බුදු දහම මුල් කොට ගත් සැබෑ විමුක්ති මාර්ගය හඳුන්වා දෙමින් ඒ සම්බන්ධ දේශන පවන්වන්නකු වශයෙන් ඇතැමුන් අතරේ ප්‍රකටව සිටි

46 හැවිරිදි මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න පසුගිය දෙසැම්බර් 28 වන දා තමන් විසින් මාසයකට රුපියල් 150,000ක් මුදලක් ගෙවා හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන සිටි දෙමහල් නිවසේ දී උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගොස් තිබිණ. 

ඉකුත් 30 දින ඔහු ගේ අවමඟුල් කටයුතු සිදු කරන ලද්දේ මාලඹේ කහන්තොට අරුණ පෙදෙසේ පිහිටි ඔවුන් ගේ ඥාති නිවසක ය. එහෙත්, එදින රාත්‍රියේ රුවන් ගේ බිරිය තම දරුවන් තිදෙනා ද සමඟ ඒ අයුරින්ම වස ශරීරගත කරගෙන සිටිය දී හනික රෝහල් ගත කරනු ලදුව මිය ගොස් තිබිණ.

මෙලෙස මියගොස් ඇත්තේ ඔහුගේ බිරිය වන උදාරි නිසංසලා සේනාරත්න (35) ලොකු පුතා වන ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) දෙවන පුතා වන ආර්ය ප්‍රතාප ගුණරත්න (08) සහ බාල දියණිය වන ආරාධ්‍යා ප්‍රභාවී ගුණරත්න (06) යන අයයි. 

ruwan prasann 1
අවමංගල්‍ය උත්සවය පැවැති දින රාත්‍රියේ එම නිවෙසේ ඔවුන් රැඳී සිටි කාමරය තුළින් කැස්සක් වැනි හඬක් ඇසී ගෙහිමියන් එතුළ සිටි රුවන් ගේ බිරිඳ වන උදාරිට කතා කොට තිබේ. එවිට ප්‍රතිචාරයක් නොමැති වීම මත ගෙහිමියන් කාමරයේ දොරගුළු කඩා ඇතුළු වීමේ දී ඒ සිව් දෙනාගේම තුළ මුඛයෙන් සෙම වැනි යමක් වැගිරී තිබෙනු දක්නට ලැබී ඇත. ගෙහිමියන් ඒ මොහොතේම ඔවුන් ඒ ආසන්නයේම පිහිටි මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔවුන් සිව් දෙනාම මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

මේ අතර එම අවමංගල්‍ය කටයුතු සිදු කළ නිවසේ නතර වී සිටිමින් අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වූ තරුණයකු හා තරුණියක ද ඒ අයුරින්ම උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, තිවොල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තරුණයෙකු හා යක්කල රාෆල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබ සිටි සිසුවියක් බව කියන තරුණියකි. 

ruwan prasanna 2
තරුණියගේ මළ සිරුර යක්කල රාෆල් වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර 34 හැවිරිදි තරුණයා මහරගම දුම්රිය පටුමඟ අද්දර ලැගුම්හලක දී මියගොස් සිටියදී සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 02 වන දා ප.ව 1.30ට පමණ එම ලැගුම්හලට පැමිණි එම තරුණයා සවස 6 ට පමණ එම ස්ථානයෙන් පිටව යන බවට ලැගුම්හලට දැනුම් දී ඇත. නමුදු ඔහු ඉන් පිටව නොයෑම පිළිබඳ ඇති වූ සැකයක් මත ලැගුම් හල් සේවකයන් ඔහු සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයා ඇඳ මත වැටී සිටිනු දැක ඒ බව පොලීසියට ඒ බව දැනුම් දී තිබේ.

මේ වන විට අනාවරණය වී ඇති අන්දම ඔහු ගේ මරණය සිදු වී ඇත්තේ ද ඉහත කී වස වර්ගයට සමාන වස වර්ගයක් ශරීර ගත වීමෙනි. එම දිවි නසා ගැනීම් මත පදනම් වූ වස තිබූ සෑම ඇසුරුමක්ම එම සමාන බව ද පොලීසියට නිරීක්ෂණය වී තිබේ. නමුත් ඒ වස වර්ගය කුමක් ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනා ගෙන නැත.

