සාහිත්‍ය කෘතියක් පරිශීලනය කිරීමේ දී, එය පරිශීලනය කරන පුද්ගලයා කෙතරම් දුරට එම සාහිත්‍ය කෘතිය සමග බැඳී සිටිනවා ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ අදාළ කෘතියේ රස නීරස භාවය මත යැයි පොදු මතයක් පවතී.

නමුදු මෙහි දී පැන නැගෙන ගැටලුව වන්නේ එම ‘‘රස නීරස භාවය’’ තීරණයකරන්නේ කවුද, කෙසේ ද...? යන්න ය. මන්ද ඕනෑම සාහිත්‍ය කලා නිර්මාණයක් රස විඳින පුද්ගලයෙකුට එය විඳිය හැකි වන්නේ ඒ ඒ පුද්ගලයා සතු විඳීමේ නිපුණතාව අනුව ය; නැණ පමණ අනුව ය; ඒ ඒ පුද්ගලයාගේ රුචිකත්වය අනුව ය. මෙය කෙටියෙන් ම හැඳින්විය හැකිවන්නේ ‘‘භින්න රුචිකත්වය’’ යනුවෙනි.

 

එසේ වුව ද ඕනෑම නිර්මාණයක් රස විදීමේ දී එක් පුද්ගලයෙකුට හසු නොවන මානයක් තවකෙකුට හසු විය හැකි ය; එක් පුද්ගලයෙකු ප්‍රතික්ෂේප කරන මානයක් තවකෙකු ඉතා රුචිකත්වයෙන් වැලඳගත හැකි ය. එමෙන් ම ඔහු හෝ ඇය නොදන්නා මාන අත් හැර දන්නා මානවලින් පමණක් අදාළ කෘතිය විඳිය හැකිය; විමසිය හැකි ය; විවවේචනය කළ හැකි ය.

 

Munnakkare Sansare Manjula Wediwardana Vidarshana KBOOKS 500x500මා දැන් සුදානම් වන්නේ ද ඒ ආකාරයට මා: කියවූ, කියවා විඳි, විඳ විමසිය යුතු යැයි අදහස් කළ කෘතියක් පිළිබඳ මගේ භින්න රුචිකත්වය පාඨක ප්‍රජාව සමග බොදාගැනීම සඳහා ය. ඒ, මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘‘මුන්නක්කරේ සංසාරේ’’ නමැති කෘතිය යි.

මා යට සඳහන් කළ පරිදි මෙම කෘතියේ මට විඳිය හැකි, විමංසනය කළ හැකි මාන මෙන් ම මට විඳිය නොහැකි, මා නොදැනුදැනුවත් මාන ද පවතී. එබැවින් මෙතෙක් මා විචාර කළ කෘති සම්භාරය මෙන් සමස්ත කෘතිය පිළිබඳව ම විමංසනයක යෙදිය නොහැකි වුව ද මගේ දෑත මානයේ ද, දෑස මානයේ ද, මනස මානයේ ද රැඳි, මට ස්පර්ශ කළ හැකි මාන ඇසුරින් හෝ මෙම කෘතිය විමංසනයට බඳුන් නොකරන්නේ නම් එය ‘‘මුන්නකරේ සංසාරේ’’ නමැති කෘතියට, මංජුල වෙඩිවර්ධන නම් සාහිත්‍යකරුවාට මතු නොව සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට ද මා’තින් කෙරෙන අසාධාරණයකි; නොසලකා හැරීමකි; මගහැර යාමකි.

