වැල්මී කැබැල්ලක් හෝ නෙල්ලි ගෙඩියක් රස විඳීමේ දී එය රස විඳින පුද්ගලයා කැමති රස මෙන් ම අකමැති රස ද දිවට දැනීම වැළැක්විය නොහැකි ය.

එහෙත් වැල්මි කැබැල්ලක හෝ නෙල්ලි ගෙඩියක රස අඩක් විඳ ඉතිරි අඩ ඉවත දමන කිසිවකු ඇතැයි මම විශ්වාස නොකරමි. මන්ද එවායේ කුමන රසයක් අඩංගු වුව ද අවසන එය රස විඳින පුද්ගලයා එහි අන්තර්ගත සියලු රසයෙන් සංතෘප්ත වන බැවිනි.

හොඳ කාව්‍ය සංග්‍රහයක් යනු ද නෙල්ලි ගෙඩියක් හෝ වැල්මි කැබැල්ලකට සමාන ය. එහි කුමනාකාරයේ රස අන්තර්ගත වුව ද ඒ රස සියල්ල විඳීමට පාඨක ප්‍රජාව පෙලඹෙන්නේ නිරායාසයෙනි. මේ සුදානම එබඳු කාව්‍ය සංග්‍රහයක රස බෙදාගැනීම පිණිස ය. ඒ, සෝමසිරි ඒකනායක විසින් රචිත ‘‘මග හරිමි සඳ රැස්’’ කාව්‍ය සංග්‍රහය යි.

සෝමසිරි ඒකනායක: 2005 සහ 2019 වසරවල ප්‍රබන්ධ (නවකතා) ද්වයක්, 2017 සහ 2019 වසරවල කාව්‍ය සංග්‍රහ ද්වයක් මෙන් ම 2007 වසරේ කෙටිකතා සංග්‍රහයක් (කපිල ජනක බණ්ඩාර සමග) සාහිත ක්ෂේත්‍රයට දායාද කළ ලේඛකයෙකි. නමුදු කුමන හෝ හේතුවක් මත මට ඒ කෘති කිසිවක් රස විඳීමට මතු නොව අවම වශයෙන් දැකීමට හෝ අවස්ථාව ලැබී නොමැත. එබැවින් මා මෙම රසවින්දනාත්මක හෝ විචාරාත්මක ලියවිල්ල ඉදිරිපත් කරන්නේ ‘‘මග හරිමි සඳ රැස්’’ නමැති කාව්‍ය සංග්‍රහය මත පිහිටා පමණි.

somasiri

කාව්‍ය නිර්මාණ 52ක් අන්තර්ගත මෙම කෘතියේ මා ඉතා ඉහළ ම මට්ටමෙන් රස විඳි කාව්‍ය නිර්මාණ 19කි. දෙවන පෙළෙහි තබා රස විඳි නිර්මාණ 12කි. මේ අනුව ගත් විට ශේෂව ඇති නිර්මාණ 21 ‘‘කවි’’ නොවේදැයි කිසිවකු විමසිය හැකි ය. ඔවු... එම නිර්මාණ ද තවකෙකුට රස විඳිය හැකි නිර්මාණ විය හැකි ය. එය තීරණය කෙරෙනුයේ ඒ ඒ පාඨක පාඨකාවන්ගේ රස විඳීමේ පරාසය අනුව ය. මගේ රසවිඳීමේ පරාසය අනුව ඉතිරි නිර්මාණ එතරම් නොදැනිණ. එහෙත් ඒ සියල්ල ‘‘කවි නොවේ’’ යැයි පවසන්නට මට නොහැකි ය. එබැවින් මා රස විඳි නිර්මාණ අතුරෙන් නිර්මාණ කිහිපයක් පිළිබඳ මගේ කියවීම හෙවත් විඳීම මෙලෙස බෙදාගමු.

