කලාව සහ සාහිත්‍ය පිළිබඳ වූ විවිධ ඉසව් ස්පර්ශ කරමින් සපයන මෙම ලිපි මාලාවෙන් අද දින මා උත්සාහ කරන්නේ මෙතෙක් අත නොගැසූ මානයක් වෙත ඔබ රැගෙන යාමට ය.

ඒ, ‘‘කඩඉම් පොත්’’ නම් වූ විෂය ක්ෂේත්‍රය වෙත ය. මෙම ලිපි මාලාව ඔබ වෙත සපයන්නට හැකි මාර්ගය විවර කර දුන් ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකු මෙහි දී සිහිපත් කළ යුතු ය. එහි පළමු වැන්නා මහාචාර්ය ගනනාථ ඔබේසේකර ය. දෙවැන්නා නන්දන වීරරත්නය.

2010 වසරේ දී මහාචාර්ය ගනනාත ඔබේසේකරගේ අවශ්‍යතාවක් පරිදි ‘‘කඩඉම් පොත්’’ පිළිබඳ විමර්ශනයක යෙදීම පැවරුවේ නන්දන වීරරත්න වෙත ය. ඔහු එහි වගකීමෙන් වැඩි කොටසක් මවෙත පැවරුවේ ය. මේ වන විට කඩඉම් පොත් පිළිබඳ පර්යේෂණ කෘතියක් මහාචාර්ය ගනනාත ඔබේසේකර විසින් සම්පාදනය කර ඇති අතර අද සිට ඉඩ-කඩ ලැබෙන පරිදි ඉදිරිපත් කෙරෙන්නේ ඒවායේ රස මුසු මෙන් ම ඓතිහාසික වශයෙන් වැදගත් ලෙස ගිණිය හැකි දෑ ය.

Gananathආරම්භයක් ලෙස ‘‘කඩඉම් පොත්’’ යනු මොනවා ද සහ එමගින් සිදුකෙරෙනුණේ කුමක් ද යන්න පිළිබඳව විමසා බලමු.

ඓතිහාසික ලේඛන අතර ප්‍රමුඛස්ථානයක් උසුලන පොත් වර්ගයක් ලෙස ‘‘කඩඉම් පොත්’’ හැඳින්වේ. මෙම කෘති භාවිත කර තිබෙන්නේ ප්‍රදේශ සීමා විස්තර කිරීම සඳහා ය. මෙම කෘති විශේෂය ‘‘කඩහිම්’’, ‘‘කඩයුරු’’ සහ ‘‘විත්ති පොත්’’ යන නමින් ද හඳුන්වා ඇති බව  එච්. ඒ. පී. අභයවර්ධන විසින් රචිත ‘‘කඩඉම් පොත් විමර්ශනය’’ කෘතියේ සඳහන් ය.

කඩඉම් කෘතිවල සඳහන් ආකාරයට පුරාණයේ දේශ සීමා වෙන් කිරීම හෝ හඳුනාගැනීම සඳහා ගංගා, ඇළ, දොළ, කඳු, ගල් කුළු මතු නොව විශාල වෘක්ෂ ද භාවිත කර ඇත. මීට අමතරව විවිධාකාරයේ සලකුණු යෙදූ ගල් පර්වත මෙන් ම මහා වෘක්ෂ ද ඇතුළත් ය. මතු දැක්වෙන්නේ ඊට කදිම නිදසුනකි.