POSTmanjuala

මංජුල වෙඩිවර්ධන

 

පළමුවෙන් ම සඳහන් කළ යුතු වන්නේ ම’විසින් අත්හරින ලද මාන ය. ඒ, කතෝලික ආගම පිළිබඳ මානය සහ මුන්නක්කර ඉතිහාසමය මානය යි. එම ද්විමාන අත්හැර මෙම කෘතිය විමංසනයට බඳුන් කිරීම අසාධාරණ යැයි කිසිවකුට සිතෙන්නට පිළිවන. එහෙත් එම ද්විමාන පිළිබඳ මා දන්නා ප්‍රමාණය ඉතා ම අල්ප ය. එබැවින් ‘‘නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහගත්තා වගේ’’ යන පිරුළ ගැන සැලකිලිමත් වෙමින් එම ද්විමානයේ මා නොදන්නා කිසිවක් පිළිබඳ කිසිවක් ම නොලියා මට ස්පර්ශ කළ හැකි වූ මානයේ සිට කෘතිය පිළිබඳ මගේ කියවීම ලිවීමට අවසර...  

මගේ කියවීමට අනුව මෙම කෘතිය පංචමානී ය. එනම්: ඉතිහාසමය, ආගමිකමය, දේශපාලනමය, ප්‍රබන්ධමය සහ නවකතාමය මානය යනුවෙනි.

 

ඉතිහාසමය මානය


ඉතිහාසමය මානයෙන් ගත් කළ ‘‘ඉතිහාසය යනු කුමක් ද...?’’ යන්න පිළිබඳව ද යමක් සඳහන් කළ යුතු ම ය. එම පැනය ලෝකයේ විවිධ ඉතිහාසඳයෝ මෙන් ම සමාජ විද්‍යාඥයෝ ද, දේශපාලන විද්‍යාඥයෝ ද, දාර්ශනිකයෝ ද විවිධාකාරයෙන් විග්‍රහ කර ඇත. කවුරුන් කෙසේ විග්‍රහ කළ ද මගේ කියවීම අනුව නම් ඉතිහාසය යනු එක් එක් යුගවල විසූ එක් එක් පුද්ගලයෝ තම තමන්ගේ රුචිකත්වයට යටත්ව ලියා ඇති ලියවිලි ය. ඒ ලියවිලි තුළ සත්‍ය මෙන් ම අසත්‍ය ද, යථාර්ථය මෙන් ම ප්‍රබන්ධාත්මකත්වය ද අන්තර්ගත ය. ඒ සඳහා උදාහරණ වුවමනාවටත් වඩා පැවතිය ද ඒ වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කිරීම නිශ්ඵල කාර්යයකි.

ඉතිහාසය පිළිබඳ මගේ කියවීම එසේ වුව ද මංජුල වෙඩිවර්ධන ‘‘මුන්නක්කරේ සංසාරේ’’ කෘතිය තුළ: අන්තර්ගත කරන, සාකච්ඡාවට බඳුන් කරන, විවේචනයට බඳුන් කරන ඉතිහාසය යනු ගතානුගතික ඉතිහාසය සහ යථාර්ථවාදි ඉතිහාසය මිශ්‍ර ලියවිල්ලකි. එනම්: ග්‍රීක පුරාණෝක්තිවල සිට මැදපෙරදිග, බටහිර, යුරෝපීය සහ ආසියාතික කලාපවල පුරා කතා, මිථ්‍යා කතා යනාදියේ සිට ශ්‍රී ලංකාව නම් කොදෙව්වේ අපේ පරම්පරාවට පෙර පරම්පරා සහ අපේ පරම්පරාව ද, අපෙන් පසු (නව/ new generation) පරම්පරාව ද ඇසු, දුටු සත්‍ය ඉතිහාසය ද අන්තර්ගත ලියවිල්ලකි.

