මගේ දේශපාලන පක්ෂපාතීත්වය ගැන එකඑක්කෙනා එකඑක කතා කියනවා නම් තමයි. එහෙත් අපේ ගෙදර උදවියවත් ඒ ගැන හාංකවිසියක් දන්නේ නැතිය.


"ඔයා මේ සැරේ ඡන්දෙ දෙන්නෙ කාටද?"කියා මේ සතියේ දවසක මගේ බිරිඳ ඇසුවේ ඒ නිසා නොවේද?

"ජනාධිපති කිව්ව වගේ ඡන්දෙ දෙන්න ඡන්දයක් තියෙන්න එපැයි "මම කීවෙමි. "මැකො මාර්තු විසිපහ ඡන්දෙ තියන්න සුදුසුයි කිව්ව මිසක් ඡන්දෙ තියනව කිව්වෙ  නෑනෙ "

"එහෙම නෙවෙයි මෙයා , රනිල්ට කවදහරි හිතුණොත් ඡන්දයක් තියන්න එතකොට ඔයා ඡන්දෙ දෙන්නෙ කාටද ?" බිරිඳ එවර ඇසුවාය.

"අලියාටද, පොහොට්ටුවටද ,ටෙලිෆෝන්නෙකටද, මාලිමාවටද ,නැත්නම් හෙලිකොප්ට⁣රේටද?"

"ඔය කාගෙවත් ප්‍රතිපත්තිවලට මං කැමති නෑ "මම කියා සිටියෙමි . "මං හිතන්නෙ ඔය කාටවත් බෑ මේ වැටිල තියෙන අගාධෙන් රට ගොඩගන්න "

පුතා  ම⁣ගේ කතාවට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

"රටේ බුද්ධිමත් ජනතාව නම් හිතන්නෙ මේ සැරේ මාලිමාවට දුන්නොත් නම් රට ගොඩගනියි කියලයි "

"බුද්ධිමත් ජනතාව ?" මම පුතාගෙන් ප්‍රශ්න කළෙමි. "ලංකාවෙ කොහෙන්ද හලෝ බුද්ධිමත් ජනතාවක්?"

එවර මගේ කතාවට විරෝධය පළ කළේ බිරිඳය.

"ඒක හරිම සවුත්තු කතාවක්නෙ. ලංකාවෙ කොච්චර නම් කියල  බුද්ධිමත් මිනිස්සු ඉන්නවද ?" ඈ කියා සිටියාය. "පත්තරකාරයින්ව බුද්ධිමතුන් හැටියට සලකන්නෙ නැහැයි කියල ඔයාට වටින්නෙ නෑ රටේ බුද්ධිමතුන් නෑ කියන්න"

"අනික අපේ රටේ බුද්ධිමතුන් නෑ කියල කවුරුවත් කවදාවත් කියනව මම නම් අහල නෑ " පුතාද කියා සිටියේය . "ඒ කියන්නෙ තාත්තා විතරක් හරි මතය ප්‍රකාශ කරනව වෙන්න බෑ⁣නෙ "

"ඔය දෙන්න ⁣ඔළුවෙන් හිටගෙන කිව්වත් මම නම් කියන්නෙ මේ රටේ මොළේ තියෙන මිනිස්සු නෑ කියලයි " මම තරයේ කියා සිටියෙමි. "අපේ මිනිස්සුන්ට මොළේ තිබුණ නම් රට අද මේ වැටිල තියෙන වළට වැටෙයිද ?"

පුතා වහාම මට හරස් කැපුවේය.

"රට වළට වැටුණෙ රට්ටුන්ට මොළේ නැති නිසා නෙවෙයිනෙ තාත්තෙ  "ඔහු කියා සිටියේය ."මේ රට කරවපු එවුන්ට මොළේ නැති නිසානෙ "

ඒ අසා මට හිනා ගියේය .

"රට්ටුන්ට වගේ නෙවෙයි, රට කරවන එවුන්ට හොඳට මොළේ තියෙනව " මම පුතාට කියා සිටියෙමි. "ඒකනෙ ඒගොල්ලො හැමදාම ජනතාවගෙ ඡන්දෙන් බලේට පත්වෙන්නෙ"

ඒ කතාවෙන් පසු බිරිඳත්, පුතාත් දෙදෙනාම සිය තර්කය තහවුරු කරගැනීමට උත්සාහ කළේ නැත.එ හෙත් බිරිඳ මගෙන් ප්‍රශ්නයක් නම් ඇසුවාය .

"එතකොට අපි කොහොමද මේ රට ගොඩගන්නෙ ?"

"ඒකට ඡන්දෙන් ඡන්දෙට එකඑක දේශපාලන පක්ෂයි, එකඑක නායකයොයි මාරු කරල හරියන්නෙ නෑ "මම මගේ අදහස කියා සිටියෙමි . "මාරු කරනව නම් මාරු කරන්න ඕන මේ රටේ  ජනතාවයි"

බිරිඳත්, පුතාත් දෙදෙනාම ඒ කතාවට හයියෙන් සිනාසුනහ .

"රටක නායකයො මාරු  කරන්න පුළුවන් වුණාට රටක ජනතාව මාරු කරන්නෙ කොහොමද ?" ඔවුහූ එකාවන්ව ඇසූහ .

"මේකෙ උන් හැමදාම ඡන්දයක් ආවම රට බේරගන්න ගැලවුම්කාරයෙක් හොයාගන්නවනෙ. අන්තිම සැරේ ගෝටා දැන් සජිතුයි, අනුර කුමාරයි" මම කීවෙමි.

"අපේ ගොයියො කරන්නෙ මැජික් පොල්ලකින් රට ගොඩ දාන දියසේන කුමාරයෙක්ව හොයාගැනිල්ල විතරයිනෙ. බලයට ආවම රට ගොඩදාන්⁣නෙ කොහොමද කියල එකෙක්වත් කුමාරයාගෙන් අහන්නෙ නෑනෙ "

"ඒකත් ඇත්ත තමයි " බිරිඳද මෙහිදී කියා සිටියාය . " තියෙන ප්‍රශ්න විවේචනය කරනව, උද්ඝෝෂණ කරනව, පෙළපාලි යනව, හැබැයි තමන් ආවම ඒව විසඳන්නෙ කොහොමද කියල අහන එකෙක් නෑනෙ "

මෙහිදී පුතාද අදහසක් දැක්වූයේය .

"ඒ වුණාට අපි ආණ්ඩුව විවේචනය කරන විපක්ෂෙට කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න ඕනනෙ "පුතා කියා සිටියේය ."එහෙම නැතුව විපක්ෂෙ වැඩපිළිවෙළ ප්‍රශ්න කරොත් අපි ආණ්ඩුවට කඩේ යනව වෙනවනෙ"

එහිදී බිරිඳ ඊට විරුද්ධව අදහස් දැක්වූවාය.

"ඒක නේන්නම් ජනතාව බුද්ධිමත් නෑ කියන්නෙ " ඕ කියා සිටියාය ."අපිට දෙන්න අපි කරන්නම් කියන්නෙ නැතුව අපිට දුන්නොත් අපි මෙහෙමයි කරන්නෙ කියන්න විපක්ෂෙටත් බලකරන්න ඕන"

"එතකන් අපිට පිළිගන්න වෙනව නේද ඡන්දෙ දෙන්නෙ මරිමෝඩයො. ඡන්දෙ ඉල්ලන්නෙ බුද්ධිමත්තු කියල "



sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


 

JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්