‘‘පළමු කෝරල බේදයෙහිදී මෙම කෝරලයෙහි සතරදිග මායිම් වශයෙන් නැගෙනහිර මුරුතවෙල කිනිතුල් කහවේ සහ අග හිටි රුක්අත්තනේ දී මක්ඩ මහත් දොලේ සිංහයා කෙටූ ගලක් නැගෙනහිරට වෙයි. දකුණට කැලණි ගඟ වෙයි. බස්නාහිරට නාකුළුගමුවේ බස්නාහිරින් පිහිටි කොට බෝ ගහ ද රාගම කකුළුවා විලේ ඉර හඳ කෙටූ ගල් ටැඹක් බස්නාහිරට වෙයි. අළුත්ගම මහ දුරයාගේ ගෙමුව සහ කුබල්ලෑව හත්බෑ දොලෙන් උතුරට වෙයි. මෙහි තුළ   නැගෙනහිරට සහ දකුණටත් ගඟබඩ උඩුගහ දෙපත්තුවත් වෙයි. බස්නාහිරට සහ උතුරටත් අදිකාරී මැද දෙපත්තුවක් වෙයි. මෙසේ මේ සතර පත්තුවකින් සැදුන ලද්දාවූ මෙම කෝරලයෙහි නැගෙනහිර පටන් බස්නාහිරට හැතැක්ම තුන්කාලක් අඩු නව ගව්වක් පමණ වෙයි.  දකුණු දිසාවේ සිට උතුරු පළාතට හැතැප්ම කාලක් පමණ අඩු හත්ගව්වක් පමණ වෙයි. මෙසේ දිග පළල ආදියෙන්ම හැතැක්මක් අඩු සොළොස් ගව්වක් පමණ වෙයි. මේ අලංකාරවත් වූ සියනෑ කෝරලයෙහි වැල්ලඹුරේ ජයසුන්දර මුදියන්සේ කෝට්ටේ මහවාසල වේලාවේදී මෙම කෝරලයේ අදිකාරම් ඇතුව දිසාව කළේය.’’

 

සියනෑ රට කඩයිම් විත්ති පොත 02

කඩඉම් පොත් පිළිබඳව ලියැවී ඇති තොරතුරුවලට අනුව පැරණි ම කඩඉම් පොත ලෙස සැලකෙන්නේ ‘‘ශ්‍රීලංකාද්විපයේ කඩඉම් පොත’’ මැයෙන් වූ පොත ය. එම කෘතිය ගම්පොළ යුගයට අයත් බව ඊට අදාළ ලේඛනවල සඳහන් කෙරේ. මීට අමතරව තවත් විවිධ නම්වලින් හැඳින්වෙන ‘‘කඩඉම් පොත්’’ කිහිපයක විස්තර (මූලාශ්‍ර සහිත) මෙසේ ය.

‘‘1. 5/63/141 (2) - මාතලේ මහ දිසාවේ කඩඉම් පොත

පූජ්‍ය කිරම ප්‍රේමරතන හිමි, සිරි විජය ප්‍රේමරත්නාරාමය, බෙරලපනාතර.

2. 5/63/125 - (1) ඩ 2 7 2/1 - ශ්‍රී ලංකා කඩඉම් පොත

පූජ්‍ය අඹගස්වැවේ රතනපාල හිමි, අභයගිරි විහාරය, මහනුවර. puskola

3. 5/63/63 (1) - කඩඉම් පොතක්

පූජ්‍ය විහාරාධිපතීන් වහන්සේ, ආවාසය, පදියපැලැල්ල.

4. 5/63/ 159 (10) - ශ්‍රී ලංකා කඩඉම් පොත 

දෙපාර්තමේන්තුවේ ඡායා ස්ථිති පිටපත් (වෙනත් මූලාශ්‍ර නැත)

 5. සියනෑ කෝරලේ කඩඉම් පොත අංක 01

 දෙපාර්තමේන්තුවේ ඡායා ස්ථිති පිටපත් (වෙනත් මූලාශ්‍ර නැත)

6. සියනෑ රට කඩයිම් විත්ති පොත අංක 02

දෙපාර්තමේන්තුවේ ඡායා ස්ථිති පිටපත් (වෙනත් මූලාශ්‍ර නැත)

7. 5/63/190 (1) - මරාගමුවේ පදිංචි එච්. පී රණා නැමති අයට අයත් “මාතලේ කඩඉම් පොත”          

කේ. ඩී. පියදාස මහතා, මාතලේ.

8.  ඕ. ආර්.  6606 (141) - මාතලේ දිසාවේ කඩඉන් පොත 

ජේ. එම්. ද සිල්වා මහතා, ජාතික නිවාස දෙපාර්තමේන්තුව, කොළඹ.

9. 5/63/119/ (4) - ත්‍රී සිංහල කඩඉම් පොත

ඩබ්ලියු. ඒ. පී. අබේවර්ධන මහතා, අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, කොළඹ 07.’’