 

කතුවරයා පුරාකතාවක් සහ වර්තමාන කතාවක් එකිනෙකට ගැටගසන්නේ ජාතක කතාවක පූර්වාපර සන්ධි ගළපනවා සේ අසවලා අසවලා ය යන්න පැහැදිලි කිරීමට නොව එදා මෙදා තුරු සිදුවීම් පෙළ ගැසෙන්නේ එකම රටාවකට ය යන්න ප්‍රකට කිරීම සඳහා ය යන්න මගේ කියවීම ය. ඒ අනුව මා පුරාණෝක්තිය හෝ මිථ්‍යා කතාව පිළි නොගත්ත ද, ඔහු එම කතාව සමග ගැටගසන මෑත කතාව මට වැදගත් ය; ප්‍රයෝජනවත් ය. මට මතු නොව ලාංකීය සමාජයට ම වැදගත් ය; ප්‍රයෝජනවත් ය. අපි කියවිය යුත්තේ ද, ග්‍රහණය කරගත යුත්තේ ද, අතීත කතාව හෝ වර්තමාන කතාව නොව කතුවරයා නොලියා පවසන කතාව ය. ඒ නොලියා පවසන කතාව කියවාගත හැකි නම් ‘‘මුන්නක්කරේ සංසාරේ’’ විඳිය හැකි ය.

 

ආගමිකමය මානය

 

BMHST2


කෘතියේ දෙවන මානය ලෙස මා දකින්නේ ආගමිකමය මානය යි. එය ද සපුරා ම කතෝලික ආගමික මානයකි. කතුවරයාගේ ‘‘බත්තලංගුණ්ඩුව’’ සහ ‘‘ආදරණීය යක්ෂණී’’ මෙන් නොව ඊටත් වඩා මෙම කෘතිය තුළ ආගමිකමය තත්ත්වය බෙහෙවින් අන්තර්ගතව පවතී.

ආගම යනු කුමක් ද? යන්න පිළිබඳ ලෝකයේ විවිධ ශාස්තෘවරුන්, දාර්ශනිකයන්, සමාජ විද්‍යාඥයින් යනාදි පුද්ගලයන් විවිධ අර්ථකතන සපයා ඇත. ඒ සියල්ල මෙහි ලිවීම නිශ්ඵල වන බැවින් සිංහල ජනයා විසින් උත්කර්ෂයට නංවා ඇති ‘‘බෞද්ධාගම’’ යන්නෙහි නිර්මාතෘ ලෙස සැලකෙන බුදුන් වහන්සේ ‘‘ආගම යනු කුමක් ද?’’ යන්න අර්ථ දක්වා ඇති ආකාරය අපි මෙහි දී වෙසෙස් අවධානයට ලක් කළ යුතු ය.

 

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් වදාළා ඇත්තේ ඉතා කෙටි දෙවදනකි. එනම් ‘‘ආගමෝප්ත දේශනම්’’ යනුවෙනි. එහි අර්ථය නම්, ‘‘ආගම යනු ආප්ත දේශනාවකි’’ යන්න ය. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් ‘‘තමා විසින් ම අවබෝධ කරගත් දෑ’’ ය.

 

බුදුන් වහන්සේ එසේ වාදාළා ඇති අතර මා පුද්ගලිකව ‘‘ආගම’’ යනුවෙන් අදහස් කරන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට තමා පිළිබඳ ආත්ම විශ්වාසයක් නොමැති නම්, එම පුද්ගලයා හෝ කණ්ඩායම විශ්වාසය තබන පාරභෞමික පුද්ගලයෙක්, පුද්ගල සමූහයක් හෝ වස්තුවක් ගරු කිරීම ය; ඒ පිළිබඳ විශ්වාසයක් තබා කටයුතු කිරීම ය.

 

