මේ මොහොතේ රට මුහුණ දෙන අර්බුදය කුමක් ද? මේ මොහොතේ රට මුහුණ දෙන අර්බුද එකක් නොව කිහිපයකි.

ඒවා නම් කෙරෙන්නේ ඔබ කතා කරන්නේ කවුරුන් සමගද යන්න අනුවය.

 

කොළඹ මැදපංතික සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට අනුව රටේ බරපතලම ප්‍රශ්නය ජනාධිපති වික්‍රමසිංහ කුරිරු මර්දනයක් දියත් කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීම ය. පසුගිය දිනවල කොළඹ කේන්ද්‍රීයව ආණ්ඩුව මුදා හැරි මර්දනය අතිශයින්ම කුරිරු විය. එයට පසුබිම හදන්නේ සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය නොවේ යැයි තර්ක කරන්නටද නොහැක. පොලීසිය හා ගැටෙන්නට ප්‍රජාතන්ත්‍රවාදයක් නොදන්නා පෙරටුගාමී ශිෂ්‍ය සංවිධානය වන අන්තරේ ලවා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් කොළඹට ගාල් කිරීම මර්දනයට පසුබිම හදන්නේ නැතැයි තර්ක කළ නොහැක.  
ඊට වඩා සාධාරණ සාමකාමී විරෝධතා කොළඹ කේන්ද්‍ර කරමින් සංවිධානය කෙරෙන්නේය.

 

image d027126a2c

 

බදු අය කිරීමට එරෙහි වෘත්තිකයින් කියන්නේ ජා.මූ.අරමුදලේ නිර්දේශ මත ආණ්ඩුව ක්‍රියාත්මක කරන බදු ප්‍රතිප්තිය ඔවුනට ජීවිත් විය හැකි ආදායමක් ඉතිරි නොකරන බවය. එහි සත්‍යයක් නැතුවා නොවේ. පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට අනුව ලක්ෂයකට වැඩි ඔවුන්ගේ රැකියා පසුගිය වසරක පමණ කාලයේ අහෝසීවී ඇත. තවත් රැකියා අනතුරේය. ඔවුන්ගේ වැටුප් කප්පාදු කෙරෙන්නේය. ඒවා ගැන සමාජයේ ලොකු ගෝසාවක් නැතත් ඒ ආර්ථික පීඩනය, ඒ රැකියා අනතුරද සැබෑය.

 

ග්‍රාමීය සමාජයේ පහළ ස්ථරය බරපතල ආර්ථික අහේනියකට හසුව ඇත. දරුවන්ගේ ආහාර වේල කප්පාදු කිරීමට, ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය අත හරින්නට බල කෙරෙන ආර්ථික අහේනියක් ගැන ග්‍රාමීය සමාජයේ බහුතරයක් කියති.

 

උතුරු නැගෙනහිර ජනතාවට දකුණේ සිංහල සමාජයට අදාල ඒ සියල්ලත් සමග, ඔවුන්ගේ ඉඩම් අහිමිවීම්, ඔවුන් ධීවර කර්මාන්තයේ යෙදෙන ඔවුන්ගේ මුහුද බාහිරින් ආක්‍රමණය කිරීම, ආරක්ෂක අංශයන්හි අනුග්‍රහය ඇතිව ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව හෑල්ලු කිරීම, ඔවුන්ගේ අනාගතය බරපතල තර්ජනයකට හසුකර ඇත. 

 

රට මුහුණ දෙන අර්බුදය කුමක්දැයි ඇසූවිට ලැබෙන එවැනි පිළිතුරු සියල්ල එකට ගත්තත් අර්බුදයේ ඇත්ත දිග පළල ඉන් කියවෙන්නේ නැත. ගෝලීය ආර්ථිකය හා ගැට ගසන්නට අවුරුදු 40 ට පෙර අපේ ආර්ථිකය විවෘත කළ දා සිට මේ සමාජය වල් වැදෙමින් තිබිණ. ජාතික අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, පොදු මගී ප්‍රවාහනය පිරිහෙන්නට විය. නීතිය අයාලේ යැවූ, අධිකරණයට ‘හූ’ තියූ, අල්ලස සම්මතයක් කරමින් කොමිස් ගැසූ, රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කරමින් දූෂණයට ගැට ගැසූ, කැලෑ පාළු කළ, ආත්මාර්ථකාමී කෑදර සමාජයක කොන්තරාත් මිනී මැරීම්, මත්ද්‍රව්‍ය අලෙවිය, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර දෛනික ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට විවෘත වෙළඳපල ආර්ථිකය විසින් පත් කරනු ලැබිණ. සමස්ථ සමාජයම අශීලාචාර වනචාරී සමාජයක් බවට පත් කෙරුණි.