දේදුන්න සහ යුවතිය
 
මෙහා ඉවුරෙහි උණපඳුරු’තර හිඳ
ඔබා පා සිහිලැති ගං දියට
විඳිමින සිසිල් දිය බඳ
මදහසින් මුව සැරසි එ’යුවතිය
 
ඉස ඉස දිය අහුරු සුළගට
කෙළිලොල් දිය බිඳිති විඳිමින
ඇඳෙනා දේදුන්න පැහැදුල
සිතින් ඔප දම දමා සැනසිණ
 
ඉගිල්ලුණු දිය’හුරු
යළි ගග දියම වූ පසු
ඇස් මත නිලංකාරව
ඇය විඳියි දේදුනු සොම්නස
 
නොගනී හිතට හැඟුමක්
ගඟ දියෙහි සැඩ බවන ගැන
කැරකෙන දිය සුළිය වියරුව
ගොදුරු ලොබ දිය දහර බව
 
වියරුව ගලන ගඟ දිය
ගලවා උණ පඳුරු සාවිය
ඉවුරද ගඟ ම වන විට
දණ මත්තෙන් තන මත්තෙන්
ඇදී යද්දි සැඩ දියට
නොමකා මුවෙහි මදහස
අවසන් දිය’හුරත් විසි කළා ඇය
නිම් නැති අහස වෙත

 

මෙම නිර්මාණය පබැඳීමේ දී කවියා විදග්ධ වදන් කිසිවක් ම උපස්තම්භක කරගෙන නොමැත. එසේ වුව ද උපස්තම්භක කරගෙන තිබෙන සරල සුගම වදන් තුළින් බරපතළ ඛේදවාචකයක සිතුවම් පෙළක් පාඨක මනසෙහි චිත්‍රණය කරන්නට හෙතෙම සමත්ව ඇත. එම ඛේදවාචකය ද මාන ද්වයක් ලෙස කියවිය හැකි ය. එනම් නිසියාකාරව සමාජය වටහා නොගන්නා නව යොවුන් යුවතියක සමාජයේ පවත්නා අදුරු පැතිකඩ පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කිරීම හේතුවෙන් ඇගේ ජීවිතය විනාශ මුඛයට ඇදී යන ආකාරය යි. තවත් පසෙකින් ගත් විට මෙම නිර්මාණය තුළින් බරපතළ දේශපාලන ව්‍යසනයක අඳුරු පැතිකඩ විද්‍යමාන කරයි. මෙම මාන ද්වය අතුරෙන් දෙවන මානය මත තබා කවිය විසංයෝජනය කිරීමට මම වඩාත් රුචිකත්වයක් දක්වමි.

මෙහි එන ‘එ’යුවතිය’ නමැති රූපකය හෝ සංකේතය ලක් මව හෝ සමස්ත ඡන්ද දායක දායිකාවන් ලෙස උපකල්පනය කළහොත් කවිය ලෙහා ගැනීම ඉතා පහසු ය යන්න මගේ හැඟීම ය; එය දේශපාලනික කියැවීමකි.
 
සැවොම පවසන පරිදි සිවු සැත්තෑ වසරක් මතු නොව ඊට පෙරාතුව වුව ද ලක් වැසි පාලිත ජනයා: ගං දියට දෙපා ඔබාගෙන, දිය අහුරු සුළඟට ඉසිමින් එතුළින් මතුවන දේදුනු පැහැයට වශී වූවා මිස පාලක පෙළැන්තිය තමන් යට කරගෙන ඉහළට මතුවන බව නොතැකූහ. අවසන සිදුව ඇත්තේ දේදුණු සිතුවමට වශීකෘතව සිටි ජනතාව ඔවුන් නොදැනුවත්ව ම කෙමෙන් කෙමන් ජල පහරට හසුව ගං දියේ ගසාගෙන යාම ය.
Acrylic Painting Waves
 
 
මෙම ඛේදය ප්‍රකට කරන්නට කවියා ඉතා සුක්ෂ්ම ව්‍යංගාර්ථයක් උපස්තම්භක කරගෙන ඇත. එනම්, ‘දණ මත්තෙන් සහ තන මත්තෙන්’ යන්න ය. තන මත්තට දිය පිරි තිබුණ ද තමා දිය පහරකට ගොදුරුව සිටින බව මෙරට පාලිත ජනයා අවබෝධ කර නොගත් අතර අනාගතයේ දී අවබෝධ කරගනී ද යන්න පවා සැක සහිත ය. මේ වන විට ඊට අදාළ වටපිටාව මැනවින් සකස් වෙමින් පවතී. මෙතෙක් කාලයක් ‘ජාතිය’ නමැති සැඩ පහරින් පාලිත ජනයා යට කළ පාලක පෙළන්තිය නුදුරු දිනක ම ‘ආගම’ නමැති සැඩපහරට අසු කරන බව ඊට කදිම පෙර මග ලකුණකි. ඉදින් අපි තව දුරටත් දෙපා ගං දියේ ම ඔබා සැනසෙමු ද...? එසේ නොමැති නම් රදුරු ජල පහරෙන් මිදීමට මගක් සොයමු ද...? තීරණය පාලිත ජනතාව සතු ය.
‘කෙටි කවි’, ‘සංයුක්ත කවි’ හෝ ‘හයිකු කවි’ යන මැයෙන් වත්මනේ ලියැවෙන බොහෝ  කවි අදාළ කාව්‍ය ප්‍රභව අසලකින් හෝ තැබිය නොහැකි ය. ඒ බොහෝ පැබැඳුම් හුදෙක් වදන් ඇමිණීමක් ම පමණි. ඉඳ හිට කවියක් දෙකක් ඇසුරු කිරීමට ලැබෙන බව ද සඳහන් කළ යුතු ය.

