පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ඉන්නා ආර්ථික විද්‍යා ඔස්තාර්ලා හැමෝම කතා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපව “බේල් අවුට්” කරනු ඇතැයි කියා

ය.

ඒ කියන “බේල් අවුට්” එක කුමක්දැයි කවුරුවත් පැහැදිලි කරන්නේ නැත. එයට තේරෙන සිංහල වචනයක් කියන්නේද නැත.

ජනාධිපති සමග ආණ්ඩුවේ ලොක්කන් කිහිප දෙනාත් මහ බැංකුවේ ලොක්කත් කතා කරන්නේ ජා.මූ. අරමුදලේ ඩො.බිලියන 02.9 ක සහන ආධාර මුදල සඳහා ගිවිසුම් දෙසැම්බර අවසන් වන විට අත්සන්කර ඒ ඩොලර ප්‍රමාණය ලබා ගත හැකි යැයි විශ්වාසයක් ඇතිවය.

එය සහන ආධාරයක් යැයි කියුවාට, එයද අඩු පොලී ණය මුදලකි.

පසුගිය මාර්තු අවසානයේ අපේ සමස්ථ ඩොලර් ණය ප්‍රමාණය බිලියන 50.2 ක් විය. මේ වනවිට ගෙවිය යුතු මුළු පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 07 කි. ඉන් අප්‍රේල් මාසයේ ගෙවන්න තිබුණ පොලී ප්‍රමාණය ඩොලර් බිලියනයක් පමණ ය. එයද ගෙවා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව ණය නොගෙවන බව නිල වශයෙන් මහ බැංකුව ප්‍රකාශ කළ විගස අප බංකොලොත් රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව හඳුන්වනු ලැබිණ. තවමත් එය එසේම ය.

 

විපක්ෂය ඇතුළු කිසිවකු කතා නොකරන මාතෘකාව වන්නේ ජා.මූ. අරමුදල සමග ඉදිරි දෙසැම්බරයේ හෝ ලබන අවුරුද්ද ආරම්භයේදී හෝ ගිවිසුම් අත්සන් කළ පසු ඩොලර් බිලියන 50.2 ක ණය මුදල ගෙවීමට අපට ඩොලර ලැබෙන්නේ කෙසේද යන්න ය.

 

දැනට තියෙන ඒ ඩොලර් ණය මුදලට ඉදිරි මාස වලදී තව ඩොලර් ණය එකතුවීම නොවැලැක්විය හැකිය. විදේශ ණය ගෙවීමට ඩොලර් උපයා ගන්නේ කෙසේදැයි කතාවක් කොතැනකවත් ඇත්තේද නැත. එහෙත් ආර්ථික පඬිවරුන් “IMF බේල් අවුට්” එක දෙස බලා සිටිති.


මොකද්ද මේ “බේල් අවුට්” කතාව?


මෙය ජනප්‍රිය භාෂාවෙන් කියන්නේ නම්, “පට්ට රැවටිල්ලකි”. රටට නොකියන, මහ බැංකු ලොක්කයි ජනාධිපති සමග මහ භාණ්ඩාගාරයේ ඉහළම නිලධාරීන් තුන් හතර දෙනකුයි රහසේ තියාගෙන ඉන්නා කොන්දේසි වෙනුවෙන් ජා.මූ. අරමුදල සිව් වසරකට දෙන ඩොලර් බිලියන 02.9 (මිලියන 2,900) න් කළ හැකි ඉටි ගෙඩියක් නැත.

ලොකු ලොක්කන් ඉංග්‍රීසියෙන් කියන “බේල් අවුට්” කතාව සිංහලෙන් තේරුම් ගන්නේ “මේ බරපතල ආර්ථික කඩා වැටීමෙන් ඔවුන් අපව ගොඩ දමාවි” යැයි කියා නම්, එය ඩොලර් බිලියන 02.9 කින් නම් කිසිසේත් සිදු නොවන්නකි.  

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්ධන ආනයනය සඳහා පමණක් ඩොලර් මිලියන 700 ක් වැය වී තිබිණ. ඒ අනුව ජා.මූ.අරමුදලින් ලැබෙන ඩොලර් බිලියන 02.9 න් ඉන්ධන ගත හැක්කේද සිව් මසකට පමණි. ඒ ඩොලර් ටික දෙන්නේ කුමක් සඳහාදැයි මේ ලොක්කෝ රටට නොකියති.

 

ජා.මූ.අරමුදල කියන්නේ එය ලබා දෙන්නේ ආනයන අපනයන වෙළඳ ශේෂය ස්ථාවරව තබා ගැනීමට යැයි කියා ය. පසුගිය වසරවල ඒ වෙළඳ ශේෂය දළ වශයෙන් වසරකට ඩොලර් බිලියන 06 ක් විය. ආනයන පාලනය කිරීම් සමග එය 2021 දී ඩොලර් බිලියන 06.4 ක් විය. ජා.මූ. අරමුදලින් අවුරුදු 04 ට ලැබෙන ඩොලර් බිලියන 02.9 න් කළ හැකි වෙළඳ ශේෂ ස්ථාවරය කුමක්දැයි ගිවිසුම් අත්සන් කරනවුන් හෝ දන්නේදැයි නොදනිමි.

