කිසියම් මාධ්‍ය ආයතනයක් තමන් වෙත ලැබෙන ප්‍රවෘත්ති ඒ ආකාරයෙන් ම වාර්තා කිරීම, සොයා ගොස් විමසා ආයතනය මගින් ම වාර්තා කරනු ලැබීම සහ එක් එක් දේශපාලන ව්‍යෘපෘති වෙනුවෙන්  ප්‍රවෘත්ති මවා වාර්තා කිරීම යන ක්‍රම තුනට ම අයත් ප්‍රවෘත්ති අපිට: කියවන්නට, අසන්නට සහ නරඹන්නට ලැබෙනවා.

ලංකාවේ නම් දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පුවත් මවා පළ කිරීම කිසිදු හිරිකිතයකින් තොරව කරන රටක්. මෙහි පවතින බියකරු බව සහ නිර්ලජ්ජිත භාවය මොන තරම් ද කියල අපි හුඟ දෙනෙක් දැනගෙන හිටියත් රටේ සාමාන්‍ය ජනතාවට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. පුළුවන්කමක් තිබුනත් තම තමන්ගේ වාසියට සහ අවාසියට අනුව ඒ සම්බන්ධයෙන් ගොළුවත රකිනවා. මෙන්න මේ තත්ත්වය ගැන ඉතා අගනා කරුණු කිහිපයක් පිළිබඳ හෙළිදරවු කෙරෙණ වැඩසටහනක් පසුගිය 10 වන දින කොළඹ මහජන පුස්තකාලයෙදි පැවැත් වුණා.

5ac10315 4fe5 4f42 856a 67bf89bf189bමේ සිද්ධියට නිමිත්ත වුණේ දක්ෂ ක්‍රිකට් විචාරකයෙක්, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වගේ ම ප්‍රවීණ නිවේදකයෙක් වන වජිර කැළුම් පෙරේරාගේ ‘‘ප්‍රවෘත්ති’’ කෘතිය ජනගත කිරීම. මම උත්සාහ කරන්නෙ අදාළ පොත ගැන කිසිවක් ලියන්න නෙවෙයි. එදින ඇතිවූ කතාබහ පිළිබඳ මගේ අදහස් කිහිපයක් (උනපූරණයක් කිව්වත් වැරැදි නෑ) ඉතා කෙටියෙන් ලියන්න.

මේ වැඩේ සම්පත් දායකයො විදියට සම්බන්ධ වුණේ: පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ජනාධිපති මාධ්‍ය අංශයේ සිසිර සී. විතාන, සන්නිවේදන අධ්‍යාපනඥයකු සහ ලේඛකයකු වන ආචාර්ය බන්දුල පී. දයාරත්න සහ හොරණ ශ්‍රිපාලි මණ්ඩපයේ හිටපු පීඨාධිපතිවරයෙකු වුණ මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන අය.

මේ වැඩේදි දැක්ක සුවිශේෂත්වය තමයි අදාළ කෘතිය පිළිබඳ සාකච්ඡා කරනවට වඩා ‘‘ප්‍රවෘත්ති’’ කියන්නෙ මොනව ද සහ එක් එක් පුද්ගලයන්ගේ සහ විවිධ බල ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රවෘත්ති භාවිත කරන්නෙ කොහොමද කියන කාරණය පිළිබඳ ඒ ඒ පුද්ගලයන්ගේ සහ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂය දරන මතය කුමක් ද යන්න සමාජ ගතකිරීම.

මේ අවස්ථාවෙදි වුනත් ඇතැම් දේශපාලනඥයන්ගෙ මුග්ධත්වය ඉතාම ලස්සනට පිළිබිඹු වුණා. මම ඒක හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයාගෙන් ම ආරම්භ කරන්නම්.


