IMF පිටකවරය


අදාළ ප්‍රතිපත්ති අධිකාරීන් දක්වන්නේ, IMF මූල්‍ය වැඩසටහන යනු ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායිකරණය කිරීම සඳහා ඩොලර් බිලියන 3 ක පමණ IMF ණය මුදලක් සමඟ ක්‍රියාත්මක කෙරෙන ආර්ථික කළමනාකරණ වැඩසටහනක් බව යි. එබැවින්, IMF වැඩසටහනේ පිටකවරයෙන් කියන්නේ, එය IMF ඩොලර් බිලියන 3 ක ශ්‍රී ලංකා ආර්ථික ස්ථායිකරණය යන්න යි.



IMF වැඩසටහන අනුමත වී ඩොලර් මිලියන 333 ක පළමු වාරිකය ලැබෙන පුවත 2023 මාර්තු මස 20 දින වාර්තා වීමත් සමඟ සමහරු රතිංඤ්ඤා පුපුරවා කිරිබත් අනුභව කරන ලදි. එසේ කළේ ඉංග්‍රීසි බසින් රචිත IMF වැඩසටහන කියවා තේරුම් ගෙන නොව, අදාළ ප්‍රතිපත්ති අධිකාරීන් විසින් එහි පිටකවරය ප්‍රචාරනය කිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා ආර්ථිකය අස්ථායි වූ ආකාරය හෝ ආර්ථිකය මුහුණ දෙන අර්බුදය කුමක් ද? යන්න අප බොහෝ දෙනා අත් දැක තිබූ බැවින් IMF පිටකවරය පොදු මහජනයාට ඉතා ආකර්ෂණීය වූ බව කිව යුතු නැත.


පිටකවරය දෙස බලා එක හඬින් IMF වැඩසටහනක් ඉල්ලූ සමහරු විසින් දැන් දැන් IMF ඇතුල් පිටු කියවමින් විවිධාකාරයේ විවේචනයන් කිරීම දැකිය හැකිය. එහෙත්, අදාළ බලධාරීන් තවමත් දක්වන්නේ එහි පිටකවරය යි. එබැවින්, ඊළඟ මැතිවරණයන්හි ඡන්දය හුදෙක් රටට IMF ද?, නැත් ද?, යන්න දේශපාලනික පක්ෂ සටනක් විය හැකිය. උදාහරණ ලෙස ඊළඟ මැතිවරණවල දී IMF වැඩසටහන ඉදිරියට ගෙන යන නායකයන්ට ඡන්දය ප්‍රකාශ කරන ලෙස උපදේශයක් මෑත දී මහ බැංකු අධිපති විසින් මහජනයාට දෙන ලද්දේ ද මෙම පිටකවරය දෙස බලා ය. එහි දී ඔහු විසින් දක්වන ලද්දේ, IMF වැඩසටහන යනු ශ්‍රී ලංකාව ස්ථායිකරණය කිරීමේ මිස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් නොවන බවත්, සංවර්ධනය කිරීමේ වැඩසටහන අප විසින්ම සකසා ගත යුතු බවත් ය.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ ශ්‍රී ලංකා අධිකාරීන් විසින් දැනට වර්ෂයකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කරනු ලබන IMF වැඩසටහනේ සැබෑ සාර්ව ආර්ථික ස්වරුපය වටහා ගැනීම සඳහා අත්වැලක් සැපයීම යි. මෙහි දී, IMF වැඩසටහනේ  පිළි ගැනෙන විවිධාකාර ආර්ථික සංකල්පයන් සහ මතවාදයන් ශ්‍රී ලංකාවට කොතරම් ගැලපේ ද? යන්න ඉදිරිපත් කිරීමක් සිදු නොකෙරේ. IMF වැඩසටහන පිළිබඳ කෙටි ලිපි දෙකක්  මෙම වෙබ් අඩවියේ ඉදිරිපත් කොට ඇත (එය මෙතනින් කියවන්න)

