මුහුණු පොත ජනමාධ්‍යයක් ලෙස නොසැලකීමට කරුණු ගණනාවක් තියෙනවා.
ගුවන් විදුලි, රූපවාහිනී වගේ පරණ මාධ්‍යයන්ට නීතිමය හිමිකරුවෙක් හා පැහැදිලිව හඳුනාගන්න පුළුවන් ප්‍රකාශකයෙක් සිටියත් මුහුණුපොත වැනි සමාජ මාධ්‍යයන් තුළ ප්‍රකාශකයාට සැඟවී සිටීමට, ව්‍යාජ නාමයන්ගෙන් පෙනී සිටීමට වගේම සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුව සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් කරුණුමය වශයෙන් අසත්‍ය දේවල් සත්‍ය ලෙස පළ කරමින් ජනමතය තම අරමුණු ඉටුවනාකාරයට හැඩගැස්වීමට (මෑනවීමට/manipulate) තිබෙන හැකියාව සහ එහි සමාජ විරෝධී, මානව විරෝධී ප්‍රතිඵල ගැන නීතිමය බැඳීමක්, සමාජ වගකීමක් නොමැතිකම ඒ අතරින් ප්‍රමුඛයි.
ඒවගේම පැරණි මාධ්‍යයන්ගේ තිබුන ඉහල සිට පහළට ගමන් කරන ඒක පාර්ශවික සන්නිවේදනය, නිෂ්ක්‍රීය ග්‍රාහකයා වෙනුවට මුහුණු පොතේ තිබෙන අන්තර් ක්‍රියාකාරීත්වය, සහභාගිත්වය, හැඟීම්බරබව, සංවේදීත්වය සහ අන්තර්ගතය නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා වීමේ (prosumer) ශක්‍යතාව විසින් විශාල බලයක්, බලපෑමක් සහ ආධිපත්‍යයක් සමාජය මත ගොඩ නැගීමේ හැකියාව මුහුණු පොතට ලබා දී තිබෙනවා. එම ශක්‍යතා විසින් විශාල පාරිභෝගිකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ඔවුන් නොමග යවමින් ඔවුන්ගේ කැමැත්ත, තීරණ සහ දෘෂ්ටිවාදයන් කෙරෙහි බලපෑමක් කිරීමට ද සමාජ මාධ්‍ය වලට පුළුවන්.
බැලූ බැල්මට සමාජ මාධ්‍ය අවකාශය හබමාස්ගේ මහජන අවකාශය (public sphere) සඳහා අලුත් ජීවයක් ලබා දෙමින් වාරණයකින් තොරව විවිධ අදහස්, මතවාද සහ තොරතුරු සඳහා විවෘත වේදිකාවක්, සමාන අවස්ථාවක් ලබාදෙමින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අලුත් අවස්ථාවක් උදාකර දී තිබෙන බව පේනවා.
එහෙත් සමාජ මාධ්‍ය අවකාශය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවස්ථාවක්ද එසේ නැතහොත් අන්තවාදී පැසිස්ට්වාදය සඳහා ආගාධයක් විවර කරන්නේ ද යන්න සොයා බැලීමට දැන් කාලය පැමිණ තිබෙනවා.
ලාංකීය සමාජයේ බහුතරයකට සැබවින්ම මතවාදයක් තිබෙනවාද? ඔවුන් තම මතවාදය, තීරණ හැඩගස්වා ගන්නේ කොහොමද? පුරවැසියෙක් ලෙස රටේ සමාජ, දේශපාලන අනාගතය ගැන සමස්ත සත්‍ය කරුණු වලින් සන්නද්ධ වී හොඳින් හිතාමතා තමන්ගේම ස්වාධීන තීරණයක් ගැනීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවාද? එසේ නැතහොත් එම තීරණ ගන්නේ ප්‍රචාරණ දැන්වීමකට හෝ ප්‍රචාරණ උපක්‍රමයකට රැවටී හෝ රැල්ලට හසු වී පාරිභෝගිකයෙකු ලෙසද?