ස්වයං දෘෂ්ටිය සහ සමාජ දෘෂ්ටිය
 
 
harshana

නිවැරැදි නොවන, එහෙමත් නැතිනම් අසත්‍ය ප්‍රවෘත්ති නිසා ඔහු පුද්ගලිකව මුහුණ පෑ සිද්ධියක් උදාහරණයට අරගෙන ඔහුගේ අදහස් ඉදිරිපත් කරා. ඔහුගේ ප්‍රකාශයට අනුව 2010 හෝ 2011 වසරෙ දි ඔහු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ප්‍රභාකරන්ගේ මවගේ හෝ පියාගේ මළ ගෙදරට සහභාගි වුණ බවට පුවතක් (ඡායාරූප සමග) රුපවාහිනි නාලිකාවල ප්‍රචාරය වෙලා තියෙනවා. ඔහු මේ පිළිබඳව දැනුවත් නැහැ. ඇත්තට ම ඔහු ඒ මළ ගෙදරට සහභාගි වෙලත් නැහැ. ඔහුට මේ ආරංචිය දෙන්නෙ ආශ්‍රමයක භාවනා කරන තමන්ගෙ අම්ම. ඇය මොහුට දොස් පවරනව. ඊට පස්සෙ මොහු මේ සම්බන්ධයෙන් සොයා බලනවා. සිද්ධිය ඇත්ත. ඔහු නොගියපු මළ ගෙදරක ගියපු බවට දින කිහිපයක් ම ප්‍රවෘතිත් පළ වෙලා තියෙනව.

දැන් මෙතනදි මතුවෙන ගැටලුව වෙන්නෙ ඔහු මේ සම්බන්ධයෙන් පසුතැවෙන හේතුවක් හෝ කිහිපයක් ගැන. එකක් කියනව එයාගෙ අම්ම විස්මයට පත්වෙලාලු එයා ප්‍රභාකරන්ගෙ අම්මගෙ හෝ තාත්ගෙ මළ ගෙදර ගියපු එක. ඒ කියන්නෙ පුතා දේශපාලනඥයෙක් විදියට හෝ සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ප්‍රභාකරන්නෙ අම්මගෙ හෝ තාත්තාගේ මළ ගෙදරට සහභාගි වෙනවට හර්ෂණගෙ අම්ම කැමති නෑ. තවත් විදියකින් ගත්තම රටේ මිනිස්සු මේ වැඩේ ගැන මොනව හිතයි ද...? මෙන්න මේ කාරණා දෙක නිසා මේ ප්‍රවෘත්තිය හර්ෂණට අවුල්. හැබැයි මෙතන දි හර්ෂණ අමතක කරනවා ඇත්තට ම එහෙම ගියා නම්, ඒ කියන්නෙ ප්‍රභාකරන්නෙ අම්මගෙ හරි තාත්තගෙ හරි මළ ගෙදරට එක්සත් ජාතික පක්ෂයෙ පිරිසක් එක්ක එයා සහභාගි වුණා නම් කාටවත් ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියල අහන්න. මොකද අපි දන්නවා රාජපක්ෂ සනුහරේ ඉඳල බොහෝ දේශපාලනඥයො සහ විවිධ දේශපාලන ව්‍යාපාරල්එල. ටී. ටී. ඊ. සංවිධානය එක්ක ගනුදෙනු කරපු විදිය. ඒක ප්‍රේමදාස යුගයෙ ඉඳලම පවතින සිද්ධි දාමයක්. දැනටත් ඒක ඒ විදිය ම යි.