IMF පිටකවරය අර්ථ නිරූපනය

IMF පිටකවරය ලෙස ඉහතින් දැක්වූයේ, ඩොලර් බිලියන 3 ක ණය මුදලින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ස්ථායිකරණය කරන බව යි. එබැවින්, අප සියළු දෙනා මෙම පිටකවරයට වශී වී ඇත්තේ, ආර්ථිකය ස්ථායිකරණය යනු වත්මන් ආර්ථික අර්බුදයෙන් අප මුදා ගෙන නැවත පෙර ජීවන තත්ත්වයට යන බවට පවතින වැටහීම නිසා ය. එහෙත්, එය මිත්‍යාවකි.

ඊට හේතුව, මෙහි දී ආර්ථිකය ස්ථායිකරණය ලෙස අර්ථ දැක්වෙන්නේ ආර්ථික අර්බුදයෙන් මහජනතාව මුදා ගැනීම නොව, පැරණි සාර්ව ආර්ථික තුලන සංකල්පයකි. එනම්, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම සහ සමස්ත සැපයුම අතර තුලනයක් හෝ සමාන තත්ත්වයක් ඇති කිරීමකි.


මෙවර ශ්‍රී ලංකා ආර්ථිකය අස්ථායි වී අර්බුදයට මුහුණ දීමට හේතුව වනුයේ, 2020 වර්ෂයේ සිට ආර්ථිකයේ සමස්ත සැපයුම පහළ යාමත්, එම සැපයුමට සාපේක්ෂව ආර්ථිකයේ සමස්ත ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීමත් ය. අධි උද්ධමනය සහ විදේශ සංචිතය කඩා වැටී විනිමය අනුපාතය අධික ලෙස ඉහළ යාම යනු මෙසේ අධි සමස්ත ඉල්ලුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ආර්ථික තුලන සංකල්පය පිළි ගන්නා ආර්ථික විද්‍යාඥයන්ගේ දැක්මයි.


ඔවුන්ට අනුව, ආර්ථිකය නැවත ස්ථායිකරණය සඳහා කඩිනමින් කළ යුත්තේ, පහළ ගොස් ඇති සමස්ත සැපයුමට සරිලන ලෙස ආර්ථිකයේ සමස්ත ඉල්ලුම ද පහළ දැමීම යි. IMF ණය මුදල සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි යනු එසේ සමස්ත ඉල්ලුම පහළ දැමීම සඳහා IMF  විසින් නියම කොට ඇති ප්‍රතිපත්ති මෙවලම් ය. IMF වැඩසටහනේ ඇතුල් පිටුවල දැක්වෙන්නේ එය යි.

එබැවින්, IMF පිටකවරය කියවීමෙන් පමණක් සිදු වන්නේ, මහජනයා අර්බුදයේ අගාධයට තල්ලු කිරීමකි. ඊට හේතුව, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම කැපීමෙන් මහජනයාගේ ජීවන මට්ටම තවත් කඩා වැටීම යි. 2022 අගෝස්තු මස 30 දින මහ බැංකු අධිපති විසින් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් සමඟ පැවැත් වූ ආර්ථික සංවාදයේ දී ද ප්‍රකාශ කරනු ලැබූවේ, මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ ජීවන තත්ත්වය වැට්ටීම සහ ආර්ථික සංකෝචනය හරහා බවත්, ඒ සඳහා IMF හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ය.

එහෙත්, මෙහි කිසිම සංකීරණ හෝ නූතන ආර්ථික මූලධර්මයන් නොමැත. මෙහි ඇති එකම එකම මූලධර්මය වනුයේ, ගෝත්‍රීය ආර්ථික සමතුලිත මූලධර්මය යි. එනම්, ආර්ථික අස්ථායිතාවයක දී සමස්ත සැපයුම බාහිරව තීරණය වන බලවේගයක් ලෙස සලකා රජය විසින් සමස්ත ඉල්ලුම කළමනාකරණය කිරීම මගින් ආර්ථික සමතුලිතය නැවත ඇති කිරීම හෙවත් ආර්ථිකය ස්ථායිකරණය කළ යුතු  බවට දැක්වෙන සංකල්පය යි. මෙය හුදෙක් සංකල්පයක් මිස පිළිගත් ප්‍රයෝගික සත්‍යයක් නොවේ.