කතුවරයා සිය කෘතියේ දී මෙකී පාර්ශ්ව ද්වය ම අමතා ඇත. එනම් ආගම විශ්වාස කරන ප්‍රජාව මෙන් ම ආගම විශ්වාස නොකරන ප්‍රජාව යන දෙපිරිස ම අමතා ඇත. නමුදු ඔහු වඩ වඩාත් සුක්ෂමව කටයුතු කර ඇත්තේ ආගම නමැති සංකල්පය හුදු මිථ්‍යාවක් පමණි යන්න තහවුරු කිරීම සඳහා ය. එනම් කෘතියේ චරිත විසින් ගොඩනගන ලද ආගමිකත්වය එහි ම වෙසෙන තවත් චරිත කිහිපයක් විසින් නිෂේධනය කරනු ලබන ලෙස සිය නිර්මාණය හැසිරවීම ය. එහි දී කෘතිය කියවන පුද්ගලයා ආගම කෙරෙහි තබා ඇති විශ්වාසය හෝ අවිශ්වාසය මත එම පුද්ගලයාට කෘතිය කියවාගත හැකි ය. කතුවරයා එකී වගකීමෙන් නිදහස් වී ඇත. තවත් ආකාරයකින් පවසන්නේ නම් එක් අවස්ථාවක දී කතුවරයා කෘතියට මැදිහත් වී ඇති අතර තවත් අවස්ථාවක දී හෙතෙම කෘතියෙන් වියුක්ත වී ඇත; කියවන්නාට අවැසි පරිදි කියවන්නැයි නොලියා පවසා ඇත. මෙය සාහිත්‍ය ප්‍රබන්ධයේ දී මතු නොව ඕනෑම නිර්මාණකරණයක දී භාවිත කළ හැකි නිර්මාණාත්මක තාක්ෂණික ක්‍රමවේදයකි; එය ‘‘මුන්ක්කරේ සංසාරේ’’ට අනුව සාහිත්‍යමය තාක්ෂණික ක්‍රමවේදයකි.

 

දේශපාලනමය මානය


කෘතියේ අන්තර්ගත දේශපාලනමය මානය පිළිබඳ සලකා බැලීමේ දී වුව ද කතුවරයා ඉතා සූක්ෂ්මාකාරයෙන් මේ කොදෙව්වේ මතුපිට දේශපාලනය සහ අභ්‍යන්තර දේශපාලනය ස්පර්ශ කරන්නට සමත් වී ඇත. ඔහු ඇතැම් ඉතිහාසගත දේශපාලන සංසිද්ධි කෘතිය පුරා විසුරුවා හරින්නේ මතුපිටින් ගලා යන ජල ධාරාවක් මෙනි. නමුත් එම ජල ධාරාව යට වේගවත්, දැවැන්ත මෙන් ම බියකරු දිය සුළියක් පවතී. එම දිය සුළිය යනු ලාංකීය භූමියේ නොදකින දේශපාලන ධාරාව ය; සඟවා ඇති දේශපාලන ධාරාව ය; මුග්ධ, ම්ලේච්ඡ සහ සටකපට දේශපාලන ධාරාව ය.

 

ලංකාවේ මතු නොව සමස්ත ලෝකයේ ම දේශපාලනය මෙබඳු ය. නමුදු එය කියවා ගැනීම ඉතා අසීරු ය. එකී අසීරුතාව ජයගත හැකි වූවා නම් මේ වන විට ලෝක බල තුලනය මීට වඩා බෙහෙවින් වෙනස් විය හැකි ය. එමෙන් ම එකී දේශපාලනයේ සැඟවුණ යථාර්ථය අවබෝධ කරගත්ත ද ඊට එරෙහිව ක්‍රියාත්මක වනවා යන්න සියතින් ම ඇසිඩ් පානය කරනවා බඳු ය. ‘‘මුන්නක්කරේ සංසාරේ’’ කතුවරයා අපට ඇසිඩ් පානය කරන්නැයි ආරාධනා නොකළ ද අනෙකාට ඇසිඩ් නොගසන්නැයි ඉල්ලා සිටී; එමෙන් ම අනෙකා එල්ල කරන ඇසිඩ් ප්‍රහාරයෙ මගහැර යන ආකාරය ද පැහැදිලි කර ඇත. ඒ ඔහුගේ දේශපාලන කියවීමේ සුවිසල් වපසරියෙන් අංශු මාත්‍රයක් යැයි මට හැඟේ.

