ශ්‍රී ලංකා රේගු නිලධාරීන් රාජ්‍ය ආදායම් එකතු කිරීම පිණිස නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් බෙහෙත් නොමැතිව රෝහල් වල මිය යන රෝගීන් ගේ
ඥාතීන් නඟන චෝදනාවලට ලක්වීමට පවා ඔවුනට සිදුවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසා තිබේ. ඒ රේගු සේවා වනිතා ඒකකය සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමිනි.එහි දී රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙසේ ද පවසා තිබේ.
”2023 අවුරුද්ද අපි රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයට වැඩිම ආදායම් එකතු කරපු අවුරුද්ද බවට පරිවර්තනය කළා .රුපියල් බිලියන නවසිය හැත්තෑ පහක්. රටේ මුළු රාජ්‍ය ආදායමෙන් 40% කට වැඩි ප්‍රමාණයක් අපි එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම මත තමයි සමස්ත රාජ්‍යයේ එදිනෙදා වියදම් සියල්ලක්ම සිදුවන්නේ. අපි අතරේ වැරැද්දක් වෙනවා නම්; රාජ්‍ය ආදායම අපි අතරෙන් ලීක් වෙනවා නම් අපේ අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය ආදායම හොරකම් කරනවා නම් මං හිතනවා අද දවසේ බෙහෙත් නැතුව ඉස්පිරිතාලෙක මිය යන අයගේ ඥාතීන් නඟන චෝදනාවලට අපි ලක්වෙනවා. මම ඒක ප්‍රසිද්ධියෙම කියනවා. අපිට වගකීමක් තියෙනවා මේ රාජ්‍ය ආදායම් නිවැරදිව එකතු කරලා ඒ ආදායම තුළින් රටේ මිනිසුන්ගෙ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට. අපි ඒකට අපි බැඳී ඉන්නවා. අපි ඒක කරනවා”
බැලූ බැල්මටම වුව රේගු අධ්‍යක්ෂ ජනරාල් ගේ මේ කතාව අමුතු ජාතියේ එකකි. ඒ අමුතු ගතිය කොතෙක් ද යත් දැනට පවත්නා තත්වය අනුව රෝහල් වල ඖෂධ නොමැතිව මිය යන රෝගීන් ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද? යනුවෙන් පැනයක් කිසියම් මාධ්‍යයකින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඇසීමේ පවා ඉඩක් නැත.ඒ කිලෝ ග්‍රෑමයකට මිලි මීටර් කීයද? බඳු පැනයක් අසන මාධ්‍යවේදියාගේ මොළය පරීක්ෂා කළ යුතු බවට සමාජයේ විවිධ පාර්ශයන් ගෙන් බලපෑම් එල්ල විය හැකි බැවිනි.
ඒ ඕනෑම ආයතනයක ඉහත සඳහන් දුර්වලතා සහිත නිලධාරීන් අඩු වැඩි වශයෙන් හිඳින බැවිනි.එමෙන්ම ඒ නිලධාරීන් අතරේ එක්තරා සංවිධාන ව්‍යුහයක් හෙවත් කල්ලි වාදයක් ද තිබේ.ඒ ඔස්සේ තම වංචා දූෂණ අකාර්යක්ෂමතා යාන්ත්‍රණය පවත්වාගෙන යාමට බාධා පමුණුවන ප්‍රධානීන් මුල් කොට “ලොක්කාට කෙළවීම” නමින්ම ඔවුන් විසින් හඳුන්වන යටිකූට්ටු මගඩි ක්‍රියාකාරකම් වල යෙදෙති.එනිසා ආයතන තුළ තම තනතුර රැක ගැනීමට වෙර දරන ප්‍රධානීන් එම තිත්ත ඇත්ත රටට හෙළිකිරීමෙන් වැලකී හිඳිති.
තිස් දහසකට අධික කාර්ය මණ්ඩලයකින් හෙබි කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල් කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක්ම කිසිදු වෘත්තීය නිපුතත්වයක් නොමැති සුළු හා කණිටු කාර්ය මණ්ඩලයට අයත් වෙති.ඒ අනුව එහි දල ප්‍රතිශතය සියයට තිහ ද ඉක්මවයි.ඒ අප රටේ ප්‍රධාන පෞද්ගලික රෝහල් වල එම සේවක ප්‍රතිශතය සියයට දෙකක් නොඉක්මවන පසුබිමක ය.එහෙත්, පසුගිය කාලයේ සුළු හා කණිටු කාර්ය මණ්ඩලයට අයත් ඇතැම් සේවකයන් පවසා සිටියේ ආණ්ඩුව තම ඉල්ලීම් ලබා දුනහොත් රෝහල් සේවාව අඩාල කර දැමීමට පවා තමන් පසුබට බවකි.රෝහල් සේවාව අඩාල කිරීමට කෙසේ වෙතත් රෝහල් සේවාව නිසි පරිදි පවත්වාගෙන යාමට තමන්ගෙන් ලැබෙන පිටිවහල ගැන ඔවුන් කිසිදා කතා කොට තබා දැනුවත්ව සිටී ද යන්න ද සැකයකි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සිට රෝහල් අධ්‍යක්ෂ වරුන් දක්වා එම සුළු හා කණිටු සේවක තර්ජන හමුවේ නිහඬඩ සිටින පසුබිමක කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම කනිටු හා සුළු සේවකයන් ගෙන් “ගේම ඉල්ලන්නට”යාම නිසා බරපතල අර්බුදයකට පත්ව ඇති බවක් පෙනේ.