානතම සාධකයක් වනවා.

Three members of the National Drug Regulatory Authority resign

ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළඳාම නියාමනය සහ පාලනය සිදු කරන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන්. විවිධ හේතූන් නිසා විශේෂයෙන්ම මෙම වසංගතය හේතුවේ සෞඛ්‍ය අංශ පනවා ඇති සීමා කිරීම් මෙන්ම සේවකයන් සෙවය කැඳවීමේදී ඇතිවන කාර්යමණ්ඩල හිඟකම නිසා ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු මේ වන විට ඇණ හිට තිබෙනවා.

 

තවද ඖෂධ ආනයනකරුවන්ට ඖෂධ ලියාපදිංචිය ලබා ගැනීම සහ යාවත්කාලීන කිරීම මෙන්ම මෙම අධිකාරියෙන් ආනයනය සඳහා අවසර ලබා ගැනීමේ ඇති දුෂ්කරතාවය හේතුවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස සැපයුම් ගැටලු උග්‍ර වී තිබෙනවා. මෙයද ඖෂධ හිඟයකට බලපාන ප්‍රධානතම හේතුවක්.

 

දැනට අත්‍යවශ්‍ය ඖෂධ සියල්ල 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මිල පාලනය යටතේ පවතිනාව. නමුත් මෙය සිදුකර ඇතිතේ නිසි මිල යාන්ත්‍රණයක් නොමැතිවයි. විනිමය අනුපාතිකය, ඉන්ධන, පොලී සහ උද්ධමනය වැනි ප්‍රධාන යෙදවුම් වෙනස් වන විට භාණ්ඩයක මිල සකස් කිරීම මිලකරණ යාන්ත්‍රණයක කාර්යය වනවා.

නමුත් පසුගිය වසර 5ක කාලය තුළ මෙය නියාමකයා විසින් සිදු කර නැහැ. මිල පාලනය කරන රටවල් කිහිපයක, ඖෂධ කර්මාන්තය පාඩු නොලබා ක්‍රියාත්මක වීමට හැකි ඵලදායි මිල යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කෙරෙනවා.


අද අත්‍යවශ්‍ය ඖෂධවල මිල නියම කර ඇත්තේ ඩොලරයක මිල රුපියල් 194ක් ලෙස ගණනය කිරීමෙන්. එමනිසා රුපියල් 203 ක නිල මිලට මිල සකස් කිරීමටත් සැළකිය යුතු කාලසීමාවක් වැය වනවා. දැන්ට විනිමය අනුපාතිකය රුපියල් 205 ත් 240ත් අතර පවතින විට ආනයනකරුවන් තම පාඩුව අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය අඩු කරනවා. එයත් ඖෂධ හිඟයකට සෘජුව බලපෑම් ඇති කරනවා.



මේ වන විට රටේ උද්ගතව ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස ඖෂධවල මිල වැඩිවීමක් සිදුවනවාද යන්න පෙන්වා දෙන්න පුළුවන්. මෙයට සරළ පිළිතුර නම් මිල වැඩි නොකරන්නේ නම් ඖෂධ නොමැති වනු ඇති බවයි.

වර්තමාන මිල පාලනය කර නියාමනය කර ඇත්තේ ඩොලරයක මිල රුපියල් 194ක් වූ විටයි. දැනට ඩොලරයක වටිනාකම රුපියල් 203ක් වන අතර ඩොලරය පාවීමට ඉඩදීමෙන් එය විශාල වශයෙන් වැඩිවනු ඇති.

මෙම තත්වය කිසිදු කර්මාන්තයකට දරා ගැනීමට අපහසු තත්වයක්.

 

ඖෂධවල උපරිම සිල්ලර මිල හුවමාරු උච්චාවචනයට අනුකූලව සකස් කිරීමට ඉඩ නොදෙන්නේ නම් අනාගතයේදී ඖෂධ ආනයනය කිරීමට නොහැකි වනු ඇත. රට තුළ භාවිත වන ඖෂධවලින් 85%ක්ට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරන නිසා මෙය සමස්ත ජනගහනයේ සෞඛ්‍යයට ක්ෂණීක හා ආපසු හැරවිය නොහැකි බලපෑමක් ඇති කරනු ඇති.

 

ඖෂධ කර්මාන්තය සෑමවිටම රෝගීන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දෙනවා. එහි ප්‍රතිඵලය වශයෙන් මෙම කර්මාන්තය නියාමනය නොවූ මිල වැඩිවීමකට විරුද්ධ වන අතර එමගින් රෝගීන්ට සිදු වන අසාධාරණය ද අවබෝධ කරගෙන තිබෙනවා.

ඖෂධ කර්මාන්තය යෝජනා කරන්නේ සාධාරණ හා ක්‍රියාත්මක කිරීමට පහසු මිලකරණ යාන්ත්‍රණයක්. ඉහළ යන වියදම් සහ විනිමය උච්චාවචනය සැළකිල්ලට ගතයුතු නමුත් එහි හරය තුළ තවමත් රෝගීන්ගේ සුබසාධනය පැවතිය යුතුය.