සියලු මුලාශ්‍ර ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ලේඛනවල සඳහන් පරිදි ය

ලිපිය ආරම්භයේ දී පැවසූ පරිදි කඩඉම් පොත් තුළ ලියවී ඇත්තේ හුදෙක් දිස්ත්‍රික් මායිම් පමණක් ම නොවේ. අදාල ප්‍රදේශ මායිම් පිළිබඳව සඳහන් වනවාට අමතරව වෙනත් විෂය කරුණු සම්බන්ධයෙන් ද කඩඉම් පොත් තුළ ලියවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති වෙසෙස් තොතරතුරු රැසක් ‘‘සියනෑ රට කඩයිම් විත්ති පොත 02’’ පුස්කොළ පොතේ මෙසේ සඳහන් කෙරේ. ඒ, විවිධ පදවි තානාන්තර දැරූ පුද්ගලයන්ගේ නාම ලේඛනයකි. එකී නාම ලේඛනය මෙසේ වර්ග කර ඇත.

 

·         පණ්ඩිත සභාව               

·         මුදලිවරුන්ගේ නම්

·         පතිරන්නැහේලා

·         ආරච්චිකම් කළ අයනම්

·         රාලලාගේ නම්

මේ සියල්ල අදාළ කෘතියේ විස්තර සහිතව මෙලෙස සදහන් කෙරේ.

 

පණ්ඩිත සභාව

මෙම කෝරලේ මැද පත්තුවේ අර්‍ථනායක පණ්ඩිත මොහොට්ටාලද,  උදම්මිට සිරිවර්ධන මොහොට්ටාලද, තිරුවාන්ගම බණ්ඩාගේ මොහොට්ටාලද, වඳුරව බණ්ඩාගේ මොහොට්ටාලද, දඹලොමුවේ සමරදිවාකර රාජපක්ෂ මොහොට්ටාලද, හත්වඩුන්නේ බණ්ඩියේ මොහොට්ටාලද, හිස්වැන්නේ අලගියවන්න මොහොට්ටාලද, මහල්ලොලුවේ රත්නායක මොහොට්ටාලද, සමන බැදදෙ රාජපක්ෂ මොහොට්ටාලද, ඇඹරලුවේ කාරියප්පෙරුම මොහොට්ටාලද, අඹගස්පිටියේ සෙල්ලප්පෙරුම මොහොට්ටාලද, යන මොහු මෙම කෝරලේ මහ මොහොට්ටි නිල කළ අය වෙති.

 

මුදලිවරුන්ගේ නම්

පෑලියගොඩ හෙනරත් මුදියන්සේද, කැලණියේ විරක්කොඩි මුදියන්සේද, එමගම බුවනකෝන් මුදියන්සේද, බොල්ලෑගල පොන්සේකා මුදියන්සේද, දළුගම රාජපක්ෂ මුදියන්සේද, හෙයියන්තුඩුවේ අමරකෝන් මුදියන්සේද, මාපිටිගම ධර්මපාල මුදියන්සේද, කපුගොඩ වියලගොඩ මුදියන්සේද, ගල්පොතුගොඩ අර්‍ථනායක සූරි අච්චි මුදියන්සේද, සමන බැද්දේ රාජපක්ෂ මුදියන්සේද, ඕවිටිගම මහවාසල පටබැඳි පරකාශ මුදියන්සේද, අමංදල රණසිංහ මුදුයන්සේද, ගම්පොල ගෙදර ගුණසේකර මුදියන්සේද, කහඹිලියා හේනේ සෙන්දුප්පෙරුම මුදියන්සේද, කලගෙඩිහේනේ එදිරිසූරි මුදියන්සේද, මයිලවලානේ ඉලනෙක මුදියන්සේද, ඕගොඩපොල රාජපක්ෂ සමරදිවාකර විරවයිරෝඩි මුදියන්සෙද, එමගම සිංහවල්ලි මුදියන්සේද, උඩුගම ඇල්ලේ වික්‍රමසිංහ මුදියන්සේද, කඹුරාගල්ලේ විජයසුන්දර මුදියන්සේද, කන්නිමහර සෙනරත් මුදියන්සේද, උරාපොල වනිගසුන්දර මුදියන්සේද, පූගොඩ එදිරිසිංහ මුදියන්සේද, එමගම සිංහාර මුදුයන්සේද, කුරුවමුලුලේ අමරකෝන් මුදියන්සේද, උයන්ගොඩ මතඟ මුදියන්සේද, කඳුමුල්ලේ මාරිප්පුලි මුදියන්සේද, කඳඔලුවාවේ සමරකෝන් මුදියන්සේද, අත්තන ගල්ලේ කලන් තිස්ස මුදියන්සේද, ගොළුවම්මහර ජිවන්ද මුදියන්සේද යන මොහු සිතාවක මහවාසල වෙලාවේදි ගම්ලත් මුදලිවරු වෙති.