මේ සිද්ධියෙ දි ඇත්තට ම හර්ෂණ අවුල් වෙන්නෙ හර්ෂණ එහෙම වැඩක් කරාද නැද්ද කියන කාරණය නිසා නෙවෙයි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අනිකා බලන කෝණය සම්බන්ධයෙන්. එදා පැවති වාතාවරණය අනුව ‘‘ඔවු අපි ඒ මළ ගෙදර ගියාම කියමුකො. ඉතිං කාටවත් තියෙන ප්‍රශ්නෙ මොකද්ද...?’’ කියල අහන්න බැරි වුණත් අද හර්ෂණට පුළුවන් ඒහෙම අහන්න. නමුත් එහෙම අහන්න තරම් සවිමත් කශේරුකාවක් හර්ෂණට නෑ. ඒ කියන්නෙ හර්ෂණ පුද්ගලිකව ගත්තත් ප්‍රභාකරන්ගෙ අම්මගෙ හෝ තාත්තගෙ මළ ගෙදරට සහභාගි වෙන එක හරි අවුල් සහගත වැඩක්. මට අනුව නම් හර්ෂණ ප්‍රභාකරන්ගෙ අම්මගෙ හෝ තාත්තගෙ නෙවෙයි ප්‍රභාකරන්නෙ ළල ගෙදරට සහභාගි වුණත් අවුලක් නෑ. මොකද මනුස්සයෙකුට තවත් මනුස්සයෙකුගෙ මළ ගෙදරට සහභාගි වෙන එක ගැන ප්‍රශ්ණ කරන්න කාටවත් අයිතියක් නෑ. ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ කැමැත්ත. මං හිතන්නෙ හර්ෂණ මතු කරන්න වුවමනා සහ සාකච්ඡා කරන්න වුමනා මෙන්න මේ කාරණය. නමුත් ඔහු, ඔහුගේ පුද්ගලික එහෙමත් නැතිනම් ස්වාධීන මතය ආවරණය කරගන්න අර යට කියපු ප්‍රවෘතිය තිර රෙද්දක් විදියට භාවිත කරනවා. අහම්බයකින් හරි හර්ෂණ මන්ත්‍රිවරයා මේ ලිපිය කියෙව්වොත් මට නෙවෙයි... රටට කියන්න. ඔය කියපු මළ ගෙදරට සහභාගි නොවුණට ඒ සම්බන්ධයෙන් ඔයාගෙ අවංක අදහස මොකක්ද කියල. ඒ අනුව ඔයාගෙ දේශපාලන සහ සමාජ ස්ථාවරය මොකක්ද කියල අපිට තීරණය කරන්න පුළුවන්.


අඳා මාළු ඉරටුවෙන් කන විදිය
 
 
sanjeewa ediri
දෙවනුව අදහස් ඉදිරිපත් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න. ඔහු නියෝජනය කරේ පොදු පෙරමුණ. තවත් පැහැදිලිව කියනවා නම් පොහොට්ටුව. ඇත්තට ඔහු ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වර්තමානෙ පවතින ඇත්ත තත්ත්වය අර්ථකථනය කරා. හැබැයි ඔවුන්ගේ දේශපාලනයෙන් ඒ ඇත්ත වියුක්ත කරල. ඒක ඔහුගේ ම වචනවලින් කියනවා නම් ‘ඇත්ත වගේ එකක් ඇත්තට එහාට ගිහින් නිර්මාණය කරල එළියට දානවා’ කියල තමයි ඔහු කිව්වෙ. ඔහු එතනදි කියනවා ‘‘මේක තමයි ලෝකෙ තියෙන සාහසික ම අවුල’ කියල. ඒ කියන්නෙ එහි සාහසිකත්වය ඔහු හොඳින් ම දන්නවා. එහෙම දන්න එයා ඒකට උදාහරණයක් විදියට ඉදිරිපත් කරන්නෙ මොකක් ද...? 2018 අවුරුද්දෙ මහින්ද රාජපක්ෂ අනීතික ලෙස අගමැති ධුරයෙ දිවුරුම් දුන්නට පස්සෙ පාර්ලිමේන්තුව ඇතුළෙ ගෝත්‍රකයො පිරිසක් කරපු කලබගැනියක දි ජොන්ස්ටන් ප්‍රනාන්දු බයිබලයකින් කිසිවෙකුට පහර දුන්න කියල සමාජගත වුණ සිද්ධිය. ඔවු... ඒක බයිබලයක් නෙවෙයි කියල අපි නම් ඒ දවස්වල ම දැනගෙන හිටිය. නමුත් ඔහුගේ ම වචනවලින් සඳහන් කරණ ‘‘පශ්චාත් සත්‍ය’’ ඇතුළත් ඊට වඩා බරපතළ සිද්ධි ගණනාවක් ම මේ රටේ සිද්ධ වුණා. ඒ ගැන ඔහු සිහිපත් කරේ නෑ. කරූ පරණවිතාන තමන්ගෙ අදහස් දැක්වීමෙදි මේ සම්බන්ධයෙන් සංජීව එදිරිමාන්නට අතුල් පහරක් එල්ල කරා. ඒ අතුල් පහර එල්ල කරන්න කලින් මමත් ඒ විදියට ම හිතෙන් සංජිව එදිරිමාන්නට අතුල් පහරක් එල්ල කරල තිබුණෙත් කරූ පරණවිතාන මතු කරපු කාරණය පදනම් කරගෙන ම යි.
 