බහුතරයක් දිගු කවි අන්තර්ගත‘‘මග හරිමි සඳ රැස්’’ නිර්මාණ සංග්‍රහයේ ද ‘කෙටි කවි’ලෙස රස විඳිය හැකි කවි කිහිපයක් අන්තර්ගත ය.

රූපාන්තරණය
 
ගඟෙහි අසිරිය බලන්නට
එදෙස බැලුවෙමි.
ගඟ එහි නොවීයෙන්
කිමිදී,
මතු වී,
තුනු සිරි මවන
තෙත බරිත
නුඹව
දැකගතිමි.
 


මෙය ද ගඟ සහ කාන්තාවක සබැඳි නිර්මාණයකි. මෙම නිර්මාණය රස විඳින පාඨකයා හෝ පාඨකාව ඉදිරියේ එහි අන්තර්ගත වදනක් වදනක් පාසා චිත්ත රූප නිර්මාණය වීම නොවැළැක්විය හැකි ය. වෙසෙසින් ම පිරිමි පාර්ශ්වය මෙය කියවන විට එහි රසය වඩ වඩාත් තීව්‍ර කෙරෙන්නේ ය; ඒ මතුපිට තලයේ ය. නමුදු කවියා සඳහන් කරන කාන්තාව ගඟෙහි කිමිදී, මතුවී, තුනු සිරි මවන්නා සේ පාඨක ප්‍රජාවට ද කවිය තුළට කිමිදී එහි පතුලේ සැඟව පවත්නා තත්ත්වය: එසේත් නොමැති නම් එහි යථාර්ථය අවබෝධ කරගත හැකි නම් කවියා ජයග්‍රහණය කරයි; ඔහුගේ බලාපොරොත්තු සඵල වේ.
 
එක් පසෙකින් කවියා පවසන්නේ මිනිස් සිත සැබැවින් ම ක්‍රියා කරන ආකාරය සහ එබඳු සිතින් යමක් කරන පුද්ගලයා පිටතට දර්ශනය වන ආකාරය යි. එකම පුද්ගලයෙකු තුළ පවතින ද්විරූපතාව ද මෙම නිර්මාණය කෙරෙන් විද්‍යමාන වේ. එමෙන් ම කිසියම් පුද්ගලයෙකුගේ මනස ක්‍රියාත්මක වන ආකාරයත්, ඔහුගේ රූපකාය ක්‍රියාත්මක වන ආකාරයත් මෙම නිර්මාණය තුළින් විශද කෙරේ.
ඇතැම් විට මේ සමස්ත රූපාවලිය ම කථකයාගේ මනස් සිතුවිලි විය හැකි ය. එනම් ඇතැම් විට ගඟක් තිබිය හැකි ය; කථකයා එදෙස බලා සිටිනවා ද විය හැකි ය. නමුදු ඔහු දකිනවා යැයි ඔහු ම උපකල්පනය කරන සිදුවීම සැබැවින් ම සිදු නොවනවා වන්නට ද පිළිවන. එය කථකයාගේ මනඃඍෂ්ටිය විය හැකි ය. මේ සියල්ල තුළින් විශද කෙරෙන්නේ මිනිස් සිතේ ගූඪත්වය නොවේ ද?