පුරවැසියෙක් යම් පුද්ගලයකුට හෝ දේශපාලන පක්ෂයකට කැමැති වන්නේ ඔහු කැමති නිසාද? එසේ නැතහොත් ඔහුගේ කැමැත්ත සහ තීරණය අනෙකෙකු විසින් (ප්‍රචාරකයා විසින්) නිෂ්පාදනය කරන්නේ ද? රටක තිබෙන ජනමාධ්‍යයන්ට හෝ සමාජ මාධ්‍යවලට පුරවැසියා පාරිභෝගිකයකු බවට පත්කර ඔහුගේ තීරණය සහ කැමැත්ත ප්‍රචාරකයාගේ කැමැත්ත හා තීරණය බවට පත් කළ හැකි නම් එය රටක ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මානව සංහතියේ යහපතට බලවත් තර්ජනයක් නොවන්නේද ?මේ ප්‍රශ්නවලට විචාරශීලී සමාජයක සුවිශේෂි තැනක් හිමි වුවද අපි වැනි බයියන්ගේ සමාජයකට එහි කිසිම වැදගත්කමක් නැහැ.
තමන්ගේම මතවාදයක් නොමැති, කරුණුමය සත්‍යය මත නොව හැඟීම්බරව සහ රැල්ල දෙස බලා තීරණ ගන්නා බහුතරය සිටින සමාජයක් ඉක්මනින්ම හෝ ප්‍රමාද වී විනාශය තෝරා ගන්නේය යන්නට ශ්‍රී ලංකාව කදිම නිදසුනක් ලෙස අහන්න ලැබුණොත් එය පුදුමයක් නොවේ.
එකම සිදුවීම පළමුවරට අහම්බයක් ලෙසත් දෙවනුව ඛේදවාචකයක් ලෙසත් සිදුවන බවට තිබෙන ප්‍රසිද්ධ කියමණද මීට අදාලය. ඒ අනුව 2019 අහම්බයක් ලෙසත් 2024 ඛේදවාචකයක් ලෙසත් එකම සිදුවීම නැවත සිදු විය හැකිය.
මෙම වියමන මගින් මා උත්සහ කරන්නේ බලය ලබාගැනීම අරමුණු කර ගත් සුළුතර භයානක කණ්ඩායමකට මුහුණු පොත විසින් හෙජමොනියකට (සාමස්ථික ආධිපත්‍යයකට)පහසුකම් සලසන ආකාරය පරීක්ෂා කිරීමටයි.
හෙජමොනිය (සාමස්ථික ආධිපත්‍යය) යන්නෙහි සරල තේරුම වන්නේ යම් පිරිසක් විසින් අන් අය මත ආධිපත්‍යය (dominant) පවත්වාගෙන යෑමයි. එම ආධිපත්‍යයට නතුවන අය විටෙක දැනුවත්ව ද විටෙක නොදැනුවත්ව ද තවත් විටෙක එහි මිශ්‍රණයක් ලෙසද ආධිපත්‍යය දරණ කණ්ඩායමේ මතවාදයට, තීරණයට හෝ කැමැත්තට නතුවේ.
පුරාතන ග්‍රීසියේ හෙජමොනිය යන යෙදුම යෙදී ඇත්තේ එක් රාජ්‍යයක් විසින් මිලිටරි සහ දේශපාලනමය වශයෙන් තවත් රාජ්‍යයක් මත ආධිපත්‍යය පවත්වාගෙන යෑම හැඳින්වීමටය. හෙජමොනිය යන යෙදුම ඉතිහාසය පුරාම විවිධ විෂය ක්ෂේත්‍ර තුළ විවිධ අර්ථකථනවලට භාජනය වෙමින් තිබෙන අතර වඩාත් බලපෑම් සහගත විග්‍රහය ඉදිරිපත් කරනු ලැබුවේ ඉතාලියානු සමාජ දාර්ශනිකයෙකු වන අන්තෝනියෝ ග්‍රාම්සි විසිනි. ඔහුට අනුව හෙජමොනිය “එක් පන්තියක වටිනාකම් සහ දැක්ම සමස්තයේ වටිනාකම් හා දැක්ම” ලෙස පෙන්නුම් කරයි.