 

ඖෂධ කර්මාන්තය එවැනි මිලකරණ යාන්ත්‍රණයක් ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ බලධාරීන් මේ පිළිබඳව පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කර එවැනි යාන්ත්‍රණයකට පැමිණීය යුතු බවයි. අවාසනාවන්ත ලෙස මේ සම්බන්ධයෙන් තවමත් ආනයනකරුවන්ගේ අදහස් විමසා නැති අතර යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වී නැහැ.

 

ඖෂධයක සියලුම වෙළඳ නාම එකම ගුණාත්මකබවින් යුක්ත විය යුතු ද නැද්ද ?


මිල පාලනය කර ඇති නිසා ඖෂධයක සියලුම වෙළඳ නාම එකම ගුණාත්මකබවින් යුක්ත විය යුතු ද නැද්ද යන්න පිළිබඳව සැළකීමේදී එවැනි සහතිකයක් ලබා දිය හැකි එකම ක්‍රමය වන්නේ සියලුම ඖෂධ ලියාපදිංචි කිරීමේ දී පිළිගත් විශ්ලේෂණ රසායනාගාරයක් මගින් විශ්ලේෂණය කර පසුව වෙළඳපොළ සාම්පල අහඹු ලෙස විශ්ලේෂණය කිරීමයි.

ඖෂධ කර්මාන්තකරුවන් පවසන්නේ එවැනි රසායනාගාර ලංකාවේ තවම නොමැති බවත් එවැනි පරීක්ෂණ බලධාරීන් විසින් සිදු නොකරන බවත්ය.

ඇතැම් රටවල මිල පාලනය හේතුවෙන් සහ රාජ්‍ය බලධාරීනගේ විශ්ලේෂණ හැකියාවන් ප්‍රමාණවත් නොවීම නිසා වෙළඳපොළට ව්‍යාජ ඕෂධ බහුලව පැතිරී ඇති බවද නොරහසකි. ලංකාවේද එවැනි තත්වයක් ඇති වීමට ඉඩ කඩක් පවතී.

ඖෂධ ආනයනය කරන පිරිස් වසංගත තත්වයේදී අසාධාරණ ලෙස ලාබ ලැබූ බවට පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබවට ලක් වූ මාතෘකාවක් වූණා. ඖෂධ ආනයනය කරන පිරිස් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

 

මෙම වසංගත කාලයේදී ඖෂධ ආනයනකරුවන් පෙර සඳහන් කළ ගැටලුවලට අමතරව තවත් බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වු අතර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රෝහලකට පවා යාමට නොහැකි වූයේ රයේ පැවති කොවිඩ් වසංගත තත්වය නිසා වේ.

 

බෝහෝ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයද කොවිඩ් නිසා පීඩාවට පත්ව තිබේ.  ඉන්ධන මිල ඉහළ යාම ද මොවුනගේ ක්ෂේත්‍ර කටයුතුවලට දැඩි බලපෑම් එක්ක කෙරුණා.

එසේම රාජ්‍ය මිලදී ගැනීම් අඩු වීමක් දක්නට ලැබුණු අතරම ඒවායේ ගෙවීම්ද අක්‍රමත් වී තිබෙනවා. ආර්ථික තත්වය හේතුවෙන් ජනතාවගේ ඖෂධ මිලද ගැනීමේ හැකියාව විශාල ලෙස අඩුවීමද දැකිය හැකි කාරණාවක්.

මේ සියලු කාරණා පිළිබඳව සැළකීමේදී ගතවූ වසර දෙකක් පමණ වූ කාලය ඖෂධ ආනයනකරුවන්ට දැඩිව බලපෑම් ඇති කළ කාල වකවානුවක් බව පෙනී යනවා. තවද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ රජය හරහා සිදු වූ බැවින් එ සඳහා කර්මාන්තයේ කිසිදු දායකත්වයක් ලබා ගෙන නැහැ.

ඖෂධ සඳහා ඒකාධිකාරියක් තිබිය යුතු බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කළද එසේ ඖෂධ ඒකාධිකාරියක් පැවතිය නොහැකි වේ. සියලුම අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ආරම්භක ඖෂධය මෙන්ම බොහෝ රටවල නිපදවන අනුකාරක ලෙස හඳුන්වන සන්නාමයන් විකල්ප ලෙස පවතී. නිෂ්පාදන පිරිවැය යටතේ ඒවා විවිධ මිල ගණන් යටතේ තබා ඇති බැවින් ඖෂධ සඳහා කිසිවිටෙකත් ඒකාධිකාරියක් තිබිය නොහැකි වේ.

 

ශ්‍රී ලංකාවේ පවතින්නේ මිශ්‍ර සෞඛ්‍ය සේවා පද්ධතියකි.

 

ශ්‍රී ලංකාවේ පවතින්නේ මිශ්‍ර සෞඛ්‍ය සේවා පද්ධතියකි. එය සුවිශේෂී තත්වක් ද වේ.