IMF ඇතුල් පිටුවල අන්තර්ගතය

IMF වැඩසටහනේ ඇතුල් පිටුවල විවිධාකාර ඉලක්කම් සහ තාක්ෂණික පදවලින් පිරී ඇත. එහි අන්තර්ගතය දෙස බලන විට, ඒවා කියවා තේරුම් ගැනීමට ඒවා කෙටුම්පත් කළ IMF නිලධාරීන් හෝ ඔවුන්ට දත්ත සැපයු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ට හෝ හැකියාවක් නොමැත. එහෙත්, IMF විසින් පනවන ලද ප්‍රතිපත්ති මෙවලම් දෙස බලන විට, ඒවා කෙටුම්පත් කිරීමට පාදක වූ සරල ආර්ථික සංකල්පයන් කිහිපයක් පවතී.

එම ප්‍රතිපත්ති මෙවලම් පදනම් වනුයේ බදු ඉහළ දැමීම සහ රාජ්‍ය වියදම් සීමා කොට අයවැය හිඟය සහ රාජ්‍ය ණය ප්‍රසාරණය පහළ දැමීම, පොලී අනුපාතයන් ඉහළ දමා ආර්ථිකයේ මුදල් තත්ත්වය සීමා කිරීම මගින් බැංකු ණය සහ මුදල් සැපයුම ප්‍රසාරණය පහළ දැමීම  සහ ආනයන පාලනයන් ඉවත් කොට විනිමය අනුපාතය වෙළෙඳපොළ සාධක මත නම්‍ය ලෙස තීරණය වීමට ඉඩ හැරීම යනාදී මූලික ආර්ථික කළමනාකරණ පිළිගැනීම් මත ය. එම සියල්ලම ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පහළ දැමීම මගින් ආර්ථික ස්ථායිකරණ අරමුණ සඳහා යොමු වෙයි.

මෙය ද මතවාදයකි. එය පදනම් වූ සංකල්පයන් කිහිපයකි.


පළමුව, ආර්ථිකයේ විදේශ ගෙවුම් හිඟය සහ පෞද්ගලික ආයෝජනය පහළ යාමට හේතුව අඛණ්ඩ රාජ්‍ය අයවැය හිඟය යි.

දෙවනුව, ආර්ථිකයේ වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් මුදල් සැපයුම ප්‍රසාරණය වීමෙන් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම ඉහළ ගොස් උද්ධමන පීඩනයක් හට ගනී.

තෙවනුව, ආර්ථිකයේ විදේශ ගෙවුම් හිඟය ඉහළ ගොස් විදේශ සංචිතය පහළ යාමට හේතුව මුදල් සැපයුමට වඩා වැඩි වේගයකින් බැංකු ණය ප්‍රසාරණය වීම යි. එමගින්, විනිමය අනුපාතය ඉහළ යනු ඇත.


මෙහි දී, රාජ්‍ය අයවැය හිඟය, රාජ්‍ය ණය, විදේශ සංචිත පහළ යාම, සමස්ත ඉල්ලුම ප්‍රසාරණය සහ උද්ධමන පීඩනය යනාදිය එකිනෙකට සම්බන්ධ ආර්ථික සිද්ධීන් ලෙස දැක්වෙයි. එබැවින්, IMF ඇතුල් පිටු සැකසී ඇත්තේ රාජ්‍ය මූල්‍ය හෙවත් අයවැය ප්‍රතිපත්තිය දැඩි කිරීමත්, මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමත් සඳහා ය.