 

parliment 1

ජනාධිපති වික්‍රමසිංහ සමග ආර්ථික විශේෂඥයින් සහ ආයෝජන උපදේශකයින් ආණ්ඩුවේ මර්දනය සාධාරණය කරන්නේ අර්බුද ගොන්නකට හසුව තිබෙන මේ ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකය නැවත අටවා ගැනීමට අවශ්‍ය සමාජ නිහැඬියාව වෙනුවෙනි. එයට හේතු දැක්වීම් කෙරෙන්නේ විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට සමාජයේ එවැනි නිහඬතාවක් අවශ්‍යයැයි කියමින් ය.

අවුරුදු 40 ක කාලයක් හැම දේශපාලන නායකයෙකුම හැම ආණ්ඩුවක්ම රටට කියුවේ ඒ කතාවය. හැම ආණ්ඩුවක්ම ජනතාවගේ බදු මුදල් වැය කෙරුවේත් විදේශ ආයෝජන සඳහා යැයි මෙතෙක් ගණන් බලා නැති රුපියල් ප්‍රකෝටි ගණනක දේශීය ආදායම් අත හැරියේත් සෘජු විදේශ ආයෝජන මගින් රට දියුණු කිරීමට පොරොන්දු වෙමින්ය.

එනිසා දැන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ විදේශ ආයෝජකයින් ගෙන්වා ගෙන අප ලැබූ දියුණුව කුමක්ද යන්නය. රුපියල් ප්‍රකෝටි ගණනක ආදායම් හිලව් කරමින් ගෙන්වා ගත් සෘජු විදේශ ආයෝජන මගින් ජන ජීවිතයේ වැදගත් දියුණුවක් ඇතිව තිබේද යන්නය.

මේ විවෘත වෙළඳපල ආර්ථිකය මගින් අපට අවශ්‍ය තරම් විදේශ විනිමය ඉපැයීමට නොහැකි වූයේ දූෂණය හා වංචා නිසා නොවේ. ආනයනය සඳහා උපරිම නිදහසක් ලබා දී ඇති හෙයින් ජයවර්ධන ජනාධිපතිගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය දක්වාද ආනයන වියදම පියවා ගැනීමට අවශ්‍ය විදේශ විනිමය අපට අපනයන මගින් උපයා ගැනීමට නොහැකි විය.

 

ආර්ථිකය විවෘත කිරීමට පෙර 1976 අවසන් වනවිට විදේශ විනිමය අහේනියක් අපට නොතිබුණි. නමුත් ආර්ථිකය විවෘත කිරීමෙන් අවුරුදු 10 ට පසු 1988 දී වෙළඳ හිඟය ඩොලර බිලියන 0.8 ක් විය. චන්ද්‍රිකා පාලනය 2005 දී අවසන් වනවිට එය ඩොලර බිලියන 02.2 ක් විය. දිගු ඇදුණු යුද්ධය තියුණු මහා යුද්ධයක් බවට පත් කෙරුණු අවසන් වසර දෙකෙහි යුධ වියදම්ද සමග වසර 09 ක යෝධ දූෂණ වංචා සිදුවිනැයි කියූ රාජපක්ෂ යුගය අවසන්කර යහපාලන ආණ්ඩුව 2015 බලයට පත් වන විට වෙළඳ හිඟය ඩොලර බිලියන 06.1 කි. අවුරුදු 05 ට ආසන්නවූ යහපාලන ආණ්ඩුව ඉවත් වූ 2019 අවසානයේ එය ඩොලර බිලියන 05.1 ක් විය. වාර්ෂිකව මේ අවුරුදු 40 ක කාලයේ එළෙසින් ණයට ගත් විදේශ විනිමය එකතුව කොතෙක්දැයි තනි පිටුවක නැත.

fullsizeoutput 3c5 1200x550

ඒ වෙළඳ ශේෂ පියවා ගැනීමට අමතරව, “සංවර්ධන” ව්‍යාපෘති වශයෙන් යටිතල පහසුකම් හා වෙනත් යෝධ ඉදිකිරීම් වෙනුවෙන් ආයෝජනය කිරීමටද ආණ්ඩු විසින් විදේශ ණය ලබා ගෙන ඇත. එහෙත්  මේ ණයකාර ආර්ථිකයට විකල්ප කතා වන්නේ නැත. ආර්ථික විශේෂඥයින් ආර්ථික විද්‍යාඥයින් හා පර්යේෂකයින් ගෝලීය වශයෙන් පුහුණු කරනු ලබන්නේ විවෘත වෙළඳපල ක්‍රියාකාරිත්වය සඳහා විකල්ප නැතැයි ඇදහීමට ය.

