පාර්ලිමේන්තුව සහ විධායකය අතර රණ්ඩුවක් ඇතැයි ඇසුනේ ව්‍යවස්ථා සභාව ජනාධිපතිගේ තීන්දු තීරණ අනුව පත්වීම් කිරීමට සූදානම් නොවුනු

විටය. පොලිස්පති ධූරයට ස්ථිර පත්වීමක් තවමත් නොමැත්තේ එබැවින් ය. 

රටේ ජනතාව නියෝජනය කිරීමට යැයි ආණ්ඩුවක් නැති අගමැතිවරයෙකු සහ විපක්ෂ නායක විසින් ස්වාධීන යැයි නම් කර පත් කෙරුණු නියෝජිතයින් තිදෙනෙකුද දස දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථා සභාවෙහි සභිකයින් ලෙස අසුන් ගනිති. ජනතාවගේ මුදලින් නඩත්තු කෙරුණත් ජනතාව වෙනුවෙන් යැයි එහි අසුන් ගන්නා තිදෙනා මේ කාලයේ කොහේ සිටියේදැයි ජනතාව දන්නේ නැත. ව්‍යවස්ථා සභාවෙහි සභිකයින් වශයෙන් මෙතෙක් පත් කෙරුණු එවැනි ජනතා නියෝජිතයින් එහි අසුන් ගෙන එහි තීන්දු තීරණ වලදී දායක වූයේ කෙසේදැයි රටේ ජනතාව දන්නේ නැත. ඔවුන් කිසිවකු ජනතාවට වග නොකියන බැවිනි.

මේ ව්‍යවස්ථාව හා විධායකය අතර ගනුදෙනුවෙහි වඩාත්ම බරපතල ගැටළුව ඇත්තේ මේ ආණ්ඩුව සතු බහුතරයක් තිබේදැයි සහ ඒ ආණ්ඩුවට පත් කෙරුණු අගමැතිවරයා බහුතරයේ කැමැත්ත ඇතිව ඉන්නේ දැයි පාර්ලිමේන්තුවද නොදැන සිටීම ය. 2020 අගොස්තුවෙහි ජනතාවගේ ඡන්දයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තුවෙහි ජනතාව එදා තීන්දු කළ නියෝජන සංයුතිය අද නැත. ඒ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ද සමගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර මන්ත්‍රීවරුන් 145 ක් සමගින් ආණ්ඩු බලය ලබා ගත් අතර බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ඇතිව ව්‍යවස්ථානුකූලව අගමැති ලෙස දිවුරුම් දෙනු ලැබූයේ මහින්ද රාජපක්ෂ ය.

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)
පාරට පැමිණි ජනතා බලය මත 2022 මැයි 09 වන දින මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කෙරුණු පසු ඇමති මණ්ඩලයද ව්‍යවස්ථාවට අනුව අහෝසි විය. ජාතික ලැයිස්තුවෙන් පත් වූ එ.ජා.ප නායක හුදකලා තනි මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තෙදිනකින් අගමැති වශයෙන් දිවුරුම් දෙනු ලැබූයේ ජනාධිපති ගෝඨාභයගේ අරුම පුදුම තේරීමක් අනුවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැතිකම බාර ගන්නට යැයි ඇරයුම් කළ විට ඔහු බාර නොගත් හෙයින් තනි මන්ත්‍රී වික්‍රමසිංහ පත් කිරීම සාධාරණය කරන්නේ කෙසේදැයි අපභ්‍රංසයකි. 

මහින්ද රාජපක්ෂ ඉවත් වූ පසු ව්‍යවස්ථාවෙහි සඳහන් අයුරු පාර්ලිමේන්තුවෙහි වැඩි එකඟතාවක් ඇති මන්ත්‍රීවරයෙකු ඊළග අගමැති වශයෙන් පත් කළ යුතුව තිබිණ. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 145 ක බහුතරයක් සතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත එය සිදු කළ යුතුව තිබුණකි. ව්‍යවස්ථාවට අනුව බහුතර ආණ්ඩුවක අගමැතිවරයෙකු එසේ පත් කළේ නම් ඒ වෙනුවෙන් පත් කිරීමට ඔවුන් අතර නිමල් සිරිපාලලා, සුසිල් ප්‍රේමජයන්තලා, අනුර ප්‍රියදර්ශනාලා වැනි පොහොට්ටු පක්ෂයේ කිහිප දෙනෙකු වූහ.