මිනිස් සමාජය දියුණු යැයි කෙතරම් උදම් ඇනුව ද සැබැවින් ම ඒ ප්‍රකාශය නිවැරැදි ද යන්න මට පුද්ගලිකව සිතුණු වාර අනන්ත ය; අප්‍රමාණය. මගේ ඒ සිතුවිල්ල තව දුරටත් ඒ ආකාරයෙන් ම රඳවා තබාගන්නට දිරිය සපයන නිර්මාණයක් ලෙස මෙහි එන ‘‘විලෝපිකයා’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

විලෝපිකයා
 
ඒ වන පෙතට අප ගිය මුල්ම දිනවල
ගුප්ත අඩ’ඳුර තුළින් මතු වුණ
පෙත් මගක් විය
වන මැද තැනි බිමෙහි විල වෙත
අප කැටුව ගිය
 
සිටියෝ ය එහි නෙක සත්ව සේනා
එක රංචුවක් විලසින්
මහ පොළෝ සිදුරෙන් මතුවුණ
පලා වන් තණ බුදිමින්
පොළෝ සාරය වෑහී
සැදුණු දිය ඌල විදිමින්
 
අමුත්තන් වූ අප දෙදෙන දැක
නොවී කහටක්, බියක්, තැතියක්
වින්දාහ උන් සොබා දම;
අප දෙදෙන නොදැන සිටි සොබා දම
 
නොයිඳුලේ ඈ දෙතොල සිඹින විට
ඇගෙ මන්දස්මිතය පරදා
නටන්නට ගයන්නට වන්හ උන්
 
සිපුම් පිරිමැදුම් කෙඳුරුම් සුසැදි
සනහස අපේ විඳ විඳ
ප්‍රීති විය උන් සැවොම
අප සමග
 
කරකවා ශිෂ්ටාචාරයේ පෑ තැටිය
ගෙවා අවුදින් ගණන් යුග යුග
වෙහෙසක් දැනුණු හවසක
මා ගියා එදෙසට නැගී කාල යානයක
 
යානය කරකවා ඒ ඉසව්වෙහි
නිනව්වක් නැතිව තැනි බිම
නැවත එන විට
‘කෝ දැන් ඒ තැනි බිම,
විල සහ මගෙ පැරණි මිතුරන්’
අහනවා තඩි බබා පපුවට
මගෙ විලෝපික සිත

 
Environment and freedom concept, surreal broken man with green butterfly, nature, painting illustration

‘විලෝපිකයා’ (Predator) යනු වෙනත් සතෙකු (තමාට වඩා දුබල) ගොදුරු කරගන්නා සත්ව වර්ගයට ය. නමුදු දියුණු යැයි පවසන මිනිසා ද විලෝපිකයකු වී ඇති ආකාරය මෙම නිර්මාණය තුළින් විශද කෙරේ.
 
කථකයා පවසන ආකාරයට එකල, මිනිස් හැඟීම්වලට වඩා වෙනත් සත්ව හැඟීම් පිරිසිදු ය, පරාර්ථකාමි ය, දියුණු ය, සොඳුරු ය. මනුසතකු දුටු විට ඒ කෙරෙහි බියක් ඇති කරගන්නට හෝ මනුසතාට බිය දැනෙන යමක් කිරීමට හෝ ඒ සතුන් පෙලඹී නොමැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ල කණපිට හරවමින් මනුසතා සහ අනෙක් සත්වයන් අතර පැවති අන්‍යෝන්‍ය සබඳතා අහෝසි වී තිබේ. මීට කදිම උදාහරණයක් ලෙස දැනට රටපුරා වන ගහන පෙදෙස්වල පවතින අලි මිනිස් ගැටුම පෙන්වා දිය හැකි ය.
වර්තමානයේ මතු නොව ඈත අතීතයේ සිට ම මනු සතා, අනෙක් සතුන්ගේ මතු නොව මනු සතාගේ ම විලෝපිකයකු වී තිබේ. එක් පාලන පෙදෙසක්, රටක්, රටවල් සමූහයක් අත් පත් කරගැනීමේ චේතනාවෙන් ද, ජාති, ආගම්, කුල යනාදී හේතු පාදක කරගනිමින් තවත් මනුසතකු නසාලන්නට මනු සතා ම පෙලඹෙන්නේ මේ විලෝපික භාවය වඩ වඩාත් තීව්‍ර කරමිනි. මෙම නිර්මාණය තුළින් මා කියවා ගත්තේ මෙකී යථාර්ථය යි.  

