Prime Minister Imran Khan awarding a commendatory certificate to Malik Adnan, Deputy Production Manager RAJCO Industries, who tried to save Diyawadanage Don Nandasiri Priyantha Kumara during the Sialkot lynching, on December 7, 202. — INP
සියල්කෝට් නුවර දී කලහකාරීන් පිරිසකගෙන් දියවඩනගේ ප්‍රියන්ත කුමාරගේ ජීවිතය බේරාගැනීමට සිය ජීවිතය පරදුවට තබා ක්‍රියාකළ මලික් අද්නන්ගේ ධෛර්යය සහ වීරත්වය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පියවර ගෙන තිබේ.
අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනේ, "සියල්කෝට්හි දී ප්‍රියන්ත දියවඩනගේ රැකගැනීමටත්, තමාගේ දිවි නොතකා සිය සිරුරෙන් ඔහු ආවරණය කරමින්, නීතිය අතටගත් කලහකාරී පිරිසෙන් ඔහු ආරක්ෂා කිරීමටත් සිය උපරිමයෙන් ක්‍රියා කළ මලික් අද්නන්ට සදාචාරය වෙනුවෙන් පෙනී සිටීමට තිබූ ධෛර්යයට සහ වීරත්වයට සමස්ත ජාතිය වෙනුවෙන් ආචාර කිරීමට මම කැමැත්තෙමි. අපි ඔහුට තාම්ගා-ඉ-ෂුජාත් පදක්කම පිරිනමන්නෙමු," යනුවෙනි.
'තාම්ගා-ඉ-ෂුජාත්' (Tamgha I Shujaat) යනු අනතුරක් ඉදිරියේ නිර්භීතව කටයුතු කිරීමත්, නිර්භීතව ජීවිත බේරාගැනීමත් වෙනුවෙන් පාකිස්ථානයේ සිවිල් වැසියන්ට පිරිනැමෙන වීරත්වයේ පදක්කම යි.
පන්ජාබ් පළාතේ සියල්කෝට්හි කර්මාන්තශාලාවක සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවය කළ දියවඩනගේ ප්‍රියන්ත කුමාර පසුගිය සිකුරාදා මැර පිරිසක් විසින් ප්‍රසිද්ධියේ වධහිංසා පමුණුවා ඝාතනය වුණු අතර, ඔහුගේ සිරුරට ද ගිනිතබනු ලැබුණි. මේ වන විට ඔහුගේ දේහය ලාහෝරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඥාතීන් වෙත භාර දී ඇත.
ඔහුගේ දේහය ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
කම්හලේ නිෂ්පාදන කළමනාකරු වන මලික් අද්නන්, කලහකාරී පිරිසෙන් ප්‍රියන්ත කුමාර බේරාගැනීමට තැත් කළ කිහිප දෙනාගෙන් අයෙකි. ඔහු දෑත් එකතු කරමින් කලහකාරීන්ට ආයාචනා කරන අයුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පැතිරුණු ඇතැම් වීඩියෝවල දැක්වෙයි.
"මනුෂ්‍යත්වය වෙනුවෙන් සගයා බේරාගැනීමට අවශ්‍ය වුණා"
ප්‍රියන්ත දියවඩනගේ 2012 වසරේ සිට සියල්කෝට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නම් පෞද්ගලික කර්මාන්තශාලාවේ අපනයන කළමනාකරුවෙකු ලෙස සේවයකර ඇත.
පන්ජාබ් රජයේ මූලික විමර්ශන වාර්තාවෙන් පැවසෙන පරිදි ප්‍රියන්ත සහ කර්මාන්තශාලා සේවකයින් අතර මතභේදය ආරම්භ වී ඇත්තේ ආගමික පාඨ රැගත් ස්ටිකරයක් සම්බන්ධයෙනි.
විනය පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වූ කළමනාකරුවෙකු වන ප්‍රියන්ත, බිත්තිවල අලවා තිබූ ආගමික පාඨ රැගත් ස්ටිකර් ඉවත්කරන ලෙස ඉල්ලා සිටීම නිසා සේවකයින් කෝපයට පත්වී ඇතැ යි කියැවේ.