 

පතිරන්නැහේලා

මෙම කෝරලේ අදිකාරි පත්තුවේ පෑලියගොඩ වනිගනෙත්ති පතිරන්නැහේද, කැලණියේ විරක්කොඩි පතිරන්නැහේද, මැදපත්තුවේ අඹරළුවේ ගුණතුංග පතිරන්නැහේද, හිරිපිටියේ කන්දපෙරුම පතිරන්නැහේද, ගඟබඩපත්තුවේ වෙල්ගම රාජපක්ෂ පතිරන්නැහේද, ගිරිදර රන්කිරි පතිරන්නැහේද, නිකවෙල විදාන පතිරන්නැහේද, පූගොඩ උල්පාගොඩ පතිරන්නැහේද, මැද්දේගම ගනිඅච්චි පතිරන්නැහේද, උඩගහපත්තුවේ කුරවලානේ අබයරත්න පතිරන්නැහේද, ලාවුලුපිටියේ වික්‍රමරත්න පතිරන්නැහේද, ඇල්ලමුල්ලේ බාලසූරි අච්චි පතිරන්නැහේද, වේයන්ගොඩ විතාන පතිරන්නැහේද, බෝපැත්තේ විජයසේකර පතිරන්නැහේද, කුමාරිමුල්ලේ රූපසිංහ පතිරන්නැහේද, ගම්පොල ගෙදර පාදේව පතිරන්නැහේද, නිට්ටඹුවේ විරකෝන් පතිරන්නැහේද, පස්යාලේ රාජකරුණාපේලි පතිරන්නැහේද, මැදපත්තුවේ පංකාදු පතිරන්නැහේද යන පතිරන්නැහේලා ගම්ලත් පතිරන්නැහේලා වෙති.

 

ආරච්චිකම් කළ අයනම්

මිල්ලානේ මංචනායක ආරච්චිද, ලාවුළුපිටියේ හුඹුළු ආරච්චිද, මලවිල අතුරුගිරියේ ආරච්චිද, අමුණුකුඹුරේ කළු ආරච්චිද, කොස්කඳවල නිස්සඟ ආරච්චිද, කඹුරාගොඩ දිසානායකපිටියේ ගෙදර වර්ෂපෙරුම ආරච්චිචද, මොට්ටුන්නේ රණවීර ආරච්චිද, කලලියේ විරක්කොඩි ආරච්චිද, දොම්පේ සූරියප්පෙරුම ආරච්චිද, ලුණුගම  හපුආරච්චි, එල්ලක්කල වීරසිංහ ආරච්චිද, එමගම ජයසිංහ ආරච්චිද, කරන්නාවල සමන කොඩි ආරච්චිද,  ගිරිදර කොඩි සපුලි ආරච්චිද, මීකිරිගල විජයසිංහ ආරච්චිද, පැලහැල වදුරප්පෙරුම ආරච්චිද, නාරන්වල මල්ලව ආරච්චිද, කෑරගල රත්නකොඩි ආරච්චිද, ඌරුවල මානිප්පෙරුම ආරච්චිද, දෙමළගම සිඟන්කුට්ටි ආරච්චිද, දොම්පේ ඕකඳපොල ආරච්චිද, කළුකොඳයාවේ වනසිංහ ආරච්චිද, පෙතියාගොඩ හබසුන්‍දර ආරච්චිද, ලුනුගම වටරැක ගුරුරත්න ආරච්චිද, පට්ටිවිල කහඳවිල ආරච්චිද, කැළණියේ සිංගප්පුලි ආරච්චිද, දළුගම ලේකම් ආරච්චිද, අඹගස්පිටියේ කපුරුවල්ලි ආරච්චිද, කිනිගම හිරිමෙලි ආරච්චිද, අඹගහවිල මාරප්පුලි ආරච්චිද, මයිලවලානේ සම්චන්‍දප්පෙරුම ආරච්චිද යන මොහු සීතාවක වේලෙහි සියනැ කෝරලේ ආරච්චි නිල කළ අය වෙති.