රුවන් ප්‍රසන්න ගුණරත්න පවුලේ පිරිස ද සමඟ විදෙස් රටකට යාම සඳහා බව කියමින් පොලොන්නරුව ප්‍රදේශයේ තිබූ තම දේපළ විකුණා දමා එම විදෙස්ගත වීම පිළිබඳව වැඩ කටයුතු සිදු වන තුරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් දෙමහල් නිවසක පදිංචිව සිට ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. 

මුල දී රසායනාගාර සේවකයකු ලෙස කටයුතු කළ ඔහු පසුව බුදු දහම සම්බන්ධ නිරවුල් සත්‍යය මුල් කොට දේශනා පවත්වන්නකු ලෙස ඇතැමුන් අතරේ ප්‍රකට වී ඇත. එලෙස විවිධ ස්ථාන වල සහ සමාජ ජාල ඔස්සේ තම මතය පළ කිරීම මත දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඔහුට අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දිනයෙක හබරාදූව ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක ද ඔහු දේශනයක් පවත්වා ඇතැයි පොලීසිය කියයි. ඒ අතර දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාශ මුඛයට යන බවත් මෙහි ජීවත් වීමට වඩා සංසාර විමුක්තිය පතා මෙලොවින් තුරන් වීම හොඳ බවත් පවසමින් දේශනයක් පවත්වා ඇති බවත් අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙලෙස සියදිවි හානි කරගත් සියලු දෙනාටම මෙතෙක් නිශ්චිතව හඳුනා ගත නොහැකි එකම ආකාරයේ උග්‍ර වසක් හමුවීම පිළිබඳවත් දැඩි ප්‍රශ්නකාරී තත්වයක් පවතින බවත් ඔහුගේ සෙසු අනුගාමිකයන් සියලු දෙනා වෙත ද මේ ආකාරයෙන් එකම විස ද්‍රව්‍ය ලැබී ඇත්දැයි සැකයක් පවතින බවත් එබැවින් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පසුගිය දින කිහිපය තුළ සිදුවු මෙම සැක කටයුතු මරණ හත සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව කීය.

එමෙන්ම මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න ගේ දේශනාවලට සවන් දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම විවිධ ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශනා සිදු කර ඇති බවත් ඔහුගේ දේශනාවලට සවන් දුන් පුද්ගලයින් කිහිප දෙනෙකුම මේ වනවිට සියදිවි හානිකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද පොලීසිය පවසයි.

මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලු පුද්ගලයන් රුවන් ප්‍රසන්න ගුණරත්න ගේ අවමගුල් උත්සවයට ද සහභාගී වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

ruwan prasanna 3

නමුදු තමන් බුදු දහම සම්බන්ධ දේශන පවත්වන බව ප්‍රසිද්ධ කළ මෙම පුද්ගලයා බුදු දහම සම්බන්ධ කිසිදු ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොකොට තම බුදු දහම ලෙසින් තම අත්තනෝමතික අදහස් ප්‍රකාශ කළ අයකු බව ද මේ වන විටත් අනාවරණය වී තිබේ.

එසේම ඔහු මාසයකට රුපියල් 150,000ක් වැනි මුදලක් ගෙවා කොට්ටාව ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගත්තේ කෙසේද? යන්න පිළිබඳව ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

ඉහත සඳහන් සිදුවීම් දාමය පිළිබඳව විමසා බැලීමේ දී එය සංසිද්ධියක් වශයෙන් විස්තර කළ හැක්කේ අනුකාරක දිවි නසා ගැනීම් (Copycat Suicide ) ලෙස ය. එම දිවි නසා ගැනීම් වල ආකෘතිය, අන්තර් සබඳතාව සහ ඒවා එකි`නෙක අතර වූ කාල පාරාසය අනුව අපට එසේ නිගමනය කළ හැක. 

image 1edf56ead0
එහෙත්, එසේ මරණයට ගොදුරු වූ කුඩා දරුවන් තිදෙනා එම ඛේදවාචකයට ලක් වූයේ සිය මවගේ නොනිසි බලපෑමක් මත යැයි සාධාරණ ලෙස උපකල්පනය කළ යුතු වෙයි. මෙම අනුකාරක දිවි නසා ගැනීම් ප්‍රබල සමාජ අර්බුදයකි. 