ඇසින් දුටු සාක්ෂ්‍යකරුවන්ට අනුව, මැර පිරිස කෝපයට පත්වී ශ්‍රී ලාංකික කළමනාකරුට කර්මාන්තශාලාව තුළ දීම වධහිංසා පමුණුවා ඇත.
මෙම අවස්ථාවේ දී නිෂ්පාදන කළමනාකරු වන මලික් අද්නන් ඇතුළු පිරිසක් මෙම ප්රශ්නය "ගොඩින්" විසඳීම සඳහා ඔවුන් නම්මවා ගැනීමට උත්සාහකර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මලික් අද්නන් කියා සිටියේ, තමාට වීරත්වයේ පදක්කම ලබාදෙතැ යි ප්‍රකාශ කිරීම පිළිබඳව අගමැති ඉම්රාන් ඛාන්ට ස්තූතිවන්ත වන බව යි.
මනුෂ්‍යත්වය වෙනුවෙන් තම සගයා බේරාගැනීමට තමාට අවශ්‍ය වූ බවත්, මිනිසුන් 40ක් 50ක් ඔහු ඝාතනයට පැමිණි විට ශ්‍රී ලාංකික පුරවැසියා මුවාකරමින් ඔහු ඉදිරියේ සිටගත්තේ ඒ නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධියේ දී තමා ද තුවාල ලැබූ බව මලික් අද්නාන් කියා සිටියේ ය.
"ප්‍රියන්ත රාජකාරිය අතින් අවංක යි... දැඩියි," ඔහු පවසයි.
"සද්දෙ ඇහිලා මම එතනට යනකොට හතළිහක් පනහක් ඒ පැත්තට එනවා. මම ප්‍රියන්තව බේරගන්න උඩ තට්ටුවට දිව්වා. මම එන්න කලින් ප්‍රියන්තගේ ඔළුවට සහ මුහුණට තුවාල කරලා තිබුණා. මම එතනට ගිහින් ප්‍රියන්තගේ ඇඟ උඩින් වැතිරුණා. මමත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණා."
ප්‍රියන්ත බේරා දෙන ලෙස තමා එම පිරිසෙන් බැගෑපත්ව ඉල්ලා සිටි නමුත් ප්‍රියන්තගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවත්, ඒ ගැන තමා කණගාටු වන බවත් ඔහු කියා සිටියේ ය.
"අම්මා අත්පොළසන් දුන්නා"
මලික් අද්නාන් මෙම කර්මාන්තශාලාවේ සේවය කරන්නේ 2005 වසරේ සිට ය. ඔහු 2014 වසරේ සිට ප්‍රියන්ත හඳුනන බව කියයි.
මලික් අද්නාන් මාධ්‍යවේදී මුහම්මද් සුබයිර් ඛාන්ට පැවසුවේ සිද්ධියෙන් පසු ඔහුගේ මව ඔහු බදාගෙන අත්පොළසන් දුන් බව යි.
"මගේ අම්මා මාව වර්ණනා කළා. මගේ ජීවිතයේ වටිනාම අවස්ථාව මෙයයි," ඔහු පවසයි.
මැරයින් නම්මවා ගැනීමට මලික් අද්නන් බලවත් උත්සාහක් දරන අකාරය
"ප්‍රියන්තගේ වියෝව ගැන මම බලවත් ශෝකයට පත්වෙනවා," අද්නන් ප්‍රකාශ කළේ ය. "ප්‍රියන්ත කුමාරව මට ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ."
මලික් අද්නාන් පවසන්නේ තමන් ප්‍රියන්ත කුමාරට පිටව යන්නැ යි කී නමුත්, ඒ වන විටත් කාර්යයාලයේ සිටි අය පොලු සහ වේවැල් රැගෙන පැමිණ සිටි බව යි.