 
ඒ තමයි 2019 වසරේ සිදු කරපු සාහාසික ම ක්‍රියාව; මුසල්මානු වෛද්‍යවරයෙක් වුණ සාෆි සම්බන්ධ පුවත. ජොන්ස්ටන් ප්‍රනාන්දු බයිබලයකින් ගැහුව කියපු කාරණය මතක තිබුණ සංජීව එදිරිමාන්නට දොස්තර සාෆිගෙ සිද්ධිය අමතක වෙන්න විදියක් නෑ. හැබැයි අමතක වෙලා වගේ පෙන්නනවා. ඇයි ඒ...? ඒ තමන්ගෙ සහ තම කණ්ඩායමේ දේශපාලන බල ව්‍යාපෘතිය රැක ගන්න. ඇත්තට ම සංජීව මන්ත්‍රීවරයා එදා ජොන්ස්ටන්ගෙ සිද්ධිය නැතුව මේ සාෆිගෙ සිද්ධිය මතු කරා නම් ඔහු අවංක දේශපාලනඥයෙක් කියල මඳකට හරි විශ්වාස කරන්න තිබුණ. නමුත් ඔහු තමන්ගෙ විතරක් නෙවෙයි තමන් නියෝජනය කරන දේශපාලන කඳවුරේ සැබෑ නිරුවත වෙනත් රෙද්දකින් ආවරණය කරා. මේකත් එක්තරා විදියක සාහසික ක්‍රියාවක් තමයි. ඒ සාහසික ක්‍රියාවට දැන් ඔහු සම්බන්ධ වෙලා ඉන්න දේශපාලන කඳවුරේ හැම දෙනා ම වග කියන්න ඕන. හැබැයි ඒ ගැන වගේ වගක් නැතුව ඉන්න විදිය සහ කටයුතු කරන විදිය දැක්ක ම ඇත්තට ම ලජ්ජයි; පිළිකුල්සහගතයි.
 
 
යටි අරමුණේ සාපේක්ෂතාව
 
 
klsj
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඔහුගේ අදහස් දැක්වීමේ දී කියපු කාරණයක් තමයි රටේ බහුතරයක් ජනතාව මාධ්‍ය ආයතන කෙරෙහි විශ්වාස නොකරට මාධ්‍ය වේදියා (මැති ඇමතිවරුන්ගේ නිවාසවල දවසරින අය හැර) විශ්වාස කරන බව. ඇත්තට ම මාධ්‍යෙව්දියා පිළිබඳ විශ්වාසයක් ඇතුව තමයි කිසියම් පුද්ගලයෙක් අදාළ මාධ්‍යෙව්දියා වෙත තමන් දන්න තොරතුරක් සපයන්නෙ. මාධ්‍යවේදියා තමයි ඒක ප්‍රවෘත්තියක් බවට පත් කරන්නෙ. නමුත් ඇතැම් මාධ්‍ය ආයතන ඒ ප්‍රවෘත්ති විකෘති කරනවා. ඒක තමයි තිත්ත ඇත්ත. මේකෙදි රාජ්‍ය මාධ්‍ය ආයතන ද පුද්ගලික මාධ්‍ය ආයතන ද කියල වෙනසක් නෑ. මේ දෙපාර්ශ්වය ම මාධ්‍යවේදියා කෙරෙහි ජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කරනවා.