එහෙත්, මෙම සංසිද්ධිය තුළ එය ද ඉක්මවා යන බරපතල අඳුරක් සහ ගැඹුරක් තිබේ. එනම් මෙම ඛේදවාචකය මුළුමනින්ම ආගමික මූලයක් මත පදනම් වූවක් බව පෙනී යන බැවිනි. විශේෂයෙන් ශ්‍රී ලාංකේය ජන සමාජයේ තුනෙන් දෙකක ප්‍රමාණයක් අදහනු ලබන බුද්ධාගමේ නාමයෙන් මෙවන් ඛේදවාචක සිදුවීම් සුළු කොට තැකිය නොහැක. එමෙන්ම මෙය මේ සම්බන්ධ අවසාන ඛේදවාචකය වීමට ද නොපුළුවන.

ආගමික මූලධර්මවාදය (Fundamentalism) යන නම අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කිනම් හෝ ආගමක සමස්ත ශාස්තෘ දේශනාවෙන්, මූලික ඉගැන්වීම් වලින් සදාචාර මාර්ගයෙන් බැහැරව ඒ ආගමේ එන ඇතැම් කොටස් පමණක් අනවශ්‍ය ලෙස හුවා දක්වමින් වෙනයම් අරමුණු උදෙසා ඒවා අවභාවිතා කිරීම මෙසේ ආගමික මූලධර්මවාදය ලෙස හැඳින්වෙයි. මෙබඳු ආගමික මූලධර්මවාදීන් ගේ ක්‍රියා එම ආගමිකයනට පමණක් නොව සමස්ත මිනිස් සමාජයටම බරපතල අනර්ථයන් උදා කරන්නකි.

 

ආගමික මූලධර්මවාදය යන වදන ඇසුණු සැනින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ බොහෝ දෙනකු ගේ මනැසට නැගෙනුයේ ඉස්ලාමීය ආගමික මූලධර්මවාදය පිළිබඳව පමණි. එහෙත්, සෑම ආගමක් කෙරෙන්ම මෙම මූලධර්මවාදී ක්‍රියා අඩුවැඩියෙන් දක්නට පුළුවන. 

 89089900 japaumafp1999

1995 වසරේ ජපානයේ තෝකියෝ නුවර උමං මාර්ගයක් තුළ විෂ වායුවක් පතුරුවා හැරීමෙන් මිනිස් ජීවිත දහ තුනක් අකාලයේ වනසා හය දහසක් රෝගී කොට 2018 ජූලි 06 වන දාමරණ දඬුවමට යටත් වූ ඕම් ෂින් රිකෝ නම් නිකායක් පිහිටුවා ගෙන සිටි සෝකෝ අසහාරා බෞද්ධ මූල ධර්මවාදියෙකි. එහි ශාඛාවක් අප රටේ ද තිබූ බවට එවක වාර්තා විය.


මෙම මූල ධර්මවාදය පදනම් කරගත් විවිධ ආගමික කණ්ඩායම් හෙවත් කල්ලි (Cult ) ලොව සෑම ආගමික සංස්ථා ව්‍යුහයක් තුළින්ම පැන නගින්නට පුළුවන. වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුළින් ජනකාන්ත ප්‍රතිරූප ගොඩනංවාගෙන ඉස්මතුව හිඳින ඇතැම් භික්ෂුන්ගේ ක්‍රියාකාරකම් විමසීමේදී ඒ තුළින් ද මෙම ආගමික කල්ලි ලක්ෂණ දක්නට ලැබෙන බව මනාව නිරීක්ෂණය කළ හැක.

නමුත් මේ දක්වා ඒ සම්බන්ධ කිසිවකුත් ශාස්ත්‍රීය වශයෙන් විමසුමක් කොට තිබේ දැයි මම නොදනිමි.

එලෙස ආගමික කල්ලි පිහිටුවා ගෙන හිඳින භික්ෂුන් සහ ගිහියන් වටා වෙනම ශ්‍රාවක පිරිස් ඒකරාශී වීම ඔවුන් බුදු සමයේ මූලික ධාරාව කෙරෙහි නොරිසි වීම සේම එය සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා පෙළඹවීම ඒ සම්බන්ධ මූලික අධ්‍යයනයක දී වුව තහවුරු කර ගත හැක. 

තම ආගමේ නාමයෙන් අන්‍යතර විෂමාකාරී අදහස් පතුරුවා ලීම එම ආගමික කල්ලි නායකයන් ගේ පුරුද්දකි. එමෙන්ම එම උගැන්වීම් වල දක්නට ලැබෙන නවතාවය මුල් කොට ඔවුන් කෙරෙහි යම් යම් පිරිස් ඇදී එන බවක් ද පෙනෙයි. මෙය ලෝකයටම පොදු තත්වයකි.