 

රාලලාගේ නම්

උඩුවිල පලිහේනේ රාල, වීරඟුලේ මුදන්නායක රාල, තිත්තනම්මහර ඔරුතොට රාල, කඳඔළුවාවේ පිහන රාල, විලිඹුල අදිකාරම් රාල, අඹගස්පිටියේ වික්‍රම රාල, කොරසගොඩ මායාදුන්නේ රාල, බියගම අදිකාරී රාල සහ image 0dd4d596eaපොල්බරුවේ රාල, කිනගම පිහන රාල, කඹුරාගල්ලේ පිහන රාල, දරනගම කුමාරපේලි රාල, දන්ගල්ලේ රාල සහ බෙලිකඩ පිටියේ වීරක්කොඩි රාල, නාරන්ගස් පිටියේ ගුණතිලක රාල, වදරක් ලියන රාල, පැලහැල අනලෙන් රාල, කෑරගල ඉමියාගේ රාල, දන්ගල්ලේ කන්නන්ගර රාල, සහ මුදන්නායක ගෙදර හෙනරත් රාල, නිට්ටඹුවේ වික්‍රම රාල, හිරළුගම් ගොඩ රාමනැක රාල, වලලියැද්දේ අදිකාරී රාල, නාඹුලුවේ සෙන්දුප්පෙරුම රාල, තිත්ත පත්තර වාඩියේ රාල, මීලගල්ලේ තෙඹුරේ රාල, කුරවලානේ බත්වඩන රාල, බෝපැත්තේ මුතුකුට්ටි රාල, කළුකොඳයාවේ දොලගේ රාල, පස්යාලේ රාජපක්‍ෂ රාල, ජයලත් රාල, නාඹුළුවාවේ හිරිකොත් රාල, දොම්පේ මදුරප් පෙරුම රාල, එමගම සිංඟන්කුට්ටි රාල, එමගම වෙත්තසිංහ රාල, කන්නානි රාල, දෙකටන කළුපතිර රාල, වානලුවාවේ උඩගෙ රාල, මහර අර්‍ථථනායක රාල, අලුත්ගම දඩගමුවගේ රාල, විලිඹුල හෙට්ටි අච්චි රාල, රදාවානේ ඉමියාගේ රාල සහ සම්මන්‍දපෙරුම අනුරාගොඩ මුන්දෙක රාල, එමගම  පින්නවල රාල, පූගොඩ ගල්ලොලු රාල, එමගම හැලැන්නේ රාල, ලුණුගම රණතුංග රාල, එමගම දියවඩන රාල, කුරුවමුල්ලේ දියවඩන රාල, දඩගමුවේ දියවඩන රාල, මල්වානේ සංගංපෙරුම රාල, මාපිටිගම හඳරාජ රාල, මූලමහර දියවඩන රාල, ගොලුම්මහර කරුණාපේලි රාල, ඉඳුරුගල්ලේ දියවඩන රාල, පාළු පැල්පිට නිල්වත්තේ රාල, මීකිරිගල රාසිප්පෙරුම රාල, හෙනසුන්ගොඩ බාලසූරි රාල, වේයන්ගොඩ වලිමුන්නේ රාල, හලලියේ දියවඩන රාල, අඩුගම පිහන රාල, මාලිගාවත්තේ කඳන්ගොමු රාල, තල්වත්තේ ඇතාඋඩ රාල, හලුගම වනිගනෙත්ති රාල, වල්ගම දුනෙන්ගෙ රාල, යන මොහු සියනෑකෝරලේ ගම්ලත් තලත්තෑනීහුයි.