එවගේම ශක්තිමත් විවෘත වෙළඳපල ආර්ථික යැයි කියන්නාවූ සියලු රටවල් දූෂිත රටවල් ය. චීනය, ලොව දූෂිතම රටවලින් එකකි. ඉන්දියාව, වියට්නාමයද එවැනිය. දූෂණ වංචා හා නාස්තිය විවෘත වෙළඳපල ආර්ථිකයන්හි ආවේනික ලක්ෂණය. මේ ආර්ථිකයට විකල්ප නැති සැවොම අනෙක් අතට බලය වෙනුවෙන් පෙනී සිටින්නේ මහ ජාතියේ ආධිපත්‍ය සඳහා ඉදිරිපත් කරන්නාවූ ආගමික අන්තවාදය හා වර්ගවාදය සමග ය. දකුණු ආසියාවේ දැවැන්තයින් සියල්ලන්ගේ තත්ත්වය එවැනිය.

 

වික්‍රමසිංහ ජනාධිපතිටද ඉන් වෙනස් විය නොහැක. ඔහුට ඇමෙරිකානු සහ පැරිස් සංගමය වැනි ආර්ථික හවුල්වල සහාය සමග ජා.මූ. අරමුදලේ මැදිහත්වීම ලැබෙන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය යළි නඩත්තුකර ගැනීමට වාගේම චීන බලපෑමෙන් මිදුණු ඇමෙරිකානු දේශපාලනයට අවනත රාජ්‍යයක් පවත්වා ගැනීමටය. එවැන්නක් අධිකාරවාදී පාලනයකින් තොරව පවත්වා ගත නොහැක. ජා.මූ.අරමුදලෙන් ලැබෙන ආර්ථික සහායේ නොකියවෙන භූ-දේශපාලනික මාර්ගෝපදේශනය වන්නේ එය ය. එනිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ක්‍රියාත්මක කිරීමේ කොන්දේසි ජා.මූ.අරමුදලට අදාල නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු වෘත්තීය සමිති පිහිටුවීම හා වෘත්තීය සමිති සාමාජිකත්වය ලැබීමේ අයිතිය පෞද්ගලික අංශයේ කම්කරුවන්ට සහතික කිරීමේ කොන්දේස අදාල නැත. කෙටිම කතාව නම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා කොන්දේසි ඔවුන්ට අවශ්‍ය නැත. 

 

ජා.මූ.අරමුදලෙහි ප්‍රකාශිත යෝජනා ලෙස ඉදිරිපත් කෙරෙන කොන්දේසි වන්නේ,



 (1) සමස්ථ ආයතනික වියදම පියවා ගත හැකි අයුරු ඉන්ධන මිල හා විදුලිය ගාස්තු සංශෝධනය කිරීම.

 (2) දේශීය ආදායම් වැඩිකර ගැනීම වෙනුවෙන් බදු පදනම පුළුල් කිරීම.

(3) දුප්පත් හා අවදානම් තත්ත්වයේ ඉන්නා ජනතාව වත්මන් අර්බුදයේ බර කර ගසන හෙයින් සමාජ රක්ෂණ ආවරණය ඒ සඳහා වඩා ඉල්ලක්කගත වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කිරීම.

 (4) මූල්‍ය කලමනාකරණය ශක්තිමත් කිරීම හා දත්ත පදනම්වන මුදල් ප්‍රතිපත්තියක් සමග මිල ස්ථාවරත්වයක් ඇති කිරීමත් උද්ධමනය පාලනය කිරීමේ නම්‍යශීලී පිළිවෙතක් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය දියුණු කිරීම වෙනුවෙන් නව මහ බැංකු පනතක් සම්මත කිරීම.

(5) බැංකු පනත සංශෝධනය කිරීමත් සමග වෙළඳපල මුල් කෙරෙන හා නම්‍යශීලී විනිමය අනුපාතයක් මත යළි විදේශ විනිමය සංචිතයක් ඇති කිරීම.

(6) මහජන මුදල් කලමනාකරණය දියුණු කිරීමෙන් හා මූල්‍ය ගනුදෙනු විවෘත කිරීමෙන් දූෂණය සඳහාවන ඉඩ ප්‍රස්ථා අවම කිරීම ය.