මේ අතර අප රටේ රාජ්‍ය නායකයන් ගේ පවා ගරු බුහුමන් ලබන එක් භික්ෂුවක් සහ තවත් භික්ෂුවක් බුදු දහමින් ඉඳුරාම ප්‍රතික්ෂේප කෙරෙන රහ මෙර පානය අගයමින් රා කට්ට බැගින් තොළ ගාන දර්ශනයක් මේ දිනවල සමාජ ජාල මගින් සංසරණය වේ. 

බුදු සමයේ සුරා මේර වශයෙන් දෙයාකාරව දක්වා ඇති මත් පැන් අතුරින් ‘මේර’ ගණයට වැටෙන ‘රා’ බීම පන්සිල් මගින් ගිහියන්ට පවා සපුරා තහනම් කොට තිබේ. 

එමෙන්ම නොපැහුණු සහ පැසුණු රා අතර පවත්නා රා විශේෂය පානය කිරීමට භික්ෂුන්ට කැපය හෙවත් ජලෝහි කප්ප යනුවෙන් එක් භික්ෂු පිරිසක් කළ ධර්ම විරෝධී ඉල්ලීම සංඝ සම්මුතියෙන් ඉඳුරාම ප්‍රතිෂේප වූ බව දෙවන ධර්ම සංඝායනාව පිළිබඳ ඉගෙන ඇති පාසල් දරුවෝ පවා දනිති. 

ඒ කෙසේ වුව මූලික බුදු සමයට පටහැනි විවිධ මූලධර්මවාදී ක්‍රියා සඳහා පදනම් වන ආගමික කල්ලි මෙහෙයවීම වෙනුවෙන් අන්‍යාගමික සංස්කෘතික බලවේග විසින් සුවිසල් ධනස්කන්ධයක් නිතිපතා පොම්ප කරන බව ලෝක ආගමික සංස්කෘතික සංසිද්ධීන් පිළිබඳ විමසුම් වලදී මැනැවින් පෙනී යයි.

ශ්‍රී ලංකාව තුළ පවත්නා මෙම තත්වය ජලයේ පාවෙන අයිස්කුට්ටියක් මෙනැයි අපට සිතේ. මක් නිසා ද යත් ඉන් ඉතා සුළු කොටසක් පමණක් මතු පිටට දිස්වන බැවිනි.

oneWay INV
මේ අතර යම් යම් හේතුන් මුල්කොට විවිධ මානසිකත්වයන් පදනම් කර ගනිමින් මෙලෙස ආගමික මූලධර්මවාදී ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද වෙති. විශේෂයෙන් භාවනා, යාඥා ආදී ආගමික ඉගැන්වීම් අවභාවිතා කරමින් විවිධ පුද්ගලයන් ගේ මනැස් විකෘති කිරීම මෙහි දී බහුලවම දක්නට ලැබෙයි. 

භාවනාව යනු බුදු දහමේ මූලික පරමාදර්ශයක් වුවද එහි අවභාවිතාව මඟින් සිදු කෙරෙන බරපතල මනෝ විද්‍යාත්මක අපයෝජනයන් ගෙන් ද වත්මන් සමාජය පිරී පවතී. යාඥාව සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එපමණකි.

ගත වූ කෙටි කාලය තුළ විවිධ පුද්ගලයන්ගේ සහ සංවිධාන වල ආගමික අවභාවිතාවන් නිසා අකාලයේ දිවිනසා ගත් බොහෝ දෙනෙකු වෙතත් ඒ සම්බන්ධ එම දිවිනසා ගැනීම් වෙනම වර්ගීකරණයකට ලක් නොකිරීම මත මෙම බරපතල සමාජමය සංසිද්ධිය නිහඬ ඛේදවාචකයක් බවට පත්ව තිබේ.


* හිඟුරක්ගොඩ නුවරවත්තේ ද සිදු වූ ආගමික බලපෑමක් මත යටිගල්පතානේ දහසය හැවිරිදි ධම්මිකා කුමාරි නම් සිසුවියක් විස ඇට වර්ගයක් කා දිවි නසා ගෙන තිබිණි. 

* ඒ අතර 1994 ඔක්තෝබර් මාසයේ දිනයෙක අම්පාරේ දී කොඩිතුවක්කු ආරච්චිගේ සුනේත්‍රා නමැති තරුණියක ද ආගමික විශ්වාස පදනම්කර ගෙන වස බී දිවි තොරකර ගෙන තිබිණ.