මෙම කෝරල අනුරාධපුර මහවාසලවේදී සිතාවක මහවාසල දක්වාම නම් හතක්ද, කෝට්ටේ මහවාසල වේලාවේදී දිසාපති කළ නිලමවරු තුන්දෙනෙක්ද, අදිකාරම් කළ එක්කෙනෙක්ද, සිතාවක මහවාසල වේලාවේදී දිසාපති කළ නිලමරු හතරදෙනෙක්ද, දෙවනුන් සිතාවක රාජසිංහ මහරජානන් රාජශ්‍රීයට පැමිණ වදාරන වේලාවේදී අදිකාරම් ඇතුව දිසාව කළ නිලමවරු තුන්දෙනෙක්ද, දිසාපති නිලමවරු හතරදෙනෙක්ද, මහමොහොට්ටි නිල කළ රදලවරු දොලහක්ද, මුදලිකම් කළ නිලමවරු තිස්දෙනෙක්ද, මහත්නැහේලා විසිහතර දෙනෙක්ද, ආරච්චිවරු තිස් අටදෙනෙක්ද, රාලලා හැටහතර දෙනෙක්ද, එකපත කෑ සියක් දෙනාද තවත් ගම්ලත් තලස්තෑනි  අනූපස් දෙනෙක්ද, කාරියවසන් තුන්සිය හැටපස්දෙනෙක්ද, හේවාගම් දෙසිය හැත්තෑවක්ද, මෙසේ මහවාසලින් පණිවිඩ දී මහනියම් ගමේදී මානප්පෙරුම මොහොට්ටාල විසින් මෙසේම කෝරල නවයක කඩමායිම් සහ නිලතල කළ තලත්තානි රදල මුදලි ආදින්ගේ නම් වසම් පලමු ලේකම්වල සටහනින් බලා සීහුන් වශයෙන් තඹ සන්නසක ලියවා මහවාසල දක්වා සිටිය වේලාවේදී හතර කෝරලෙන් මඩින් දොලහමුණකද, කෝරල තුණෙන් ගොඩින් දොලහමුණකද විසිහතර අමුණක ඉඩම් සහ රුහුණු රටටත් පලමුවෙනි අදිකාරම් නිලේ දුන්නාය. එයින් පසු මෙම සිංහල දිවයිනට අයිති ත්‍රී සිංහලයේ රුහුණු රටට අයිති ගම්වරද, මායා රටට අයිති ගම්වරද, පිහිටි රටට අයිති ගම්වරද, මෙපමණන යයි යන සටහනින් දිසාපති අදිකාරම් කිපදෙනෙක් සමග ගණන් බලා මහවාසලට දන්වා සිටියාය. මෙම ත්‍රී සිංහලය මුහුදු කරදිය වලල්ලෙන් මෙපිට රට තුනෙක්ද ඊට අයිති කෝරල හයසිය පනසක්ද, රුහුණු රට ගම් සාර ලක්‍ෂ අනු දහසක්ද, මායාරටේ ගම් පස් ලක්‍ෂ අනූදාහක්ද, මුලු ගණනම දහඅට ලක්‍ෂ අසූනව දහක්ද, මෙසේම මායා රට මධ්‍යයෙහි පිහිටි සියනෑ කෝරලය හෙයින් මහවාසල වේලාවේ පටන් සකල සිරින් ගරු ඇති කෝරලයක් වෙතිත් නොවැටහෙයි. මෙසේම කොරල නවයක ගම්මායිම්ද, නිලතල කළ රදල මුදලිවරුන්ද, තලත්තානීන්ගේ ගම්වසම් ආදියද මහවාසලට දක්වා හිටිය තඹ සන්නස්වල පෙනී ඇත.

සියනෑ කෝරයේ කඩඉම් පොත අංක 01හි ද මේ ආකාරයට හේවා නම් ගම් රාශියක් අන්තර්ගත ය. එකල පැවති රාජාණ්ඩු සමයේ දී විවිධ පුද්ගලයන්ට (රජුට පක්ෂපාත හෙවත් බත්බැළ පිරිසට) රජතුමා විසින් ප්‍රදානය කරන ලද වරදාන වරප්‍රසා ද සහ හේවා නම්ගම් එකී විස්තරවල සඳහන් කෙරේ. වර්තමානයේ ද භාවිත කෙරෙන බෙහෝ වාසගම් පිරිනමා ඇත්තේ රජුගේ කැමැත්ත මත බව මෙම විස්තරවලින් කදිමට ස්ඵුට කෙරේ. මතු දැක්වෙන්නේ එකී නම්බුනාම කිහිපයක සරල විස්තරයකි.