 

එසේ නම් ජා.මූ. අරමුදලින් බලාපොරොත්තුවන මේ “බේල් අවුට්” එක කුමක්ද?


විහිළුවක් නොවුනත් ඔවුන්ගෙන් ලැබෙන “බේල් අවුට්” එක වන්නේ, ඩොලර් බිලියන 50 ට අධික මුළු ණය ප්‍රමාණයෙන් චීන ණය හැර සෙසු ණය ප්‍රමාණය කල් දමා ගැනීමේ සහායක් පමණි.

පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා ආණ්ඩුව චීනයෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන 02.5 ක ණය මුදල මෙතෙක් නොලැබී ඇති හෙයින් දැනට ඇති සමස්ථ ඩොලර් ණය ප්‍රමාණයෙන් සියයට 10 ට ආසන්න ප්‍රමාණයක් චීනයෙන් ලබා ගත් ණය වන්නේය.

 ඔවුන්ගේ ණය සඳහා වන පොලී ජූලි මාසයේ ගෙවීමට තිබුණු හෙයින් ඒ සඳහා කෙටි සහනයක් ඉල්ලා සිටියද එයද චීනයෙන් නොලැබුණි.

ksj
චීනය ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට (සරළ වචනය, ‘කල් ගැනීම‘ ය) සූදානම් නොවන්නේ නම් ශ්‍රී ලංකාවට ඩොලර් ණය ලබා දුන් ජාත්‍යන්තර වාණිජ ආයතනද ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් නැතැයි කීහ. එහෙත් ඒ ආරවුල ජා.මූ. අරමුදලේ අප්‍රකාශිත දේශපාලනයේ අත පෙවීම් සමග විසඳා ඇති බවක් මේ වනවිට පෙනෙන්නට ඇත. ජා.මූ. අරමුදලින් බලාපොරොත්තුවන “බේල් අවුට්” එක එය විය යුතු ය.



ඒ හැර මහ බැංකුවේ සහ ආණ්ඩුවේ ලොක්කන් හරියාකාරව පැහැදිලි නොකරන ජා.මූ. අරමුදලේ කොන්දේසි මගින් ණය පියවීමට හා ඉදිරියේදී ඩොලර් වැඩියෙන් උපයා ගැනීමේ කිසිදු පියවරක් සැළසුමක් යෝජනා කර නැත. 
 
රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව දක්වන හදිස්සිය ජා.මූ. අරමුදලේ පිහිටෙන් විදේශ සමාගමකට දෙකකට ඒවා අලෙවි කිරීම නම්, ඒ වෙනුවෙන් එක වර හෝ වාර දෙක තුනකින් ලැබෙන ඩොලර් ප්‍රමාණයකින් වාර්ෂිකව ඉහළ යන ඩොලර් ණය පියවීමට නොහැකිය.
 
 රාජ්‍ය වියදම් දැඩිව කලමනාකරණය කිරීමෙන් හෝ විදේශ විනිමය ලැබෙන්නේ නැත. එය දේශීය රුපියල් අයවැය පිළිබඳ කතාවක් පමණි.

මේ ජා.මූ. අරමුදලින් 17 වන වරට අත්සන් තබන ගිවිසුමෙන් අපව “බේල් අවුට්” කරනවා යැයි කියන්නේ අලුතින් එකතුවන ඩොලර් ණය දැනට තියෙන ඩොලර් බිලියන 50 සමග පසුව ගෙවීමට වසර කිහිපයක් කල් ගැනීමක් පමණි.

එය සාගතය, මන්දපෝෂණය, රෝග බිය සමග ගරා වැටෙන මේ සමාජයේ තව කලක් අතරමං වීමකි.

එබැවින් ඔවුන්ගේ “බේල් අවුට්” කිරීම් නොතකා විදේශ විනිමය ඉපැයීම හා ආනයනය කලමනාකරණය කිරීම සඳහා අප අපගේ සමාජ අවශ්‍යතාද සැළකිල්ලට ගෙන අපගේ සංවර්ධන සැළසුමක් සකසා ගත යුතුය.

විවේචන හා විරෝධතා වලින් එහාට යන කිසිවක් දේශපාලන පක්ෂ විසින් නොකෙරෙන හෙයින් එවැන්නකට මුල පිරීමේ වගකීම ඇත්තේ මේ සමාජයේ උගතුන්, බුද්ධිමතුන් හා නිදහස් දේශපාලන ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින පිරිසට ය.


IMF 'රහස්‍ය සම්මුති' මාධ්‍යවේදීන් කියවන්නේ කෙසේද?- (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022 වසර අවසන් වන්නට හරියටම තෙමසකට පෙර
සැප්තැම්බර 30 වන දින



(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022


 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්