* එමෙන්ම එවන් ආගමික බලපෑමකට නතු වූ කොටදෙණියාවේ ලලිත් ප්‍රේමසිරි නමැත්තකු ද 2001 වසරේ මාර්තු 07 දා ගෙල වැළලාගෙන තිබුණේ කඩිනමින් දෙවියන් දැකීමට හැකි බව පවසමිනි. 

* එමෙන්ම 2001 අගෝස්තු 13 දා හෝකන්දර පුෂ්පා කුමාරි නම් දෙදරු මව දෙහිවලදී දුම්රියට පැන දිවි නසා ගත්තේ ආගමේ නාමයෙන් ප්‍රගුණ කළ වැරදි මානසික අභ්‍යාසයක් මුල්කොට ඇති වූ දරුණු මානසික බිඳ වැටීමකිනි.

* එමෙන්ම කිතුණු ආගම් ප්‍රචාරකයකු වූ සරත් මුදලි ගේ නම් පාස්ටර් වරයා ද 2003 අප්‍රියෙල් 05 වන දා මහරගම පිහිටි කුලී නිවසක දී දිවි නසා ගෙන තිබුණේ තම බිරිඳ ගේ සාරියෙන් ගෙළ වැල ලා ගනිමිනි. 


ඉහත සඳහන්ව ඇත්තේ ඒ මරණ පරීක්ෂණ වලදී අනාවරණය වූ කරුණු මගින් තහවුරු කර ගත හැකි වූ අප ගේ අවධානයට යොමු වූ දිවි නසා ගැනීමේ ජාලයේ අතනින් මෙතනින් අහුලා ගත් එකක් දෙකක් පමණි. මෙම ඛේදවාචකයේ පරිමාව මින් හත් අට ගුණයකටත් වඩා පුළුල් ය.

schizo
මේ අතර මතුපිටින් මනා පෞරුෂයක් සහ අනුන් ගේ සිත් දිනා ගැනීමේ හැකියාවක් සහිත; එහෙත් භින්නෝන්මාද (Schizophrenia ) ආදී මානසික රෝග වලින් පෙළෙන්නෝ ද ආගමික වශයෙන් මෙවැනි විෂමකාරී අදහස් පතුරුවා හරිති. ඒ අනුව ඔවුන් ගෙන් ඇතැමකු අනුගාමිකයන් ලක්ෂ ගණනක් සහිත ආගමික කල්ලි තනා ගත් අවස්ථා ද ලොව නන් දෙසින් වාර්තා වේ. එවිට කායික මානසික හුදකලාව සහ පෞරුෂ ඌණතා සහිත පිරිස් ඔවුන් වටා එක් ව ඒ මානසික රෝග ලක්ෂ සිය කැමැත්තෙන් වැළඳ ගෙන තම ජීවිත ඉරණම ඔහුට භාර දෙන අවස්ථා ද තිබේ. ප්‍රංශ බසින් Folie a deux යනුවෙන් හැඳින්වෙන මෙම තත්වය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ හවුල් සයිකෝසීය ආබාධය (Shared Psychotic Disorder ) යනුවෙනි.

මෙවන් වාතාවරණයක් යටතේ බුදු දහම දේශනා කරන මුවාවෙන් ඊට ඉඳුරාම පටහැනි දෙයක් සමාජගත කරමින් තමන් ද අකාලයේ වැනසෙන අතරේ තවත් අහිංසක මිනිස් ජීවිත ගණනාවක් අකාලයේ මරු මුවට ඇද දැමීමට මුල් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා ගොදුරු වූ ඛේදනීය ඉරණම මුල් කොට මනෝ විද්‍යාත්මක ස්වයංපරීක්ෂාවක් (Psychological Autopsy ) සිදුකොට ආගමේ නාමයෙන් දිවි නසා ගැනීමේ සමාජ ඛේදවාචකයේ මූලය සොයා ගැනීම සියළු වගකිව යුත්තන් විසින් අනිවාර්යෙන්ම කළ යුත්තකි. මක් නිසාද යත් මෙම දිවි නසා ගැනීම් සේම සමූහ මිනී මැරුම් ද මෙම ආගමික කල්ලිවාදය නම් කාසියේ අනෙක් පැත්ත බව මනාව තහවුරු වී ඇති බැවිනි.


Thilak senasinghe
ගවේශනාත්මක මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම- vinivida.lk)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්