2022 සහ 2023 වර්ෂවල බදු ඉහළ දැමීම, රාජ්‍ය වියදම් කැපීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු රාජ්‍ය ණය තොගය සහ ණය සේවාකරණය සීමා කිරීම, පොලී අනුපාතයන් ඉහළ දමා මුදල් මුද්‍රණය සහ බැංකු ණය ප්‍රසාරණය පහළ දැමීම යනාදී ප්‍රතිපත්ති උන්මාද ස්වරුපයෙන් ක්‍රියාත්මක කරන ලද්දේ, හුදෙක් IMF ඇතුල් පිටු දේව ධර්මයක් ලෙස සලකා ය. මෙහි දී, කෝකටත් තෛලය ලෙස දැක්වෙන්නේ රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම් කප්පාදු කිරීම යි. එමගින්, ආර්ථිකයේ සමස්ත සැපයුමට සහ ජීවන මට්ටමට වැදෙන මරු පහර පිළිබඳ ව කිසිම තැකීමක් නොකෙරේ.

එබැවින්, මුදල් ලේකම් විසින් වියදම් කිරීම සඳහා මුදල් නොමැති බවත්, උද්ධමනය ඉහළ යන බැවින් මුදල් මුද්‍රණය කළ නොහැකි බවත් පවසමින් තම නිල අසුන්වල පහස භුක්ති විඳිමින් සිටීම දැකිය හැකිය. එහෙත්, ඔවුන්ගේ මහජන අධිකාරිය වන්නේ එය නොව, මහජන ආර්ථික අභිලාෂයන් ඉටු කිරීම යි. ඊට හේතුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදයෙහි දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම 14 ක් සහ අරමුණු 10 ක් මහජනයාගේ ආර්ථික සුභසිද්ධිය පිළිබඳ රජය විසින් අනුගමනය කළ යුතු බැවිනි.

එබැවින්, IMF පිටකවරය දැක IMF වැඩසටහනට මුල දී අත උස්සන ලද සමහරු දැන් දැන් ඇතුල් පිටු සහ මහජනයා මුහුණ දෙන ආර්ථික පීඩා දැකීමෙන් IMF වැඩසටහනට එරෙහි අදහස් දැක්වීමට පටන් ගෙන ඇත. මැතිවරණය ආසන්න වන විට ඡන්ද පොරය සඳහා IMF ඇතුල් පිටු තව තවත් කරලියට එනු ඇත.


IMF පිටකවරයට ළැදි මහජන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් විලක්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස IMF වැඩසටහනට එරෙහි මහජන නායකයන්ට අභියෝග කරන්නේ IMF ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමේ අරමුණිනි. එහෙත්, ආර්ථිකය අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා කිසිම ආර්ථික විද්‍යාත්මක වැඩපිළිවෙලක් කිසිම මහජන නායකයන් විසින් ඉරිදිපත් කිරීමක් දැකිය නොහැකිය. ඔවුන් සැවොම පවසන්නේ දුෂණය තුරන් කිරීම හරහා එය කිරීමට ඔවුන්ට පුළුවන් බව යි.

සමාප්ත සටහන

ආර්ථික අර්බුදය සහ IMF වැඩසටහන ආශ්‍රිතව මෙරට උගතුන්ගේ හැසිරීම් දෙස බලන විට නිදහස් අධ්‍යාපනයෙන් ශ්‍රී ලංකාව බිහි කොට ඇති උගතුන් සහ නායකයන් පිළිබඳ විශාල කණගාටුවක් ඇති වනු ඇත. විශේෂයෙන් මහජනයාගේ මුදලින් ලෝකය පුරා අධ්‍යාපනය ලබා දී ඇති ජාතික ආර්ථික විද්‍යාඥයන් විසින් ගෝත්‍රීය ආර්ථික මතවාදී IMF හැර මෙරට ආර්ථිකයට වෙනත් විකල්පයක් නොමැති බව බ්‍රිතාන්‍යයෙන් දේශපාලනික නිදහස ලබා වර්ෂ 76 ක් ගෙවෙන මෙම අවස්ථාවේ ප්‍රකාශ කිරීම ඉදිරි ජාතික ආර්ථික ව්‍යසනයක පෙර නිමිත්තකි.