නලින්ද ජයතිස්සගෙ කතාවෙදි ඔහු අර සංජීව එදිරිමාන්න ඉදිරිපත්කරපු ආකාරයේ ම අදහසක් ඉදිරිපත් කරා. මෙතනදි අපිට ආයෙත් මතක්වෙන්නෙ ඇල්බට් අයින්ස්ටයින්ගෙ සාපේකෂතාවාදය. නලින් තම අදහස් දැක්වීමේ දි කිසියම් සාධනීය කරුණක් සිහිපත් කරල ඒකට විරුද්ධ වුණා කියලත් කියනව. කරුණ තමයි යහපාලන ආණ්ඩු සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සම්බන්ධයෙන් යම් නව්‍ය අදහසක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මැතිවරණයක දි ඒ ඒ මාධ්‍ය ආයතන කටයුතු කරන්නෙ කුමන පක්ෂයක් වෙනුවෙන් ද කියල ඍජුව ප්‍රකාශ කරන්න කියන අදහස. නලින්ද ජයතිස්ස මෙතනදි කියනව ඒ අදහස නරක නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ ඒ යෝජනාව ගේන්නෙ යටි අරමුණක් ඇතුව අපි ඒ නිසා ඒ යෝජනාව පරාද කරා කියල. හැබැයි එයාල උපකල්පනය කරපු රනිල් වික්‍රමසිංහගෙ යටි අරමුණ මොකක් ද කියල නලින් කිව්වෙ නෑ. ඒ ගැන මට තියෙන උපකල්පනය මෙහෙමයි. මම දන්නෙ නැහැ ඒක එහෙම ම ද කියල.
 
 
අපි දන්නව මේ දවස්වලත් එක් එක් මාධ්‍ය ආයතන එක් එක් දේශපාලන පක්ෂ වෙනුවෙන් වැඩ කරනවා. එදා රනිල් වික්‍රමසිංහ ගෙනාපු යෝජනාව පරාද නොකරා නම් ඒ ඒ ආයතනවල නිරුවත ජනතාවට දැකගන්න ලැබෙනවා. ඒක නරක නැහැ. ඇත්තට ම එතනදි ජනතාවට පුළුවන් පඩත්තර මාධ්‍ය ප්‍රචාරණවලට නොරැවටී ස්වාධීන තීරණයකට එන්න. නමුත් ඒක පරාද කරපු එකෙන් මොකද වුණේ...? ඔය කියන මාධ්‍ය ආයතන විසින් ම පුම්බනු ලබන දේශපාලන ව්‍යපාර වෙත පමණක් ජනතා අවධානය යොමු වීම නෙවෙයි ද...? ඒක එහෙම වෙන එක හොඳයි ද...? මට නම් දැනුණෙ ඔහු නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් පවා යම් තරමකට පෙනී සිටින මාධ්‍ය ආයතනයක් පවතිනවා නම් අදාළ ආයතනයේ නිරුවත මෙන් ම අදාළ දේශපාලන ව්‍යාපාරයේ නිරුවත ප්‍රදර්ශනය වෙන එක වළක්වා ගන්න ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සහයෝගය දුන්න කියල. ඒක එහෙම නෙවයි නම් නලින්ද ජයතිස්සට පුළුවන් තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය රනිල් වික්‍රමසිංහගෙ යෝජනාවෙ තිබුණා යැයි  උපකල්පනය කරපු යටි අදහස මොකක්ද කියල හෙළිදරවු කරන්න.
 
නමුත් අර මම යට කියපු සාපේක්ෂතාවාදයට අනුව නම් ඒ යටි අරමුණ මොකක් ද කියල හෙළිදරවු කරන්න නලින්ද ජයතිස්ස නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයත් අසමත්. මොකද එතනදි එයාලගෙ නිරුවතත් ජනතාවට ප්‍රදර්ශනය වෙන නිසා.
 
 
කරූ පරණවිතානගේ අතුල් පහර
 
 
karu
හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන විශේෂයෙන් ම මතු කරපු කාරණය වුණේ සංජීව එදිරිමාන්න හංගපු දොස්තර සාෆිගෙ සිද්ධියට අදාළව මාධ්‍ය එදා කටයුතු කරපු ආකාරය සහ අද කටයුතු කරන ආකාරය.
 