 

ප්‍රබන්ධමය මානය


‘‘මුන්නක්කරේ සංසාරේ’’හි අන්තර්ගත ප්‍රබන්ධමය මානය ඉතා සුවිසල් ය; ගැඹුරු ය; මන බඳිනාසුලු ය; හෘද සංවේදී ය. මෙහි දී ද පෙර මානවල මෙන් ම ‘‘ප්‍රබන්ධය යනු කුමක් ද...?’’ යන පැනය ඉස්මතු වන බව අනිවාර්ය කරුණකි. සැබැවින් ම නම් ලොව පවතින සියලු ම දෑ ප්‍රබන්ධ යැයි පැවසුව ද එය මුසාවක් හෝ මිථ්‍යාවක් නොවේ. සමස්ත ලෝකයේ ම පවතින, සිදුවන, සිදු කරන සියල්ල ම පාහේ ප්‍රබන්ධකරණයකි. එහෙත් ප්‍රබන්ධය යන්න කුමක් දැයි පෙර මාන පිළිබඳව මෙන් ම ලෝකයේ විවිධ පුද්ගලයෝ විවිධාකාරයෙන් විග්‍රහ කර ඇත. ඒ කිසිවක් මෙහි සඳහන් නොකරන අතර ‘‘ප්‍රබන්ධය යනු කුමක් ද...?’’ යන්න සම්බන්ධයෙන් මා පළ කළ ලිපියකින් කොටසක් උපුටා දක්වමින් ඉදිරියට යමු.


‘‘තථ්‍ය දෑ: සවන් දීමට, කියවීමට හෝ දැකීමට වඩා අතථ්‍ය දෑ ඇසීමට දැකීමට මිනිසා තුළ පවත්නේ සහජ ආශයකි. එමෙන් ම ඇසීමට, දැකීමට හෝ නැරඹීමට අවස්ථා නොලැබෙන හෝ අවම අවස්ථා එළඹෙන යමක් වේ නම් එබඳු දෑ ඇසීමට, දැකීමට හෝ නැරඹීමට ද මිනිසා දැඩි ආශයක් දක්වයි. මිනිසා නිර්මාණ: නැරඹීම, කියවීම සහ සවන් දීම සඳහා පෙලඹෙන්නේ  යට කී සියලු ආශයෝ සන්තෘප්ත කරගනු පිණිස ය.

මිනිසා එසේ සන්තෘප්ත කිරීම සඳහා මිනිසා විසින් ම කරනු ලබන කුමන හෝ සාහිත්‍ය කලා නිර්මාණයක් ‘ප්‍රබන්ධ’ ලෙස හැඳින්විය හැකි ය. ඊළඟට පැන නැගෙන ප්‍රශ්නය වන්නේ එබඳු නිර්මාණ ‘ප්‍රබන්ධ’ලෙස හඳුන්වන්නේ ඇයි ද යන්න ය. එසේ නම් ‘ප්‍රබන්ධය’ යනු කුමක් ද යන්න මඳක් විමසා බලමු.


ප්‍රබන්ධ කෘතියක් (කවි, ගීත, කෙටිකතා, නවකතා, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා හෝ වෙනත් ඕනෑම සාහිත්‍ය කලා නිර්මාණයක්) ලෙස හැඳින්විය හැකි වන්නේ මනඃකල්පිත ලෝකයක ඉදි කළ හෝ ඉදි කරන කිසියම් ඉදිකිරීමකි. එකී ඉදිකිරීමට උපස්තම්භක කරගන්නා ජීවි අජීවි සියලු වස්තු සහ ඒවායේ ක්‍රියාකාරිත්වය තථ්‍ය ලෝකයේ ජීවි අජීවී වස්තු විසින් කරනු ලබන ක්‍රියාදාමවලට වඩා වෙනස් විය යුතු යැයි මතයක් පවතින අතර ම එබඳු ඉදිකිරීම බොහෝ විට තථ්‍ය සමාජය විසින් පිළිගනු ලබයි.’’