මෙහි දී, 16 වතාවක් IMF ගිය බවත්, මෙවර හරියට IMF වැඩය කළ යුතු බවටත් අදහස් දැක්වෙයි. එහෙත්, ඔවුන් මෙවරත් IMF පිටකවරය පමණක් කියවමින් සිටින බව රහසක් නොවේ. ඒ බව මහ බැංකු අධිපති විසින් මෙම IMF වැඩසටහන ආර්ථික සංවර්ධන වැඩසටහනක් නොවන බවත්, එය අප විසින්ම සකසා ගත යුතු බවත් ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වෙයි. මෙහි දී, ඔහුට නොතේරෙන කරුන වන්නේ, IMF වැඩසටහන් කොන්දේසි පවතින තෙක් ආර්ථික සංවර්ධනයට හිතකර රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කිරීමේ අවකාශයක් නොමැති බව යි. එවැනි, රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති පැකේජයක් නොමැතිව කිසිම රටක් සංවර්ධනය කළ බවට සාක්ෂි නොමැත.


ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බිම් මට්ටමේ තිරසාර ආර්ථික සංවර්ධන වැඩසටහනකි. එහි දී, ආංශීය පදනමක් මත ආර්ථිකයේ නිෂ්පාදනය, ආයෝජනය සහ විදේශ තරගකාරිත්වය ඉහළ දැමීම ඉලක්ක කොට ගත් ප්‍රතිපත්ති මෙවලම් අවශ්‍ය වෙයි. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය උත්තේජනයන් සහ බැංකු ණය ප්‍රසාරණය මූලික වන බව ලෝකයේ සංවර්ධිත රටවල ආර්ථික ඉතිහාසයෙන් පෙනේ.


එහෙත්, IMF කොන්දේසි මගින් රාජ්‍ය අංශයේ කොන්ද බිඳීමෙන් ශ්‍රී ලංකාවේ එම ප්‍රතිපත්ති අවකාශය වලක්වා ඇත. විශේෂයෙන් නව මහ බැංකු පනත මගින් ආර්ථික සංවර්ධන ණය සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධන සහ ස්ථායිකරණ ප්‍රතිපාදනයන් ඉවත් කොට, මහ බැංකුව යනු මුදල් වෙළෙඳුන්ට සමපේක්ෂණ ලාභ සඳහා දෛනිකව තොග මුදල් මුද්‍රණය කෙරෙන ව්‍යාපාරයක් බවට පත් කොට ඇත. මෑත දී වාර්තා වූයේ ආර්ථික අර්බුදයෙන් අවපාතයට ලක් වී ඇති සංචාරක ව්‍යාපාරයට 18% නව IMF වැට් බද්ද්දෙන් සහනයක් ලබා දීමට ඉදිරිපත් වී ඇති යෝජනාව IMF අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇති බව යි.

එබැවින්, දේශීය ආර්ථිකයේ සංවර්ධනයට උපකාරී වන ලෙස රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති පරිසරය නැවත සකස් කර ගැනීම පහසු කරුනක් නොවනු ඇත. ඊට හේතුව, දැනට IMF කොන්දේසි අනුව කඩි මුඩියේ සම්මත කොට ඇති නීති සහ ප්‍රතිපත්ති නැවත සංශෝධනය සඳහා කාලයක් ගත වන බැවිනි.