 

ආරම්භයේදීම කිව යුත්තේ දූෂණය අවම කිරීමට ඔවුන් යෝජනා කරන විවෘත භාවය ඔවුන් අනුගනමනය නොකරන බව ය. ඔවුන් සමග අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම ඔවුන් තවමත් ප්‍රසිද්ධකර නැත. කෙසේ නමුත් එහි ඇත්තේ අවුරුදු 40 ක් අසාර්ථක වූ නාස්තිය, දූෂණය, අපරාධ වගා කළ, වාර්ගික හා ආගමික අන්තවාදය වපුරන්නට සහ වත්මන් ආර්ථික කඩා වැටීමට සාර්ථක පදනමක් හැදූ මේ විවෘත වෙළඳපල ආර්ථිකය තව දුරටත් විවෘත කරමින් ගෝලීය ආර්ථිකයට ගැට ගැසීමේ යෝජනා පමණි. එවැනි සැළසුමකින් අපේ දේශීය ආර්ථිකය දියුණු කළ නොහැක. ජාතික අධ්‍යාපනය, ප්‍රජා සෞඛ්‍ය සමග ජාතික සෞඛ්‍ය සේවාව, පොදු මගී සේවා සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන සංවර්ධනයක් එහි නොමැත. වසර තුන හතරකින් ඉදිරියට කල් තබන විදේශ ණය පියවීමේ පොරොන්දු ඉටු කළ හැකි විසඳුම් එහි නැත.

 

එනිසා අපට ඉතිරිවන බරපතලම ප්‍රශ්නය වන්නේ, ඇමෙරිකාව, ඉන්දියාව හා චීනය අතර අපව දෝලනය කෙරෙන භූ-දේශපාලනික ගැටළුවෙන් එගොඩ වන්නට ප්‍රතිව්‍යුහගත කෙරෙන විදේශ ණය, ඉදිරියේදී අප ගෙවන්නේ කෙසේද යන්නය. ඒ කාලය තුල නැවත නැවතත් විදේශ ණය ගැනීමෙන් වැළකෙන දේශීය ආර්ථිකයක් හදා ගන්නේ කෙසේද යන්නය. ඒ සඳහා ජා.මූ.අරමුදලින් විසඳුම් නොලැබෙන බව අප නිරවුල්ව තේරුම් ගත යුත්තකි. ඔවුන්ගේ කොන්දේසිගත සහායෙන් අපට හැකි වන්නේ තාවකාලිකව හුස්මක් ගැනීමට පමණි. ඒ කෙටි අවසරයෙන් අපගේ ජාතික සංවර්ධනය සංක්‍රමණික පියවර ඔස්සේ සැළසුම්කර ගැනීමට අප උපරිම උත්සාහයක් නොගතහොත් නුදුරේ අප ඊළග සමාජ ආර්ථික කඩා වැටීමට තල්ලු වන්නේ බරපතල අරාජිකත්වයක් සමගින් බවත් සිහි තබා ගත යුත්තකි.

 

එබැවින් විවෘත වෙළඳපල සමග පැමිණෙන දූෂණ හා වංචා වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් අත්හිටු වන්නට හැකි වැදගත් නියාමනයක් සහිත දේශීය වෙළඳපල ආර්ථිකයකට අප මාරු විය යුතුය. ඒ සඳහා මේ පටිපාටමය (Procedural) නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කිසිවක් වැදගත් නොවේ. ඒ වෙනුවට, ප්‍රධාන සමාජ පාර්ශව හා ආණ්ඩුව ඇති කර ගන්නා බහුපාර්ශවීය සමාජ සම්මුතියක් (Multi-stakeholder Social Consensus) වෙනුවෙන් මහා සන්ධානයකට (Grand Alliance) ව්‍යවස්ථාපිත ඉඩක් අප ලබාගත යුතුය.

බහුපාර්ශවීය ප්‍රජාතන්ත්‍රවාදයක් (Multi-stakeholder Democracy) සඳහාවන පළාත්බද බලය බෙදීමක් නිර්මාණය කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගත යුත්තේද එබැවින්ය. ඉදිරි භූ-දේශපාලනික බලපෑම් වලින් නිදහස් වන්නට දකුණු ආසියානු වෙළඳ ගනුදෙනු ශක්තිමත් කර ගැනීමත් එළෙසින්ම වැදගත් වන්නේය.

මේ සියල්ල සැළසුම් කිරීමේ අනිවාර්ය ක්‍රියාදාමය දිග හැර ගත යුත්තේ පුළුල් සමාජ කතිකා ඔස්සේය. එවැනි සමාජ කතිකා සඳහා මුල පිරුමට අවශ්‍ය සංවිධානාත්මක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් සහිත ඉදිරි දැක්මක් ඇති දේශපාලන පක්ෂ මේ රටේ නැත. එබැවින් මේ අර්බදුයට විසඳුම් සෙවීමට වාගේම ජා.මූ.අරමුදලේ කොන්දේසී වලට කොටු නොවීමේ වගකීමද බාර ගැනීමට සිදුවන්නේ කුඩා වූවත් මේ සමාජයේ දැනුවත් සංවේදී කණ්ඩායම් වලට ය.



kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 මාර්තු 11


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image