 
ඇත්තට ම ඒ අනුව බලද්දි මේ වෙද්දි ලංකාවෙ තියෙන එකම මාධ්‍ය (මුද්‍රිත, විදයුත් සහ සමාජ මාධ්‍ය) ආයතනයක් හෝ මාධ්‍ය සදාචාරය කියන දේ තඹ සතේකට මායිම් නොකරන බව පැහැදිලියි. එහෙම සදාචාරයක් තියෙනවා නම් එදා සාෆිට එරෙහිව අවලාද ලියපු, ප්‍රදර්ශනය කරපු සහ කියවපු මාධ්‍ය ආයතන මේ වෙද්දි සාෆිගෙන් ප්‍රසිද්ධියේ ම සමාව ගන්න ඕනෙ. එදා මවපු පුවත වෙනුවෙන් එක දිගට මාස ගණනක් පිටු පුරා ලියපු, ගුවන් කාලය පැය ගණන් වැය කරපු මාධ්‍ය ආයතන එක වාක්‍යයක් ලියල, එක වාක්‍යයක් කියල දොස්තර සාෆිගෙන් සමාව ගත්තෙ නෑ; අවම වශයෙන් (මගේ මතකයට අනුව) එදා කරපු නිර්ලජ්ජිත වැඩේ ගැන කනගාටුව පළ කරේ නෑ. කරූ පරණවිතාන දිගින් දිගට ම කිව්වෙ මෙන්න මේ තත්ත්වයෙන් මාධ්‍ය ආයතන වගවීමෙන් කටයුතු කරන්න ඕනෙ කියන කාරණය. මෙතෙක් අදාළ මාධ්‍ය ආයතන තම කනගාටුව පළ කරේ නැතිනම් දැනටත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීම කෙසේ වෙතත් අවම වශයෙන් කනගාටුව ප්‍රකාශ කරන්න කාලය ඉතුරු වෙලා තියෙනවා.
 
 
පුබුදුගේ සංසන්දනය
 
 
pubudu
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය අදහස් දැක්වීමේ දී එදා දවසේ පුවත්පත්වල සඳහන් පරස්පරතා පිළිබඳව උදාහරණ සහිතව ම කරුණු ඉදිරිපත් කරා. ඒ කරුණු වචන විදියට කියවනවට වඩා නරඹන එක හොඳ නිසා එම විඩියෝව නරඹන්න. එවිට මෙය කියවන අයට දැනේවි එක් එක් මාධ්‍ය ආයතන එකම පුවත තම තමන්ගේ බල ව්‍යාපෘති වර්ධනය කරගැනීම සඳහා භාවිත කරන්නෙ කොහොමද කියල. ඒ වගේ ම සත්‍ය පවා විකෘති නොකර ම එය ද තමන්ගෙ බල ව්‍යාපෘති වෙනුවෙන් කපල කොටල භාවිත කරන්නෙ කොහොමද කියල. ඇත්තට ඒ සිදුවීම් ඉතාම නිර්ලජ්ජිතයි; පිළිකුල්සහගතයි වගේ ම බියකරුයි. මහජන මතය ව්‍යාකුල කරන්න ඒ පුවත් ඉතා දැඩි ආකාරයෙන් බලපානවා.


පුවත්පත් මණ්ඩලය මොනවට ද...?
 
 
sirisis
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය අංශයේ සිසිර සී. විතාන ද නව්‍ය අදහසක් ඉදිරිපත් කරා. ඒ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ පුවත්පත් පැමිණිලි කොමිසම සම්බන්ධයෙන්. ඔහුට අනුව මෙම ආයතන දෙක ම කිසිදු ප්‍ර යෝජනයක් නොමැති ඵල රහිත ආයතන දෙකක්. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියන කාරණයත් ඔහු ඉතා සරලව සහ උදාහරණ සහිතව ඉදිරිපත් කරා. ඔහුගේ අදහස්වලට සවන් දුන්නට පස්සෙ එහි යථාර්ථය අවබෝධ වුණා. ඇත්තට ම ඒ අනුව නම් අදාළ ආයතන දෙක ම කිසිදු ඵලයක් නැති ආයතන දෙකක්. තවත් සරලව ම කියනවා නම් සුදු අලියෙක්. ඉතිං එහෙම ආයතන නඩත්තු කරන්න අපේ (ජනතාවගෙ) මුදල් තව දුරටත් වැය කරනවද නැද්ද කියල බලධාරින්ගේ අවධානය යොමු වෙනවා නම් ඉතාමත් වටිනවා.