එදා මෙදා තුර මෙරට බිහිවූ දේශපාලකයන් හෙවත් පාලකයෝ යනු ගැල් හිමිකරුවෝ ය; ගැල් පදවන්නෝ ය. ඒ ගැල් අදින ගවයෝ නම් පාලිතයෝ ය. පාලිතයා නමැති ගවයා බොහෝ කලක් ගැල ඇද මිය යයි. ඉක්බිති එම ගැලට වෙනත් පාලිත ගවයෙක් ගැටගසති. මේ සියලු පාලිත ගවයෝ සිය ජීවිත කාලයේ දී එක් එක් අවස්ථාවල දී ඉසිඹු ලති; ඒ කෙටි විරාමය ඉමහත් ප්‍රහර්ෂයෙන් භුක්ති විඳිති. යළි ගැල් අදිති. ‘මම අදිමි ඒ ගැල’ නමැති නිර්මාණය තුළින් විශද කෙරෙන්නේ මෙකී යථාර්ථය යැයි මට හැඟේ.

මම අදිමි ඒ ගැල
 
ගොනුන් බැදි ගැලක
මග දිගේ ඇතිල්ලී යන
දම්වැලකින් නැගුනු
රිදුම් හඩ මැකී ගොස්
සංහිදියාවකට පත්වුණා රාත්‍රිය
 
එ’ගැල අදිනා ගොනුන්ගේ
කුර
ගෙවී
ගෙවී
ගෙවී
ඌ වැහැරෙනා විට
වෙන ගොනෙකු ගෙල
බැදෙයි ඒ ගැල
 
ඒ ගැල බැදි දම්වැල
බිම ඇතිල්ලී නැගුණු
රිදුම් හඬ
ඇලී ඇත ලාටුවක් මෙන්
මගේ සවනත
 
මේ දැන් අවදි වූ පසුත්
මම අදිමි ඒ ගැල
අස අසා ඒ රිදුම් හඬ
 
 
මෙම නිර්මාණය සඳහා ද කවියා කාව්‍යාලංකාර ලෙස උපස්තම්භක කරගන්නේ ඉතා සරල, සුගම වදන්වලින් හැඳින්විය හැකි රූපක ය; සංකේත ය. ගොනුන් බැදි ගැලක මග දිගේ ඇතිල්ලී යන දම්වැල, එම දම්වැලෙන් නැගෙන හඬ, සංහිදියාවකට පත්වුණ රාත්‍රිය, එක් ගොනෙකු වැහැරෙන විට වෙනත් ගොනෙකුගේ ගෙලෙහි එම ගැල ම බැඳීම, කාලාන්තරයක් තිස්සේ සවන්පත් අතර ඇලී තිබෙන හඬ, ඒ හඬ අස අසා ම යළිත් ඒ ගැල ම ඇදීම යනාදි මේ සියලු රුපක තුළින් විදාරණය කෙරෙන්නේ මෙරට දේශපාලන භූමිකාව තුළ සිදුවන සිදුවීම් දාමය නොවේ ද...? ඉදින් අපි කවදාක මිදෙමු ද මෙ’ගැල් ඇදීමෙන්...?
 
යට විමංසනයට ලක් කළ නිර්මාණ හතරට අමතරව: ‘‘අඩමාන අඩවියක බොල් හඬ’’, ‘‘කිරි බතක බෙරි මතක’’, ‘‘අන්තරායකාර වසත් සම’’, ‘‘රුදුරු සුළගක්’’, ‘‘අලුත් පහනක් අවැසිය’’, ‘‘අවතාර නිහඬකම’’, ‘‘ඉන්ද්‍රජාලික දවස්’’, ‘‘එයා දැක්කෙ නැතුව අදට මාසයයි’’, ‘‘ගමන් සගයා’’, ‘‘මට මා මුණ ගැහුණා’’, ‘‘බොහෝ කල් ගෙවුණු පසු’’, ‘‘කැටුව යාම’’, ‘‘කුළු මීමා’’, ‘‘කෝපි’’, ‘‘නිවර්තන වැසි වනයක දී ය’’, ‘‘(නො) සොයායාම’’, ‘‘පළමු සිත්තම’’, ‘‘ප්‍රතිරාවය’’, ‘‘බැතිබර කුසුමක්’’, ‘‘මගහැරුම’’, ‘‘සිරකරුවා’’, ‘‘මග හරිමි සඳ රැස්’’, ‘‘මම සහ කුඩ සදන්නාගේ පුත්‍රයා’’, ‘‘රෑ පැහැය ගැන’’, ‘‘සාක්ෂි’’ සහ ‘‘හදවතේ සයිරන් හඬ’’ යන නිර්මාණ ද ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ ය.

සැ.යු. උපුටාගත් නිර්මාණවල අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් ඒවායේ අන්තර්ගත පරිදි ම ය.

jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/06/04



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්