·         ‘‘සීනා කෝරලයේ උඩුගච්චිල වසන් හේවානම්

·         කඹුරාගල්ලේ විජයසින්‍දර වසන් හේවා නම්

·         මේ පත්තුවේ නායක්කාර රදලවරු නම්

·         මේ පත්තුවේ කරුනා පේඩි නම් පරගම්මන පොඩිවසම් හේවානම්

·         මැදපත්තුවේ මුඩගොමුවේ වරිසපෙරුම අච්චි ලවසන් හේවා නම්

·         කළුකොඳයාවේ සිරිවර්‍දදන අච්චි වසන් හේවා නම්

·         මොට්ටුනෙන් රංවිර ආරච්චිල වසන් නම්

·         කුඹල්ඔළුවේ වීරක්කොඩි අච්චිල වසන් - හේවා නම්, කුල හේවා නම්

·         මේ පත්තුවේ නානායක්කාර වසන් අය

·         ගඟබොඩ පත්තුවේ පද්දාවල හේරත් අච්චිල වසන් හේවානම් මේ හේවානම්

·         මේ පත්තුවේ නාගොඩ කෝරලේ ආරච්චි වසමේ හේවා නම්

·         මේ පත්තුවේ නායක්කාර වසන් අප්පුහාමිවරු

·         උඩුගහ පත්තුවේ පටබැඳි නම් - මුදුන්ගේ ගෙදර අතුකෝරල හේරත්හාමි වසන් පටබැඳි නම්

·         මැද පත්තුවේ මත්ගලේගොඩ අතුකෝරලගේ පතිරන්නැහේ වසන්නම්

·         ගඟබොඩ පත්තුවේ මයිලවලානේ රනතුංග ආරච්චි වසමේ පත්තුවේ පටබැඳි නම්

·         මාපිටිගම විදානේ වසන් පටබැඳි නම් ’’

 

සියනෑ කෝරයේ කඩඉම් පොත අංක 01

මෙම නම් සියල්ල සවිස්තරව ම අදාළ පුස්කොළ පොතේ සඳහන් කර ඇත. යට ඉදිරිපත් කළේ එකී නම්බුනාම, වරදාන සහ වරප්‍රසාද වර්ගී කරණය කර ඇති ආකාරය පමණි.

මීටත් අමතරව අදාළ පුද්ගලයන් වෙත පිරිනමා ඇති නින්ද ගම් සහ ගොඩ-මඩ ඉඩම් පිළිබඳව ද අදාළ පුස්කොළ පොතේ සඳහන් කෙරේ.