ඒ වෙනුවට විපක්ෂ නායකට ආණ්ඩුවක් පිහිටු වන්නට ඇරයුම් කෙරෙන්නේ ආණ්ඩුවේ බහුතරය ඒ දේශපාලන පක්ෂයට අහිමි වුවහොත් පමණි. එහෙත් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වූ කතාවක් නොතිබුණි. එවැනි විට ව්‍යවස්ථාමය විකාරයක් වූ හුදකලා මන්ත්‍රී වික්‍රමසිංහ අගමැති කිරීමේ යෝජනාව කෙසේ කොතැනින් ගනු ලැබූවක් දැයි තවමත් කතා නොවන්නකි. සමාජයෙහි එය ප්‍රශ්න නොවුනේ ඒ වන විට පැවති අරාජිකත්වය කොතැනින් කෙළවර වනු ඇතිදැයි වූ බිය නිසාවෙනි.  

 


දෙමසකට පසු අගමැති වික්‍රමසිංහ ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කෙරෙන්නේ ඒ දෙමස තුල ඔහු පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගත් නිසා නොවේ. රාජපක්ෂ නායකත්වය සිංහල-බෞද්ධ සමාජයෙහි බරපතල ප්‍රශ්න කිරීමකට ලක් වූ පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ඇති වූ කුලල් කා ගැනීම් හේතුවෙන් ඔවුන් අතර ජනාධිපති සඳහා බහුතර තීන්දුවක් නොවූයෙනි. තුන් හතර අත බෙදුණු ඔවුන්ට ජනාධිපතිකම නැතත් වහා මැතිවරණයකට නොගොසින් මේ පාර්ලිමේන්තුව සමග ඔවුන්ගේ මන්ත්‍රීකම් බේරා ගැනීමට එබැවින් වික්‍රමසිංහ පොදු තේරීම විය.

හුදකලා මන්ත්‍රී වික්‍රමසිංහ අගමැති කිරීමේ සිට මේ රටේ ව්‍යවස්ථානුකූල බහුතර ආණ්ඩුවක් නැත. ආණ්ඩුව පැවතිය යුත්තේ ව්‍යවස්ථාදායකය වශයෙන් පාර්ලිමේන්තු බහුතරයක වූවත් වික්‍රමසිංහ ජනාධිපති කෙරුණු විට එය වඩාත් බරපතල ලෙස විධායක ජනාධිපතිට සීමා වූ ආණ්ඩු පාලනයක් බවට පත් විය. ඔහු විසින් අගමැති පත් කෙරෙන්නේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත ඇති මන්ත්‍රීවරයෙකු තේරීමෙන් නොව, 2015 ජනවාරියේදී සුළුතරයක් ඇතිව ජනාධිපතිගේ කැමැත්ත අනුව ඔහු පත් වූ අයුරින්ම ය. මේ අගමැතිද ජනාධිපතිගේ කැමැත්ත මත තීන්දු කෙරුණකි. 

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් දොට්ට

එහෙත් මෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන තරමේ වෙනසක් ඇත. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් ඇමති මණ්ඩලය තෝරා පත් කෙරුණේ අගමැතිගේ එකඟත්වය ඇතිව ය. එය ව්‍යවස්ථාමය අවශ්‍යතාවකි. එහෙත් මේ ඇමති මණ්ඩලය තේරීමේ අගමැති හවුල කුමක්දැයි අගමැති ගුණවර්ධන දන්නේදැයිද නොදනිමි. මෙය නොඅනුමානවම ජනාධිපති වික්‍රමසිංහගේ තනි කැමැත්තට පත් කෙරුණු සහ පත් කෙරෙන ඇමති මණ්ඩලයකි. එය නිරුවත්වම ප්‍රදර්ශනය වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ ආරවුල හේතුවෙන් රොෂාන් රණසිංහ ඇමතිවරයා ක්‍රීඩා ඇමති ධූරයෙන් පමණක් නොව, තරුණ කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධූර වලින්ද ඉවත්කර ජනාධිපතිගේ තේරීම අනුව හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමති ලෙස පත් කිරීම සමගය.