“සාමස්ථික ආධිපත්‍යය” බලය ලබාගැනීමේ යාන්ත්‍රණයක් ලෙස සංස්කෘතික සහ සන්නිවේදන විෂය ක්ෂේත්‍ර තුළ හඳුනා ගන්නවා. වර්තමාන ඩිජිටල් අවකාශය තුළ “සාමස්ථික ආධිපත්‍යය” යන්න ජීවමාන සිද්ධාන්තයක් ලෙස බලය අත්පත් කරගැනීම තේරුම් ගැනීම සඳහා භාවිතා වෙනවා.
මට අනුව නම් “සාමස්ථික ආධිපත්‍යය” යනු “සුළුතරයේ මතය, කැමැත්ත,උවමනාවන්”,- “සමස්තයේ කැමැත්ත, මතය, උවමනාවන් ලෙස පෙන්නුම් කිරීමයි”. එමඟින් සුළුතර කණ්ඩායමක් විසින් සමස්තය මත ආධිපත්‍යයක් පවත්වාගෙන යයි.
මෙම සන්දර්භය සහ භාවිතය මුහුණු පොත තුළ ස්ථානගතකර බලමු. මුහුණු පොතට ආවේණික ගති ලක්ෂණ නිසා මනාව සංවිධානය වූ කණ්ඩායමකට සාමස්තික ආධිපත්‍යයක් ගොඩනගා ගැනීම ඉතා පහසුය. බැලූ බැල්මට මුහුණු පොත දෙස මතුපිටින් බලන කෙනෙකුට (මුහුණු පොතේ සැරි සරන බහුතරය - සරල, හැඟීම්බර, අතාර්කික, විනෝදකාමී, රැල්ලට අහුවෙන බයියන්ය/funny citizenය) මුහුණු පොතේ අන්තර්ගතය පෙනෙන්නේ සැලසුමකින් තොරව අහම්බෙන්, ඉබේ ම නිර්මාණය වන්නක් ලෙසය. මුහුණු පොතේ බහුතර අන්තර්ගතයන් පුද්ගල කණ්ඩායමක්/ සංවිධානයක් හෝ ඇල්ගොරිදම් / AI විසින් අරමුණු සහගතව සැලැස්මකට අනුව උපායමාර්ග භාවිතා කර නිර්මාණය කරන බව ඔවුහු නොදනිති.
මුහුණු පොතේ වෙස් මුහුණ ගලවා සැබෑ මුහුණ එළියට ගැනීමට යොදා ගන්න පුළුවන් හොඳම මෙවලමක් වන්නේ සාමස්තික ආධිපත්‍යයයි. සාමස්ථික ආධිපත්‍යයට මුහුණු පොත යොදා ගන්නා ආකාරය ගැන කියවීමක් අවශ්‍ය වන්නේ මේ නිසයි. මෙම කියවීම සඳහා මේ දිනවල මුහුණු පොතේ ආධිපත්‍යය දරන ජාතික ජන බලවේගයේ මුහුණු පොතේ උපාය මාර්ගික භාවිතාවන් සැලකිල්ලට ගන්න පුළුවන්.
මුහුණු පොත විසින් සංවිධානය වීමට සහ ජාලගත වීමට තාක්ෂණික වශයෙන් පහසුකම් සලසන බැවින් වඩාත් හොඳින් සංවිධානය වූ ජාලගත වූ සංවිධානයකට තම අරමුණු සඳහා යෑමට මුහුණු පොත කදිම තෝතැන්නක්. ජනතා විමුක්ති පෙරමුණට මේ සුදුසුකම් සියල්ල තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගයට රට පුරා පැතිරුණු තම පක්ෂය වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවුණු ජාලගත කාඩර්වරු ලක්ෂ තුනක් විතර ඉන්නවා. ඔවුන් ඉහලින් එන අණ ඒ ආකාරයෙන්ම පිළිගෙන දිවි හිමියෙන් ඒ අණ ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින සොල්දාදුවන් පිරිසක්. 1971 වගේම 1988 ඔවුන්ගේ කැපවීම පිළිබඳ අත්දැකීම් අපට තිබෙනවා.