ප්‍රබන්ධය යනු කුමක් ද...?:

 

‘‘මුන්නක්කරේ සංසාරේ’’ යට කී ලක්ෂණ බහුලව අන්තර්ගත සාහිත්‍ය ලේඛනයකි. එහි දී කතුවරයාගේ පරිකල්පන ශක්‍යතාව ඉතා මැනවින් ප්‍රකට කර ඇත. එය කෙතරම් විශ්මිත ද යත් යථාර්ථය හෙවත් සත්‍ය කොතැන ද, ප්‍රබන්ධය කොතැනද යන්න බෙදා වෙන් කරගැනීම අසිපතකින් දිය පහරක් කපා වෙන් කිරීම තරමට ම අසීරු ය. තවත් ආකාරයකින් පවසන්නේ නම් සත්‍ය සහ කල්පිතය අතර වෙනස කුමක්දැයි යන්න හඳුනාගැනීම ඉතා අසීරු ය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුගේ ප්‍රබන්ධකරණයේ නිපුණතාව යි; සාහිතය කෘති රස විඳින බහුතර පාඨක ප්‍රජාව බලාපොරොත්තු වන්නේ ද ප්‍රබන්ධකරණය තුළින් කතුවරයා ඉදිරිපත් කරන පුද්ගල චරිත සහ සිද්ධි දාම තම අත්දැකීම් සමග සංසන්දනය කිරීම ය. ඒ ද, තම තමන්ගේ වපසරියට අනුව ය. ඒ අනුව ගත් විට ‘‘මුන්නක්කරේ සංසාරේ’’ අදාළ පරිසරය සමග බද්ධ වූ පිරිස එක් මානයකින් ද, එසේ නොවන පිරිස් තවත් මානයකින් ද කියවනු ඇත; විඳිනු ඇත. එම කියවීම සහ විඳීම කතුවරයාගේ අභිප්‍රායට පටහැනි වන්නට ද පිළිවන. නමුදු එය ඔහුගේ දුර්වලතාවක් නොව කියවන ප්‍රජාවගේ කියවීමේ නිපුණතාව පිළිබද ගැටලුවකි.


නවකතාමය මානය


ඊලගට විමසා බැලිය යුත්තේ කෘතියේ අන්තර්ගත නවකතාමය මානය යි. මෙහි දී ද ‘‘නවකතාව යනු කුමක් ද යන්න පිළිබඳව යමක් සඳහන් කළ යුතු ය.

මේ කරුණ සම්බන්ධයෙන් ද ලෝකයේ විවිධ පුද්ගලයෝ විවිධ මත පළ කර ඇත. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයකට නොගොස් නවකතාව යනු කුමක් ද යන්න පිළිබද කෙටියෙන් ම පවසන්නේ නම්: ප්‍රබන්ධ චරිත, සිදුවීම් සහ ප්‍රදේශ ආශ්‍රිත කර ගනිමින් පිළිවෙළකට ගලාගෙන යන කතාවක් රචනා කිරිම ය. එය විදග්ධ භාෂාවෙන් පවසන්නේ නම් දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයක් රචනා කිරීම ය. නමුදු මෙය සාම්ප්‍රදායික අදහසකි; නිර්නායකයකි. මේ වන විට ලෝකයේ වෙසෙන බොහෝ ලේඛක ලේඛිකාවෝ මේ සාම්ප්‍රදායික සහ ආචීන කල්පිත නිර්නායක පසෙකලා තමන් කැමති ආකාරයකට ප්‍රබන්ධ රචනා කරති. එසේ කළ ද එම ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවේ යැයි හෝ නවකතා නොවේ යැයි හෝ පැවසිය නොහැකි ය. නමුත් ‘‘නවකතාව’’ යනු බැලු බැල්මට ම අලුත් කතාවක් විය යුතු ය. එහෙත් ‘‘අලුත්’’ යැයි කතාවක් තිබිය හැකි ද යන්න ඊළඟට නැගෙන පැනය යි. එනම් ලෝකයේ කවුරු කොතැනක ලියූව ද, කෙසේ ලියූව ද ලියන්නේ මිනිස් හැඟීම් ය; හැසිරීම් රටා ය; එදිනෙදා සිදුවීම් ය. ඒ සඳහා කදිම උදාහරණයක් සැපවූයේ නොබෙල් ත්‍යාග ලාභී කොලොම්බියානු ලේඛක ගබ්‍රියෙල් ගාෂියා මාකේස් ය.