එබැවින් මේ ඇමති මණ්ඩලය තීන්දු ගනු ලබන්නේ ව්‍යවස්ථාමය වගකීමක් ඇතිව නොව, ජනාධිපතිගේ විධායක බලයේ විධානයන්ට අනුවය. අගමැති හුදෙක් නිල නාමයකට ලඝුව සිටින්නෙකු පමණි. ඔහුට ඇමති මණ්ඩලයෙහි දේශපාලන අධිකාරයක් නැත. එබැවින් මේ පවතින ආණ්ඩුව ජනවරමක් ඇති සදාචාරාත්මකව ව්‍යවස්ථානුකූල යැයි කිව හැකි ආණ්ඩුවක් නොවන්නකි. ඉතා කෙටියෙන් කිවහොත් මේ ආණ්ඩුව රටට වග කියන්නේද නැත. පාර්ලිමේන්තුවට වග කියන්නේද නැත.

පාර්ලිමේන්තුවද නිත්‍යානුකූල තීන්දු ගන්නා ජනතා නියෝජනයක් නොවේ. මේ පාර්ලිමේන්තුව 2020 අගෝස්තුවේදී තෝරා පත් කෙරුණු පසු සම්මත කළ සියලු වාර්ෂික අයවැය, 2003 අංක 03 දරණ “මූල්‍ය කලමනාකරණ (වගකීමේ) පනත උල්ලංඝණය කරමින් සම්මත කළ අයවැය වන්නේය. එකී පනතට අනුව 2006 න් පසු අයවැය හිඟය අනිවාර්යෙන් සියයට 05 ට වඩා අඩු විය යුතුය. නමුත් මේ පාර්ලිමේන්තුව අයවැය හිඟය සියයට 12.2 ක් වූ 2021 අයවැය සම්මත කළේය. අයවැය හිඟය සියයට 10.2 ක් වූ 2022 අයවැයද සම්මත කළේය. අනතුරුව අයවැය හිඟය සියයට 07.9 ක් වූ 2023 අයවැයද මෙදා අයවැය හිඟය සියයට 09.1 ක් වූ 2024 සඳහා අයවැයද සම්මත කළේය.

මේ අනීතික ක්‍රියාකාරිත්වය හේතුවෙන් 2022 පත් කෙරුණු මේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් පැවති හැම ආණ්ඩුවක්ම මෙතෙක් අවුරුදු 03 ක කාලයක වැය කර ඇත්තේත් ඉදිරි 2024 වසරේදී වැය කරනු ඇත්තේත් නීති විරෝධී අයවැයකින් ලබා ගන්නා මුදල් ය. ඒ නීති විරෝධී මුදල් වැය කිරීම් සඳහාවන වගකීමෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කිසිවෙකුට අත සෝදා ගත නොහැක. මෙවරත් අයවැයට විරුද්ධව ඡන්දය දුන් 81 දෙනාද, නොපැමිණි 20 දෙනාද, වැළකී සිටි 01 කෙනාද, ඊට පක්ෂව ඡන්දය දුන් 122 දෙනා මෙන්ම නීති විරෝධී අයවැයක් සම්මත කිරීමට එකසේ හවුල් වූවන්ය. මෙහි වැදගත් වන්නේ ඔවුන් කෙසේ ඡන්දය දුන්නේද හෝ නොදුන්නේද යන්න නොව ඔවුන් අයවැය විවාදයට හවුල් වෙමින් ඊට ලබා දුන් සුජාත බවය. මෙවැනි විශාල හිඟයක් සමගින් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නීති විරෝධී යැයි නොකියා නිල වශයෙන් එයට ලබා දුන් පිළිගැනුමය.

එබැවින් මේ ඇත්තේ පාර්ලිමේන්තුවට අවනත නොවන, ජනාධිපතිගේ විධායක බලයට අවනත වන ආණ්ඩුවක් පමණක් නොව, මුදල් ඇමති වශයෙන් ජනාධිපති විසින් පාර්ලිමේන්තුවෙහි සම්මත කරවා ගත් නීති විරෝධී අයවැයක් මගින් මහජන මුදල්ද වැය කරන්නාවූ ආණ්ඩුවකි. එබැවින් මේ ආණ්ඩු පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නෑ කම් කියනමුත් ඉන් බැහැරව පවතින්නකි.

මේ සදාචාර විරෝධී අනීතික ආණ්ඩුවක පැවැත්මට, විපක්ෂයේ අසුන් ගන්නා සියලු මන්ත්‍රීවරුන්ද නොඅඩුව හවුල්ව ඉන්නා බැව් විශේෂයෙන් කිව යුත්තකි.

බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 දෙසැම්බර 19


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්