"ඔවුන්ගේ හැසිරීම සමාගමත්, ජනතාවත් විනාශ කරනවා පමණක් නොවේ, පාකිස්ථානයේ ප්‍රතිරූපයට ද කැළලක් වන බව ද ඔවුන්ට ඒත්තු ගන්වන්නට මම උත්සාහ කළා," ඔහු කියා සිටියේ ය.
සිදුවීම සම්බන්ධ වීඩියෝවක, මලික් අද්නන් කර්මාන්තශාලාවෙන් පිටත සිටින පුද්ගලයින් සමග සාකච්ඡා කිරීමට උත්සාහ දරන ආකාරය දැකගත හැකි ය.
වීඩියෝවේ පෙනෙන පරිදි ඔහු ඔවුන් නම්මවා ගැනීමට උත්සාහ කරන්නේ "අපි ඔහුට ආයේ කර්මාන්තශාලාවට එන්න නොදී ඉඳිමු, අපි ඔහුට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් දාමු" වශයෙන් පවසමිනි.
නමුත් පිරිස ඔහුට ඇහුම්කන් නොදෙන අතර, ඇතැමුන් මැර පිරිස ප්‍රචණ්ඩත්වයට පොළඹවන අන්දමේ සටන් පාඨ කියනු දැකගත හැකිවිය.
මේ අතර, සියල්කෝට් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන අන්දමට මලික් අද්නාන් මේ වන විට ආරක්ෂිත ස්ථානයක සිටියි.
මේ වන විට මලික් අද්නාන් සහ ඔහුගේ සගයන්ට පූර්ණ ආරක්ෂාව සපයා ඇතිබවත්, ඔවුන්ට තම පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමටත්, සිද්ධියේ අහිතකර බලපෑම්වලින් මිදීමටත් අවස්ථාව සලසා දී ඇතිබවත් ඔවුන් සඳහන් කරයි.
සිදුවීමේ දී ඔහු දැක්වූ නිර්භීතකම සහ ඔහුගේ කැපකිරීම පිළිබඳව තමා දැනටමත් දැනුවත් වී ඇති බව පවසන සියල්කෝට් පොලීසිය, පොලිස් පරීක්ෂණ සඳහා ඔහු සහාය වන බවත් ඔහු පැවසීය.
තුවාල ලැබූ මලික් අද්නාන් සහ ඔහුගේ සගයන්ගේ තත්ත්වය යහපත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත් වී ඇත.
ජනතා උපහාර
ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයෙන් පසු, බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ මලික් අද්නාන්ට උපහාර දක්වති.
මාධ්‍යවේදිනී අම්නා ජබීන් මෙසේ පවසයි: "ඔබ වීරයෙකු වීමට අසාමාන්‍ය විය යුතු නැහැ. මලික් අද්නාන් මෙම සම්මානයට සුදුසු යි. හොඳම තීරණය මෙයයි."
රංගන ශිල්පිනී මන්ෂා පාෂා පවසන්නේ "මලික් අද්නාන් රටේ යහපත්ම පිරිස මූර්තිමත් කරනවා. ඔහු සිය ජීවිතය පරදුවට තබා තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ අයෙක්. අල්ලාහ් ඔහු සැමවිටම ආරක්ෂා කරත්වා. ඔහු නිර්භීතකමේ සහ දයාවේ සැබෑ ප්‍රතිමූර්තිය යි," යනුවෙනි.
කෙසේ නමුත්, සාඩියා අහමඩ් පවසන්නේ "මලික් අද්නාන් එක් අයෙක් නමුත් කෝපයට පත් පිරිස 900ක් පමණ සිටියා. ඔහු පාකිස්ථානයේ සැබෑ මුහුණ නොවෙයි. කෝපාවිෂ්ට පිරිස බහුතරය යි," ලෙස යි.
මාධ්‍යවේදී රවුෆ් ක්ලස්රා පවසන පරිදි සැබෑ වීරයා වන්නේ මලික් අද්නන් ය. "ඔහු මුළු රාජ්‍යයට, ඉහළ නායකයින්ට සහ ආරක්ෂක නිලධාරීන්ට වඩා නිර්භීත යි," ක්ලස්රා පවසයි.
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් !