 

මෙම IMF පිටකවරය ශ්‍රී ලංකාවට විශේෂ වූ නිර්මාණයක් නොව IMF ණය සැපයෙන සියළු රටවලට පොදු එකකි. IMF වෙතින් ණය ඉල්ලා ගෙන එන්නේ ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදයන්ගෙන් මිරිකෙන රටවල් ය. එබැවින්, රටවල ආර්ථිකයන් ස්ථායිකරණය සඳහා IMF ණය සැපයෙන බවට ප්‍රකාශ කෙරේ. එහෙත්, එසේ ස්ථායිකරණය වූ රටවල් නම් ලෝකයේ දැකිය නොහැක. මෑතක් තෙක් IMF ස්ථායිකරණ පිටකවරය නිර්මාණය වූයේ, IMF ණය හරහා විදේශ සංචිතය සහ විනිමය අනුපාතය ස්ථායිකරණය කිරීම අරමුණු කර ගෙන ය. එහෙත්, දැන් එයට ආර්ථිකයේ මිල ස්ථායිතාවය, රාජ්‍ය ණය තිරසාර භාවය සහ දුෂණය පිටුදැකීම ද ඇතුළත් කොට ඇති අතර කවරයේ මුල් කථාව වෙනස් වී නොමැත. එනම්, IMF ණය මුදලින් විදේශ සංචිතයට තල්ලුවක් දී ආර්ථික ස්ථායිකරණය යි. එහෙත්, එය නොමළ නිවසකින් අබ මිටක් සොයා ගැනීමට තැත් කිරීමට නොදෙවෙනි ව්‍යායාමයකි.


IMF පිටකවරය මහජනතාවට පිළිගැන්වීම සඳහා රාජ්‍ය අධිකාරීන් විසින් අනුගමනය කෙරෙන නව ව්‍යායාමය වන්නේ ආර්ථිකය බංකොලොත් නොවූ බව දැක්වීම යි. ඒ සඳහා සාක්ෂි ලෙස මෑත දී දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි ආර්ථිකය  බංකොලොත්වීම පිළිබඳ නිගමනයක් නොමැති වීමේ කරුනක් ද ඉදිරිපත් කොට ඇති බව මධ්‍යය වාර්තා කොට ඇත. මීට එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි අදාළත්වය පිළිබඳ ව මෙම ලිපියෙහි කිසිම අදහසක් ඉදිරිපත් නොකෙරේ. ඊට හේතුව, එය නීති කරුනක් වන බැවිනි.

එහෙත්, 2022 අප්‍රේල් මස 12 දින විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම යනු රජයේ බංකොලොත්භාවය ලෙසත්, එමගින් සමස්ත ආර්ථිකයම බංකොලොත් වූ ආකාරය වටහා ගැනීමටත් අධිකරණ නිගමනයන් අවශ්‍ය නොවේ. තව ද, මහ බැංකු අධිපති විසින් විදේශ ණය පැහැර හරින ලද දිනම තම නිල අධිකාරිය ඉක්මවා ගොස්, අර්බුදයෙන් පීඩා විඳින ජනයාට අවශ්‍ය ආහාර, තෙල් සහ ඖෂධ ආනයනය සඳහා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විදේශිකයන්ගෙන් විදේශ මුදල් ආධාර අයැදීම කරන ලද්දේ ආර්ථිකය බංකොලොත් වූ නිසා බවට තහවුරු කිරීම සඳහා නෛතික අර්ථකතනයන් අවශ්‍ය නොවේ.

ඊට හේතුව, මෙම කරුන හුදෙක් ආර්ථික සහ මූල්‍ය අර්ථකතනයක් වන බැවිනි. එහෙත්, බැංකුවක් වැනි ව්‍යාපාරයක් බංකොලොත් බවට තීන්දු කොට නීතිය ප්‍රකාරව එහි ඉතිරි වත්කම් බෙදා හැර ව්‍යාපාරය ඈවර කිරීම සඳහා අධිකරණ තීන්දු අවශ්‍ය වෙයි. ඊට හේතුව, බංකොලොත් ව්‍යාපාරයක් ඈවර කිරීම නීතියෙන් අවරණය වන විෂයක් වන බැවිනි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි.)

P Samarasiri(පි සමරසිරි)

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)


(economydiscovery - January 31, 2024)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image