ලොව දියුණූ රටවල පවා මෙවැනි සෞඛ්‍ය සේවාවක් නැහැ. සියලු ඖෂධ මුදල් ගෙවා ලබා ගත යුතු අතර නොමිලේ සෞඛ්‍ය සේවාවන් සැපයීමක් ද දක්නට නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වෙනස් බව පැවසිය යුතුයි.

සෑම පුද්ගලයකුටම ප්‍රවේශ විය හැකි ඉතා කාර්යක්ෂම මහජන සෞඛ්‍ය පද්ධතියක් අප සතුව ඇත. තමන්ට අවශ්‍ය වෙළඳ නාම අපහසුතාවයකින් තොරව මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා පමණක් පුද්ගලික වෙළඳපොළ පවතී.

තවද සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නවීකරණය කරන ලද සියලු පහසුකම් සහිත රෝහල් පද්ධතියක් පවතී. මේ වන විට විශේෂීතශල්‍යකර්ම පවා සිදු කිරීමට හැකිවන පරිදී නවීන ශල්‍යාගාර පහසුකම්ද රජයේ රෝහල්වල පවතී.

යම් පමණක ප්‍රමාදයක් පැවතියද සෞඛ්‍ය සේවය ඉතා ඉහළ මට්ටමක පවතී.

එබැවින් දිළිඳු ජනතාවට අසීරුවෙන් මුදල් සොයා ගනිමින් පෞද්ගලික රෝහල් වෙත යාමේ අවශ්‍යතාවක් නැත්තේ රෝහල්වල සායන මගින් ඖෂධ නිකුත් කරන නිසාත් ඒවා ගුණාත්මක තත්වයේ පවතින ඖෂධ වීම නිසාත්ය.

ඊට අමතරව වඩාත් දැරිය හැකි මිලකට සාමාන්‍ය ඖෂධ ලබා දෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි සැල් සෑම දිස්ත්‍රික්කයකම පිහිටා තිබෙනවා. එම ඔසුසැල් මගින්ද ඖෂධ සහනදායි මිලකට ලබා ගැනීමට ජනතාවට අස්ථාව සළසා දී තිබෙනවා. මෙම ඔසුසැල්වල වැඩි මිලට සන්නාම ඖෂධ ලාබ ගත නොහැකි පුද්ගලයින් සඳහා විකල්ප කිහිපයක් ලබා දී තිබීමද විශේෂත්වයකි.

තවද කොවිඩ් වසංගත කාල පරිච්ඡේදයේදී පවා සායනික ඖෂධ නිවෙස් වෙතටම ලබා දීමේ වැඩපිළීවෙළක් පැවති අතර ඒ නිසාම ආරක්ෂීතව සිටිමින් මුදල් වැය නොවී ඖෂධ ලබා ගැනීමට හැකි වූයේද මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඇති සුවිශේධිත්වය නිසාවෙන්ය.


රට තුළ ඖෂධ මාෆියාවක් !



සමාජයේ කතාබහට ලක්වන තවත් කාරණාවක් වන්නේ රට තුළ ඖෂධ මාෆියාවක් පවතින බවයි. නියාමනය කරන ලද පුද්ගලික වෙළඳපොළක පැහැදිළිවම මාෆියාවත් තිබිය නොහැකියි.

කෙසේ වෙතත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමය වංචනික ක්‍රියා පාලනය කිරීම වෙනුවෙන්ම පවතින්නා වූ ක්‍රමවේදයක් ඇති නමුත්, මෙම ක්‍රමවේදයන් පැවතියද ඇතැම් රාජ්‍යයන් බලයට පැමිණි විට මෙම ක්‍රමවේදයන් වංචනික ලෙස හසුරවමින් සමහර ඖෂධ සමාගම් බලය සියතට ගෙන කටයුතු කරනු දක්නට ලැබෙනවා.

ඖෂධ මාෆියාවක් පවතින්නේ නම් ඉන් දැඩි හානියක් සිදුවන්නේ මහජනතාවටයි. නමුත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින නියාමනයන් සහ ක්‍රමවේදයන් නිසා මේ වන විට වෙළඳපොළ තුළ ඖෂධ මාෆියාවක් නැහැ කියල තමයි ආණ්ඩුව බලධාරීන් අවධාරණය කරන්නේ.

රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් නම් ඉන් ඇඟවෙන්නේ පුද්ගලයා සෞඛ්‍යාරක්ෂීත බවයි. විශේෂයෙන්ම මෙම පසුකරමින් යන කොවිඩ් වසංගත කාලය තුළ රජය සහ සෞඛ්‍ය සේවය ඉටු කරන ලද නිහඬ සේවය නොවන්නට මේ වින විට අපේ රටත් විශාලා මහනුවරක් වනු නොඅනුමානයි.

(සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ වාර්තාකරුවෙකු විසිනි)

 
 
 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්