මෙම කාඩර්වරු දැන් පූර්ණ කාලීනව මුහුණු පොත තුළ සාමස්ථික ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමේ මෙහෙයුමට යොදවා තිබෙන බව පේනවා. ඔවුන් අද මුහුණු පොතේ සොල්දාදුවන්. ඔවුන්ගේ රාජකාරිය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ෆැක්ටරිය විසින් නිෂ්පාදනය කරන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් තමන් විසින්ම නිර්මාණය කරපු (organic) අන්තර්ගතයක් ලෙස මුහුණු පොත තුල බෙදා හැරීමයි.
ඔවුන්ගේ දෙවන රාජකාරිය වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සිහිනයට වෙනස් මත, සහ සිහින තිබෙන මුහුණු පොතේ සැරිසරන්නන් තර්ජනය, බිය ගැන්වීම, අපහාසය, උත්ප්‍රාසය, අසත්‍යය, කොන් කිරීම වැනි අවි යොදාගෙන සංවිධානාත්මකව විනාශ කිරීමයි.
අපි නිතර මුහුණු පොතේ දකින ඒකාකෘතික ස්වරූපයේ (Stereo type) "නිවන් සුව ලැබේවා" "මාලිමාවට ජය වේවා" වැනි යෙදුම්, ව්‍යාජ ජන මත සමීක්ෂණ ප්‍රතිඵල, සංස්කරණය කරන ලද කතා, ඡායාරූප, සහ වීඩියෝ පට, නොමඟ යවන සුළු ආකර්ෂණීය සිරස්තල, මුහුණු පොතේ සොල්දාදුවන් භාවිතා කරන අවිවලට නිදසුන් කිහිපයක්.
මීට අමතරව රුපියල් මිලියන ගණන් ගෙවා දැනටමත් විශාල followers සිටින pages මිලදී ගෙන ඒවා ද ඉහත ක්‍රියාදාමයට පහසුකම් සලසන්නෙක් ලෙස යොදා ගැනීමට ජවිපෙ උපක්‍රමශීලී වී ඇති බව පේනවා.
ඔවුන්ගේ උපායමාර්ගය වන්නේ මුහුණු පොතේ සැරි සරන්නන්ට ඉහත මෙහෙයුම් ඉබේ, අහම්බයක් ලෙස, අවිධිමත්ව, අසංවිධානාත්මකව, ස්වභාවිකව සිදුවන බවට හැඟෙන ආකාරයට ක්‍රියාත්මක වීමයි. තිරයෙන් පිටිපස සිදුවන ඉහත යුද මෙහෙයුම් ක්‍රියාදාමය නොදන්නා මුහුණු පොතේ සැරි සරන්නන් සිතන්නේ රටේ සමස්ත ජන කැමැත්ත, මතය, රැල්ල එය බවය.
මේ ආකාරයට සුළුතරයේ මතය, කැමැත්ත, සහ සිහින සමස්තයේ කැමැත්ත, මතය, සිහින බවට මුහුණු පොත තුළ මතුකර පෙන්වීමට එනම් සාමස්ථික ආධිපත්‍යයක් මුහුණු පොත තුළ ගොඩනගා ගැනීමට ජවිපෙ සමත් වෙලා තියෙනවා.
එසේ ක්‍රියාත්මක වෙමින් පුරවැසියන් විසින් සියලු ම තොරතුරුවලින්, සහ කරුණුමය සත්‍යයන්ගෙන් සන්නද්ධව, හොඳින් හිතා මතා මානව සංහතියේ යහපතට හේතුවන ආකාරයට තීරණ ගැනීම වළක්වා තිබෙනවා.
මෑතකදී ඉතාලියේ පැවැති මැතිවරණයෙන් කවුරුත් නොදන්නා පැසිස්ට්වාදී නායකයෙක් සහ පක්ෂයක් ඉහලටම ආවා. ඔහුගේ ප්‍රචාරක යාන්ත්‍රණය වුණේ මුහුණු පොත. මැතිවරණ ප්‍රතිඵල නිකුත් උනාට පස්සේ ඔහු මෙහෙම කීවා, "මුහුණු පොත නිර්මාණය කළ දේවියන්ට ස්තුතිවන්ත වේවා".
(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.