‘‘මෙසේම සැම පලාත්වල හේවා නම් 419 යි. මෙසේම පටබැඳි නම් 2153 යි. මෙසේම කන්කානි නම් 27 යි. මෙසේම වඩු ආචාරි නම් 136 යි. ගබඩා ගම් 10 යි. නිදහස් ගන් 9 යි. උඩහ පත්තුවේ ගබඩා ගම් 148 යි. fea1දඹදෙනිය කිනිගම මුල් බිජු 12 යි. දොලොහොමුනයි. අමුණු දොලහයි. මුන්තෙට්ටු බිජු අමුණු 1 යි. අඳ කුඹුරු බිජු දෙපෑලයි. බතු කුඹුරු බිජු පල්ලහායි. විදාන මුත්තෙට්ටු වී අමුණයි. බෝඋනුමුව කියන ගමේ වී අමුණු 1 යි. ලාස පහයි. දෙබහැර අඳ කුඹුරු 4 යි. ඇල්ලලමුල්ල කියන ගමේ මුල් බිජු අමුණු 8 යි. මී පිටිය කියන ගමේ අමුණු 43 යි. මින් මුත්තෙට්ටු හතරමුණයි. අඳ කුඹුරු 5 යි. ගැඩදෙනි කන්ද කියන ගබඩා ගමේ පිදවිලි කුඹුරු මුල් බිජු පස්පෑලයි. ඒ ගමට අඩුක්කු පැණිහෙල කියන ගමේ මුල් බිජු අමුණු 3යි. මින් අඳ කුඹුරු දෙපෑලයි. මීට රදාවඩුන්න කියන ගමේ මුල් බිජු වී විසි අමුණයි. 20 යි. මින් මුත්තෙට්ටුවේ 4මුණයි. විදාන මුත්තෙට්ටු අමුණු 1 යි. මැද පත්තුවේ කිනිගම ගබඩා ගම අළුැත් ගම කියන ගම ගබඩා ගම. බඩහැල මුල්ල කියන ගම වී අමුණු 66 යි. මින් අඳ කුඹුරු අමුණු 6 යි. රදාමුල්ල කියන නින්දගම මුල් බිජු වී අමුණු 12 යි. අදිකාරි පත්තුවේ ගබඩා ගම් නින්දගම් හෙර කියන ගබඩා ගම මුල් බිජු වී අමුණු 305 යි. තුන්සිය පහයි. බියගම කියන ගම මුල් බිජු වී අමුණු 12 යි. වල්ගම කියන ගම වී අමුණු 12 යි. බොල්ලැගල කියන ගම මුල් බිජු වී අමුණු 12 යි. විදාන ගම්ව ලවගනම් කැළනි ගම් දොලහේ මුල් බිජු 155ස් අමුණයි. පෑලියගොඩ කියන ගමේ මුල් බිජු අමුණු 55 යි. දළුගම පෙතියාගොඩ මුල් බිජු අමුණු 30 යි. ගඟ බඩ පත්තුවේ විදාන නින්ද ගම් ගබඩා ගම් ගබඩා ගන්වල වගනම් දන්ගල කියන ගමේ මුල් බිජු අමුණු 7 යි. මීරිගම කියන ගම මුල් බිජු අමුණු 10 යි. බඩහැල කියන ගම මුල් බිජු වී අමුණු 6 යි.

සියනෑ කෝරලයේ විදානගම්, නින්දගම් ගබඩාගම් මේ පමණයි. මහවාසලට දැකුන් පෙනෙන හැටියට ලියා මේ “ලේකම් මිටිය” ලිව්වේ මාලියද්දේ පදිංචි ගනිහිගම රාලලාගේ උක්කුබන්ඩා කපුරාල. මහවිෂ්ණු දේවාලේ උක්කුබන්ඩා කපුරාලගේ ලේකම් පොත කාටවත් අයිති නැති හැටියට ලියා තිබෙන්නේ උක්කුබන්ඩා - වර්ෂ 1913නේ අවුරුද්දේ අගෝස්තු මස 2 වෙනි සෙනසුරාදා.’’

 

සියනෑ කෝරයේ කඩඉම් පොත අංක 01

කඩඉම් පොත් විමර්ශනය ඉතා රසවත් මෙන් ම වැදගත් ඓතිහාසික කරුණු හැදෑරිය හැකි විෂය ක්ෂේත්‍රයකි. ඒ සියල්ල තනි ලිපියකින් විස්තර කළ නොහැකි ය. මෙම ලිපිය මෙහි ආරම්භයක් පමණි. ඉදිරි කාලයේ දී අදාළ කෘතිවල අන්තර්ගත ඓතිහාසික වශයෙන් වැදගත් මෙන් ම රසවත් කරුණු ඉදිරිපත් කරන බලාපොරොත්තුවෙන් පළමු පියවර මෙස් අවසන් කරමි.

ප.ලි.

මෙහි එන උපුටාගැනීම් සියල්ල ම අදාළ පුස්කොළ පොත්වල අන්තර්ගත ආකාරයෙන් ම දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න.

 

Jayasiri Alawatta

ජයසිරි අලවත්ත

2021/08/21

 

 
 
 

THE LEADER TV 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
වකුගඩු රෝගීන්ට වසංගත සමයේ අවදානමෙන් මිදෙන උපදෙස් 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්