ජනතාව නන්නත්තාරයි
 
bandula
සන්නිවේදන අධ්‍යාපනඥයකු සහ ලේඛකයකු වන ආචාර්ය බන්දුල පී. දයාරත්න ද වර්තමාන ප්‍රවෘත්ති මාෆියාව සම්බන්ධව නවමු අදහසක් ඉදිරිපත් කරා. එනම් දැනට පවතින ප්‍රවෘති යනු ජනතාව හසුරුවන බලවේගයක් ය යන්න බැහැර කරන ඔහු පවසන්නේ සැබැවින් ම වර්තමාන ප්‍රවෘත්ති යනු ජනතාව හසුරුවන බලවේගයකට වඩා ජනතාව නන්නත්තාර කරන බලවේගයක් බවයි.

එහි දී ඔහු තවත් විශේෂ සිද්ධියක් ද සිහිපත් කරා. එනම් ලංකාවේ ජනතාවට සර්ව ජන ඡන්ද බලය ලබා දීමට තරම් සුදුසු ජනතාවක් ලංකාවේ නොවෙතැයි සෝල්බරි සාමිවරයා පැවසුවට පස්සෙ ඔහු රැවටීම සඳහා ‍ෙ. එස්. සේනානාහෛවත් ජාතියේ පියා විසින් ක්‍රියාත්මක කරවන ලද ප්‍රෝඩාවක්. එය එක් පසෙකින් විසුළු සහගත වුව ද තවත් පසෙකින් ඉතා නිහින කටයුත්තක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේ ම ඒ සිද්ධිය ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කදිම නිදසුනක්.


ප්‍රජාතනත්‍රවාදයේ ස්වර්ණමය යුගය අවසන්
tudar
වර්තමානයේ ලංකාවේ පමණක් නොව සමස්ත ලොව පුරා පවතින පවතින ප්‍රවෘත්ති යනු කවුරුන් වෙනුවෙන්, කවුරුන් විසින් සම්පාදනය කරන ලද්දක් ද සහ එහි අනිටු විපාක අනාගතයට බලපාන්නේ කොහොමද කියන කරුණ සම්බන්ධයෙන් අගනා අදහස් දැක්වීමක් හොරණ ශ්‍රිපාලි මණ්ඩපයේ හිටපු පීඨාධිපතිවරයෙකු වූ මහාචාර්ය ටියුඩර් වීරසිංහ විසින් ඉදිරිපත් කරා.
 
 
ඔහු පවසන්නේ මේ ගත කරන නිමේෂය සමස්ත ලෝක ජනතාව වෙත ම මනුෂ්‍යත්වය අහිමි කරමින් යන මොහොතක් කියලා. ඔහුගේ සමස්ත අදහස් දැක්වීම තුළ ප්‍රකාශ කරන්න උත්සාහ කරේ මේ මොහොත කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරන මොහොතක් කියල. තවත් සරලව ම කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය යුගය අවසන් කියල.
 
 
ඇත්තට ම ඔහුගේ අදහස් කියවනවාට වඩා අහන එක වඩාත් සුදුසුයි. මොකද ඔහුගේ අදහස් අප වෙත ජාත්‍යන්තර සන්නිවේදන කාර්ය පිළිබඳ නවමු අදහස් ගොන්නක් ඉදිරිපත් කරන්නට සමත් වුණා. ඒ ගැන විශේෂයෙන් ම සඳහන් කරන්න ඕනෙ.

වජිර කැළුම් පෙරේරාගේ කෘතිය තවම කියවා නොමැති වුව ද එය ජනගත කරපු මොහොතේ සමාජගත වුණ අදහස් අප මේ මොහොත, මේ ආකාරයට ගතකරන්නේ කාගේ වරදින් ද යන්න මැනවින් පිළිබිඹු කෙරෙන කැඩපතක්.
 
 


jayasiri 04 e1619629387941
 
 
 
 
 
 
 
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/03/12


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්