 

GabrielGarciaMarquez

ගබ්‍රියෙල් ගාෂියා මාකේස්

 

ඔහු, නොබෙල් ත්‍යාගය ලබාගත් මොහොතේ පැවසුවේ ඔහු ලියන කිසිවක් මායා යථාර්ථවාදි හෝ ඉන්ද්‍රජාලික යථාර්වාදී නොවන බවයි. ඔහු වැඩි දුරටත් පැවසුවේ ඔහු ලියන්නේ ඔහුගේ ජීවන අත්දැකීම් බවයි.  නමුත් ඔහු සිය ලේඛන හැකියාව උපස්තම්භක කරගනිමින් තම ජීවන අත්දැකීම් පාඨකයා වෙත රැගෙන එන්නේ ඒ ආකාරයෙන් ම නොවේ; ප්‍රබන්ධීකරණ ස්වරුපයෙනි. එහි දී ඔහු මවන චරිත සහ සිද්ධි යථා ලෝකයේ සිදු නොවන දෑ ලෙස කිසිවකු සිතුව ද සැබැවින් ම නම් ඒ සියල්ල ඔහු අවට සිදුවු දෑ ය.

 

ඉදින් මංජුල වෙඩිවර්ධන නම් සාහිත්‍යකරුවා තම ජිවිතයේ ලද බොහෝ අනුභූති තම පරිකල්පනීය ශක්‍යතාව සහ ප්‍රබන්ධකරණ ශක්‍යතාව උපස්තම්භක කරගනිමින් ‘‘නවකතාවක්’’ ලෙස පාඨක ප්‍රජාව හමුවට රැගෙනවිත් ඇත. ඒ ඔහුගේ කතාව මතු නොව: ඔබේත්, මගේත් කතාව ය; අපේ කතාව ය. නමුත් එහි ඔබ සිටින තැන තෝරාගත යුත්තේ ඔබ ය. ඔබ දුටු දෙය කුමක්දැයි හදුනාගත යුත්තේ ඔබ ය. එය ඔබේ වගකීමකි. කතුවරයා සිය වගකීම ඔහුගේ පාර්ශ්වයෙන් ඉටු කර ඇත. එසේ නම් පාඨක ප්‍රජාව වන අපි අපේ කියවීම තුළ සිට මංජුලගේ කියවීම කියවාගමු.

 

අවසන් විග්‍රහය

 

ගසක් පරිපූර්ණ ගසක් වන්නට නම් එහි පොත්තක්, එළයක්, අරටුවක් මතු නොව මුඳුන් මුලක් ද තිබිය යුතු ය. පොත්ත, එළය මෙන් ම මුඳුන් මුල යනු ගසට ආරක්ෂාව සපයන පාර්ශ්ව වන අතර අරටුව යනු පහසුවෙන් විනාස කළ නොහැකි කොටස ය; වැඩි කලක් පවතින කොටස ය; වැඩි වටිනාකමක් ඇති කොටස ය. ‘‘මුන්ක්කරේ සංසාරේ’’ යනු ද එබදු ගසකි. මංජුල ගස සිටුවා රැක බලාගෙන, පෝෂණය කර පාඨක ප්‍රජාව වෙත බාර දී අවසන් ය.  එම ගසේ පොත්ත කුමක් ද, එළය කුමක් ද, මුඳුන් මුල කුමක් ද සහ අරටුව කුමක් ද යන්න වෙන් කර හඳුනාගැනීම කියවන ප්‍රජාව සතු ය.


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත

2023/01/29


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්